
ජගත් ටෙස්ට් ශුරතා තරගමාලාවේ මුල්ම ශුරතාව නවසීලන්තය අත් කරගත් අතර එහි දෙවැනි අදියර වන 2021-23 තරගාවලිය අගෝස්තු 04 දින ආරම්භ වුයේ ඉන්දියාව හා එංගලන්තය අතර තරගමාලාවේ ට්‍රේන්ට්බ්‍රිජ්හි පැවති මුල්ම ටෙස්ට් තරගයෙනි.
දින හතරක් පුරා තියුණු අන්දමින් ඇදී ගිය මෙම තරගයේ අවසන් දින වනවිට ඉන්දියාව සිය දෙවන ඉනිමේ ලකුණු පුවරුව 52/01 ලෙස සටහන් කරගෙන තිබුණේ පස්වන දින ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 156 ක් පසු පසින් සිටිමිනි. කෙසේ නමුත් පස්වන දින අයහපත් කාලගුණික තත්ත්වය මත තරගය පැවැත්වීමට නොහැකි වු අතර එය ජයපරාජයෙන් තොරව නිමාවිය. මේ අනුව දෙපිලටම ලකුණු 04 බැගින් පිරි නැමිණි.
“අපි හිතුවේ තෙවැනි හෝ සිව්වැනි දිනවල වහියි කියලා වුණත් අවසානයේ වැස්ස එන්නට තෝරා ගෙන තිබුණේ පස්වන දිනයයි. අපිට ජයග්‍රාහී ඉලක්කය වෙත යන්නට හොඳ අවස්ථාවක් තිබුණා.” ඉන්දීය නායක විරාත් කෝලි තරගයෙන් පසු එසේ අදහස් දක්වන විට එංගලන්ත නායක ජෝ රූට් පැවසුවේ “ඇත්තෙන්ම ඉන්දියාව ඉදිරියෙන් සිටි බව නොකිව්වොත් මම බොරු කියනවා වෙනවා.නමුත් මම දන්නවා මේ වගේ තණතීරුවක කඩුලු දෙකක් පමණ දැවී ගියහොත් තරගයක් වෙනස් වන්නට ඉඩ ඇති බව. පස්වන දිනයේ ඇති පීඩනය මධ්‍යයේ පිතිකරණයේ යෙදීම තරගය අපේ පැත්තට හැරෙන්නක් වීමට ඉඩ තිබුණා.”යනුවෙනි.
ජෝ රූට්ට මෙය විශේෂ ටෙස්ට් තරගයකි.ඒ මෙවර ටෙස්ට් ශුරතාවයේ මුල්ම අර්ධ ශතකය හා ශතකය ලැබූ පිතිකරුවා වශයෙනි.
මෙවර ජගත් ටෙස්ට් ශුරතාව 2023 මාර්තු දක්වා ඇදී යන අතර තරගාවලියක් සඳහා 02,03,04,05 වශයෙන් ටෙස්ට් තරග ඇතුළත් වනු ඇති නමුත් තරග 05 තරගමාලා ඇත්තේ දෙකක් පමණි.ඒ දැන් පැවැත්වෙන ඉන්දීය-එංගලන්තය තරගාවලිය හා මෙම වසර අවසන ඇරඹීමට නියමිත එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර තරගාවලිය පමණි.
එක තරග ජයග්‍රහණයක් සඳහා ලකුණු 12ක් හිමිවන අතර ලකුණු සමවිමෙන් අවසන් වන තරගයක් සඳහා ලකුණු 06 ක් ද ජයපරාජයෙන් තොර අවසානයක් සඳහා ලකුණු 04 ක් ද හිමිවේ.එමෙන්ම නියමිත පන්දු වාර සංඛ්‍යාව යැවීමට අපොහොසත්වීම වෙනුවෙන් ලකුණක් අඩු කෙරේ. තවද ලකුණු අනුපාතයද මෙහිදී ක්‍රියාත්මක වේ.
වත්මන් ටෙස්ට් පිටියේ සිටින රටවල් 12 අතරින් සිම්බාබ්වේ,ඇෆ්ගනිස්තානය හා අයර්ලන්තය යන රටවල් මෙවර තරගාවලියට ඇතුළත් නොවන අතර මෙම තරගාවලිය පැවැත්වෙන්නේ රටවල් නවයක් අතර ය. එක් කණ්ඩායමක් තරග වැදිය යුත්තේ කණ්ඩායම් හයක් සමග මුළු තරගමාලා හයකට පමණක් වීම ද විශේෂත්වයකි. මේ අතරින් තරගමාලා තුනක් තම රට තුළද ඉතිරි තරග තුන විදේශයන්හි දී ද පැවැත්වේ. මෙහි විශේෂත්වය ඉන්දියාව හා පාකිස්ථානය අතර තරග මාලාවක් මෙවරද දැක ගැනීමට නොහැකි වීමය.
