
මම හැම පිම්මකටම පස්සේ මගේ දින පොතේ ලියන්නේ මොනවාද කියලා හැමෝම කල්පනා කරනවා ඇති.
මම මගේ ටී ෂර්ටයේ හැම ප්‍රයත්නයක් අවසානයේ දීම සටහනක් තබාගන්නවා. ඒක මගේ තවත් පුරුද්දක්. මම හරස් දණ්ඩ තරණය කළ සෑම වෙලාවකම එම සටහන් ටී ෂර්ටයේ සටහන් වෙනවා.
‘ඇය සෙන්ටි මීටරයෙන් සෙන්ටි මීටරය ඉහළ අහසට පියාසර කරමින් ජයග්‍රහණයේ මුතු ඇට එක් කළා ය. අවසන ඈ පසුගියදා ඒ මුතු මාලයට ඔලිම්පික් රිදී පදක්කමකින් වර්ණවත් වුණු මුතු ඇටයක් එක් කළා ය. මේ සෙන්ටි මීටරයෙන් සෙන්ටි මීටරය ලෝකයටම අසුරු සැණින් මීටර් වුණු ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවක ගැන ය.
ඈ නමින් නිකොලා ලොරෙන් මැක්-ඩර්මොට් ය. ඇය ටෝකියෝ ඔලිම්පික් උලෙළේ ක්‍රීඩා පිටියට දිනපොතක් රැගෙන සොඳුරු සිනහවකින් මුව සරසාගත්තී ය. කහ පැහැති ජර්සියත්, කොළ පැහැ කොට කලිසමත්, දිගු කකුල් හා මනාව හැඩ වූ සිරුරත් ඈ කෙරෙහි එක් කළේ ආකර්ශණයකි. ඒ සියලු ආකර්ශන පරදවා ඈ තමන් වෙත ලොව පුරා සුවහසක් ක්‍රීඩා ප්‍රේමීන්ගේ දෙනෙත් යොමු කරගත්තේ හරස් දණ්ඩට ඉහළින් ගිය සෑම පිහිනුමකට පසුව ඈ සිය දින පොතේ යමක් ලියන දසුනින් ය.
ඇය මේ අයුරින් 2005 වසරේ දී ද එවකට ඇගේ දිනපොතේ කවියක් ලියූවා ය. ඒ, ‘මම ඔලිම්පික් දිනනවා කියා ය. ඒ මීට දහසය වසරකට පෙර ය.
එසේ සිතා ඈ තමා ලියූ සටහන කාලයේ දුහුවිල්ලෙන් වැසීමට ඉඩ තැබුවේ නැත. ඔස්ට්‍රේලියාවේ මලල ක්‍රීඩාව හා එක්ව එය ප්‍රගුණ කරන්නට වූවා ය. එහි ප්‍රතිඵල රාශියක් ඈ භුක්ති විඳින්නට වූයේ 2014 වසරේ කනිෂ්ඨ ලෝක ශූරතා මලල ක්‍රීඩා උලෙළට ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් සහභාගි වෙමිනි. එහෙත් එහිදී ඈට හිමිවුණේ දහසය වැනි ස්ථානය ය.
එයින් ඈ අධෛර්යයට පත් නොවී ය. සිදුවූ එකම සිදුවීම නම් ඇගේ පරම ශක්තිය වූ විශ්වාසය තව තවත් පුහුණුව හා එක් වීම ය. අවසන 2017 වසරේ ලෝක ශූරතා මලල ක්‍රීඩා උලෙළට සහභාගි වීමට ඇයට අවස්ථාව උදාවිණි. ඉනික්බිති ව තම රටේ පැවැති 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට තරග කළා ය. ඉන් ඈ ලෝකඩ පදක්කමක හිමිකාරිණියක් විණි. එම ඇගයීම වෙනුවෙන් තම හොඳම පිම්ම වන මීටර් 1.91 ක උසක් තරණය කරන්නට ඈට හැකි විණි.
එහෙත් ඇගේ ඒ හොඳම පිම්මට ආයුෂ තිබුණේ මාස කීපයක් පමණි. ඒ ඈ යළි 2019 වසරේ ජූනි 20 වැනිදා චෙක් සමූහාණ්ඩුවේ ඔස්ට්‍රාවා හි දී මීටර් 1.96 ක උසක් තරණය කරමින් තම පුද්ගලික දක්ෂතාවය සෙන්ටි මීටර් පහකින් ඉහළ දමා ගත් හෙයිනි. එයට ද වැඩි කාලයක් ආයුෂ තිබුණේ නැත. ඒ ඊට මාස කීපයකට පසු ඈ ජර්මනියේ ‘සින්’ හි දී මීටර් 1.98 ක් පනිමින් නව වාර්තාවක් පිහිටුවීමට සමත්වීමත් සමඟ ය.
