
ටෝකියෝ ඔලිම්පික් සැණකෙළිය පසුගිය සතියේ නිමාවට පත් විය. මෙවර ඔලිම්පික් පදක්කම් සටහනේ පෙරමුණ ගත්තේ අමෙරිකාව ය. දෙවැනි ස්ථානය චීනයටත් , තෙවැනි තැන සත්කාරක ජපානයටත් හිමි විණි. පදක්කම් සටහනේ මුල් ස්ථානයන්හි රැඳී සිටි චීනය, අමරිකාව, ජපානය, බ්‍රිතාන්‍යය යන රටවල් ක්‍රීඩා ලොව දැවැන්තයින් බව රහසක් නොවේ. සෑම ඔලිම්පික් තරගාවලියකම පාහේ මුල් තැන් බෙදී යන්නේ එකී ප්‍රබල රටවල් අතර ය. ක්‍රීඩාවේ, ආර්ථිකයේ හා දේශපාලන බලයේ ප්‍රමුඛයන් මෙලෙස පදක්කම් සටහනේ පෙරමුණ වෙනුවෙන් සටන් කරද්දි ඇතැම් රටවල් උත්සාහ ගන්නේ ක්‍රීඩාවේ අහිංසක අපේක්ෂාවක් සාක්ෂාත් කරගන්නට ය. එවැනි රටවල් සිහින මවන්නේ සිය ඔලිම්පික් ඉතිහාසයේ පළමු පදක්කම දිනා ගැනීමට ය. ප්‍රබලයින්ට පදක්කමක් දිනා ගැනීම සාමාන්‍ය සංසිද්ධියක් වුව ද ඇතැම් රටවලට පදක්කමක් යනු මහමෙරක් තරම් වටිනා වස්තුවකි. මෙවර ඔලිම්පික් සැණකෙළිය සමාප්ත වූයේ ද ලොව රටවල් කිහිපයකට සිය කුලුඳුල් පදක්කම් සිහිනය යථාර්ථයක් කර දෙමිනි. බුර්කිනා ෆාසෝ රාජ්‍යය, සැන් මරීනා රාජ්‍යය සහ ටර්කිමනිස්තාන් රාජ්‍යය යන රටවල් මෙවර එම සිහිනය සැබෑ කරගත් රටවල් ය.
බුර්කිනෝෆාසෝ
බුර්කිනෝ ෆාසෝ යනු බටහිර අප්‍රිකාවේ පිහිටි කුඩා රාජ්‍යය කි. එම රාජ්‍යය පළමු වරට ඔලිම්පික් තරගාවලියක් නියෝජනය කළේ 1972 දී ය. එහිදී කිසිදු පදක්කමක් දිනා නොගත් ඔවුන් 1976, 1980, 1984 වසරවලදී ඔලිම්පික් තරගාවලි නියෝජනය කළේ නැත.
1988 සිට 2020 වසර දක්වා පැවැති සියලු ගිම්හාන ඔලිම්පික් උලෙළ වෙනුවෙන් තරග කරන්නට වරම් ලද ඔවුන් පළමුවරට පදක්කමක් දිනා ගත්තේ මෙවර ඔලිම්පික් උලෙළේ දී ය. ඒ පිරිමි තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කමක් වශයෙනි. මෙම ඓතිහාසික පදක්කමට හිමි කම් කියන ඔහු නමින් ෆැබ්රිස් සැන්ගෝ ය. 28 වන වියෙහි පසුවන සැන්ගෝ මේ වන විට තුන් පිම්ම ඉසව්වෙන් ජාත්‍යන්තර පදක්කම් 6 ක් දිනාගෙන ඇත්‍තෙකි.
සැන් මැරිනෝ
සැන් මැරීනෝ රාජ්‍යය යනු මෙවර ඔලිම්පික් උලෙළේ තවත් පෙරළියක් සිදු කළ රාජ්‍යයකි. ඔවුහු 1960 වසරේ සිට 2020 දක්වා එකම එක අවස්ථාවක දී හැරෙන්නට සෑම ගිම්හාන ඔලිම්පික් උලෙළක්ම නියෝජනය කළ හ.
1964 ටෝකියෝ ඔලිම්පික් උලෙළ සඳහා සැන්මැරිනෝ රාජ්‍යය සහභාගී නොවුවත් 2020 ටෝකියෝ ඔලිම්පික් නියෝජනය කරමින් පළමුවරට එහිදී පදක්කම් 3 ක් දිනා ගත් හ. එහි ඇති විශේෂත්වය වනුයේ ගිම්හාන ඔලිම්පික් තරගාවලි මෙන් ම ශීත ඔලිම්පික් තරගාවලි 10 ක් නියෝජනය කරමින් ඒ වෙනුවෙන් බලා සිටීමට ඔවුනට සිදුවීමයි.
එය රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් ලෙස සටහන් විණි. එහිදී ඇලෙක්සැන්ඩ්‍රා පෙරිලි ක්‍රීඩිකාව වෙඩි තැබීම ක්‍රීඩා ඉසව්වෙන් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත් හ. ඇය රිදී පදක්කම දිනා ගත්තේ කණ්ඩායම් අංශයෙනි. ඒ අනුව ඇය හා ජියන් බාකෝ බර්ටි ද රිදී පදක්කමින් පිදුම් ලැබුවෝ ය. ඔවුන් දිනා ගත් අනික් ලෝකඩ පදක්කම මල්ලවපොර ක්‍රීඩාවෙන් තරග වැදුණු මයිල්ස් අමීන් සතු විණි.
ටර්කිමනිස්තානය
ටර්කිමනිස්තානය රාජ්‍යය මධ්‍යම ආසියාතික රාජ්‍යයකි. 1996 සිට 2020 දක්වාම ඔලිම්පික් නියෝජනය කරන්නට වරම් ලද එම රාජ්‍යය ද පළමු වරට සිය ඔලිම්පික් පදක්කම් සිහිනය සැබෑ කරගත්තේ මෙවර ඔලිම්පික් උලෙළේ දී ය.
ඒ කාන්තා බර ඉසිලීමේ කිලෝ ග්‍රෑම් 59 ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගනිමිනි. එම පදක්කම පොලීනා ගුර්යෙවා දිනා ගත් අතර ඈ මේ වනවිටත් ජාත්‍යන්තර පදක්කම් රැසක් ම දිනා තවමත් විසි එක් වියැති ක්‍රීඩිකාවකි.