මේ අතරින් වැඩිම ටෙස්ට් තරග ගණනකට මෙවර සහභාගී වනු ඇත්තේ එංගලන්තයයි. ඒ තරග 22 ක ට ය. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය සමග ඔවුනට තරග නැත. ඉන්දියාව තරග 19 ක ක්‍රීඩා කරන්නේ කොදෙව් හා පාකිස්තානය සමග තරග නොවදිමිනි.
ඔස්ට්‍රේලියාව මේ යටතේ තරග 18 ක ට මුහුණ දීමට නියමිතය. එහිදී ඔවුන්ට බංගලි දේශය හා නවසීලන්තය සමග තරග වැදීමේ අවස්තාව හිමිකරගෙන ඇත.දකුණු අප්‍රිකාව තරග 15 ක ට ද, ශ්‍රී ලංකාව,කොදෙව්,නවසීලන්තය හා පකිස්ථානය තරග 13 ක ට ද මුහුණ දෙන මෙවර අඩුම තරග ගණනකට ක්‍රීඩා කරනු ඇත්තේ බංග්ලාදේශයයි. ඒ ගණන තරග 12 කි.
මෙවර ශ්‍රී ලංකාව තරග වදින ආකාරය දෙස බලන විට දැනට සකස්වී ඇති කාල සටහනට අනුව මෙම වසර අවසානයේ බංග්ලාදේශයේ දී ද ,2022 පෙබරවාරි- මාර්තු ඉන්දියාවේ දී ද, 2022 ජුනි ඔස්ට්‍රේලියාව සමග ශ්‍රී ලංකාවේ දි ද,2022 ජුලි පකිස්ථානය සමග ශ්‍රී ලංකාවේ දි ද,2022 ඔක්තෝම්බර් කොදෙව් පිල සමග ශ්‍රී ලංකාවේ දි ද ,2022 දෙසැම්බර් නවසිලන්තයේ දී ද තරග වැදීමට නියමිතය. පසුගිය අවස්ථාවේ ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව සමග ශ්‍රී ලංකාව තරග නොවැදුණු අතර මෙවර දකුණු අප්‍රිකාව හා එංගලන්තය සමග තරග නොවදිනු ඇත.
කලින් සඳහන් කළ පරිදි ඉන්දියාව හා පාකිස්තානය අතර මුල් වටයේ තරගයක් නොපවතින නමුත් ක්‍රිකට් ටික්ස් කොම් නමැති වෙබ් අඩවිය මෙහිදී අනාවැකියක් පවසන්නේ මුල්වටයේ ඉන්දියාව අංක එකටත් පකිස්ථානය අංක දෙකට ත් පැමිණ අවසන් තරගය ක්‍රීඩා කරනු ඇති බව ය.
මෙම රටවල් අතර කෙතරම් මතබේද තිබුණ ද දෙරට ක්‍රිකට් ලෝලීන් වැඩි දෙනෙකුගේ බලාපොරොත්තුව මෙය බව නොකියාම බැරි ය.මෙම වෙබ් අඩවිය දෙරට ක්‍රිකට් ලෝලීන්ගේ හදවත් තුළට එබී කරන මෙම අනාවැකියට අනුව ඉන්දියාව සහභාගිවන තරග 19 න් තරග 13 ක් ජයගන්නා අතර පරාජය වන්නේ තරග හයක් පමණි. පාකිස්ථානය තරග 13 කින් තරග 08 ක් ජය ගෙන 03 ක් පරාජයවී 02 ක් තීරණයකින් තොරව අවසන් කරයි.
ඔවුන් වැඩිදුරටත් දක්වන්නේ ඉන්දියාව හා පකිස්ථානයට පසු පිළිවෙලින් ඉතිරි ස්ථාන හිමි කරගන්නා රටවල් ලෙස ඔස්ට්‍රේලියාව,දකුණු අප්‍රිකාව,නවසීලන්තය,එංගලන්තය,ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් හා බංග්ලාදේශය යන රටවල්ය.
ශ්‍රී ලංකාව සම්බන්ධව එම වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ තරග 13 න්,තරග 03 ක් ජයගෙන තරග 09 ක් පරාජය වනු අති අතර එක තරගයක් පමණක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගනු ඇතැයි පවසයි. මේ අනාවැකිය බොරු කිරීමේ වගකීම ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වගකීමක් ව ඇත.
අනිල් වීරසිංහ