එකම දක්ෂතා මායිමේ බොහෝ කල් රැඳී සිටීමට අකමැති වූ ඈ ඔස්ට්‍රේලියා සහ ඕෂනියා කලාපයේ උස පැනීමේ වාර්තාවක් පිහිටුවමින් මීටර් 2 ක උස ඉක්මවා තරණය කළේ ඉනික්බිතිව ය. ඒ මෙම වසරේ අප්‍රේල් මාසයේ දී ය. එය ද යළි වෙනස් කරමින් ස්ටොක්හෝම් නුවර දී මීටර් 2.01 ක උසක් පනිමින් ඈ සිය නාමය ලෝක උස පැනීමේ ක්‍රීඩිකා සටහනේ දිදුලවන්නට සමත් වූවා ය. එහෙත් එයට ද තම හොඳම දක්ෂතාව ලෙසින් ගෞරවය ලැබීමට දින කීපයකට වඩා ඉඩ ලබාදුන්නේ ඈ නොවේ.
ඒ ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී මීටර් 2.02 ක් උස තරණය කිරීමට සමත්වීමත් සමඟ ය. එය රිදී පදක්කමකින් ඈ පිදීමට ද ටෝකියෝ ඔලිම්පික් බලධාරීන්ට සිදුවුණු උසක් වූයේ ය.
විසි හතර වියැති ඈ මේ වනවිට සමාජ ජාලා හා ලෝක ජනමාධ්‍ය තුළ පුවත් මවන්නියක වී තිබේ. ඇගේ සොඳුරු හැඟුම් මවන සිනහව, නාරි ලාලිත්‍යයෙන් පිරුණු හැඩැති උස සිරුර මෙන්ම පිටියේ තරග වදින අතරතුර දින පොතක මොනවාදෝ කුරුටු ගෑම එලෙස නිකොලා කෙරෙහි අවධානය වැඩිකරවීමට ඉවහල්ව ඇත.
ඒ අතරම නිකොලා ඔස්ට්‍රේලියාවේ ද සැබෑ වීරවරියක් වී අවසන් ය. ඒ එරට වෙනුවෙන් උස පැනීමේ පදක්කමක් දිනාගත් පස්වැනියා බවට පත්වෙමිනි. ඈට පෙර උස පැනීමෙන් පදක්කමක් දිනා තිබුණේ මිචෙල් බ්‍රවුන් ය. ඒ වසර පනස් හතකට පෙර ටෝකියෝවේ දී ම ය. ඇගෙන් පසු උස පැනීමෙන් පදක්කම් දිනූ එකම ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාව වන්නේ නිකොලා ය. මේ සියල්ල ඇයට වීරවරියකගේ පිළිගැනිම තිළිණ කර ඇත.
එසේම ඈ ලෝකයේ දැඩි අවධානයට පත් වූ ක්‍රීඩිකාවක බවට අසුරු සැණින් පත්ව තිබේ. ඇතැම් විට එය එම ඉසව්වේ රන් පදක්කම දිනාගත් රුසියානු ක්‍රීඩිකාවටත් වඩා ඉහළ අවධානයකි. ඒ මීට පෙර සඳහන් කළාක් මෙන් සෑම පිම්මක් අවසානයේ ම පිටියේ වාඩිවී තමන්ගේ දින පොතේ මොනවාදෝ සටහන් තබන ඇගේ රුව කැමරා කාචයන් තුළ සටහන් වන විට ය.
‘මම හැම පිම්මකටම පස්සේ මගේ දින පොතේ ලියන්නේ මොනවාද කියලා හැමෝම කල්පනා කරනවා ඇති. ඒ තමයි මම එය තරණය කළ ආකාරය ගැන සටහනක් තබා ගන්නවා.’ ඈ දෙනෙත් කුඩා කරමින් කියන්නේ ආකර්ශණීය සොඳුරු සිනහවක් මවා ගනිමිනි.
‘උස පැනීම කියන්නේ පැහැදිලි කරගන්න තරමක් අමාරු ඉසව්වක්. අනෙක මම මගේ පිම්මක පුනරූපණය බලන්නේ නෑ. නමුත් මම හිතනව මෙම සටහනෙන් මට එය ලැබෙනවා කියලා.’ ඈ පවසන්නී ය.
මෙවර ඔලිම්පික් රන් පදක්කම දිනූ රුසියානු ක්‍රීඩිකාව තරණය කළ උස ප්‍රමාණය ගැන ද ඈ කතාකරන්නට අමතක කර නැත.
‘මටත් මීටර් 2.04 ක් තරණය කරන්න උවමනායි. මම මගේ හැකියාවන් ගණනය කරලා බලද්දී මට හිතෙන්නේ ඒක කරන්න මට හැකියාව තියෙනවා කියලයි. සති දෙකකට පස්සේ අපි යුරෝපයේ තරග වදිනවා. එවිට මේ උස තරණය කරන්න හැකිවේවි කියලා මා තුළ විශ්වාසයක් තියෙනවා.’ ඈ පවසන්නී ය.
‘මම මගේ ටී ෂර්ටයේ හැම ප්‍රයත්නයක් අවසානයේ දීම සටහනක් තබාගන්නවා. ඒක
මගේ තවත් පුරුද්දක්. මම හරස් දණ්ඩ තරණය කළ සෑම වෙලාවකම එම සටහන් ටී ෂර්ටයේ සටහන් වෙනවා. මේ හැමදෙයකින්ම මට හැඟෙන්නේ දවසින් දවස ඉදිරියට යන්න යන්න තව බොහෝ දේ කරන්න තිබෙන බවයි.’ ඈ පවසයි.
මේ සියල්ල අතර නිකොලා සතුව තවත් රහසිගත අවියක් තිබේ. ඈ විශ්වාස කරන පරිදි එම අවිය ඇයට ඔලිම්පික් පදක්කම් පලඳන වේදිකාවට පැමිණීමට මඟ විවර කර දුන්නේ ය
‘ඒ තමයි මැට්. ඔහු දේශීය පුහුණුකරුවෙක්.ඔහු සැමවිටම සැලකුම් ලබන විට මගේ දක්ෂතා වැඩිදියුණු වුණා. මම තරගාවලියකට
විදේශගත වන හැම අවස්ථාවකම ඔහුත් මා සමඟ පැමිණියා. මැට් දැන් ලෝකයේ කීර්තිමත් පුහුණුකරුවන් අතර ඉන්නවා. ඔහු එහි ඉන්නේ ඔහුගේ නිහතමානීත්වය නිසයි. ඒ වගේම ඔහුගේ අධිෂ්ඨානය හා ක්‍රමවේදයන් ඊට ඉවහල්ව තිබෙනවා. ඇත්තටම කියනවා නම් තවමත් ඔහු පූර්ණ කාලීනව පුහුණු කරන්නේ නෑ. ජීවත් වෙන්න වෙනත් රැකියාවක නියැළිලා අර්ධ කාලීනව තමයි පුහුණුකටයුතු වල නියැලෙන්නේ. අනෙක පුහුණුකරුවෙක් වශයෙන් ඔහුට වැටුප් ලැබෙන්නේ නෑ. ඒත් ඔහු කිසි දෙයකින් අධෛර්යට පත්වෙන්නේ නෑ. ඔහු අධිෂ්ඨානශීලි, ධෛර්යවන්ත හා අලුත් ආකාරයට එය කිරීමට කැමැති කෙනෙක්. ඒ නිසා මම හිතන්නේ ඔහුට කළ හැකි දේ සම්බන්ධයෙන් සලකන කල මේ පදක්කම හරියට මහා සාගරයට වැටුණු පුංචි දිය බිඳුවකට සමානයි.’ ඈ පවසන්නී ය.
තවදුරටත් අදහස් දක්වන ඈ,
‘මම පැරිස් නුවරදී රන් පදක්කමක් දිනාගන්නවා. ඒක මට සියයට සියයක් කරන්න පිළිවන් කියන විශ්වාසයක් මට තිබෙනවා. ඔබට යම් තිර විශ්වාසයක් තිබෙනවා නම් ඕනෑම අරමුණක් සාර්ථක කරගන්න පිළිවන්. අනෙක මම උස පනිද්දී හරස් දණ්ඩට ඉහළින් ගුවනේ ඉලිප්පෙන්නෙ කිසිම බියකින් නොවෙයි. මොකද මම දෙවියන්ගේ ආදරයේ රැකවරණය හිමි තැනැත්තෙක් නිසා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් කිසිම සැකයක් හෝ බියක් මගේ් සිත තුළ ගොඩනැඟෙන්නේ නෑ.’ තම ඇදහීමේ විශ්වාසය ද සමඟින් ඈ තුළ ගොඩනැඟී ඇති මානසික ශක්තිය එවැනි ය.
මේ නිකොලා අදට වඩා හෙට ඇය ගැන කතාකිරීමට අපට බොහෝ දේ එක්කරනු ඇත. නමුත්, සොඳුරු නිකොලා යනු සෙන්ටි මීටරයෙන් සෙන්ටි මීටරය දක්ෂතාවය වර්ධනය කර ලෝකයට මීටර් වූ අසම සම ක්‍රීඩිකාවක යැයි අපට කෙටියෙන් ඈ ගැන කියන්නට පිළිවන.