නිවැරදිව උගත යුතු පරාජයේ සංස්කෘතිය | සිළුමිණ

නිවැරදිව උගත යුතු පරාජයේ සංස්කෘතිය

 

පරාජය යනු යහපත් ගුරුවරයෙකි. ජයග්‍රහණයේ ගුරුවරයා කියා දෙන පාඩමට වඩා ඔහු කියාදෙන පාඩම් ගැඹුරු ය. එහෙත් ඒ ගැඹුර නිවැරදිව දැනෙන්නේ එය නිසිලෙස අවබෝධ කරගන්නන්ට ය. කෙසේනමුත් ජයග්‍රහණය සොයන්නේ නම් පරාජයේ පාඩම නිවැරදිව උගත යුතුම ය.

අපට දැනෙන ආකාරයට නම් ශ්‍රී ලංකා සමාජයේ බොහෝ දෙනෙක් පරාජයෙන් පාඩම් උගෙන ගන්නේ නැත. ඉගෙන ගන්නවා නම් ඒ ඉතාමත් ස්වල්ප වශයෙනි. ඇතැම්විට එය එසේ වී ඇත්තේ පරාජයේ ගුරුවරයා නිරතුරුව මුණගැසීමට ඔවුන් දක්වන කැමැත්ත විය යුතු ය. එහෙත් පරාජයේ ගුරුවරයා නිරතුරුව මුණගැසෙන්නේ නම් ඔහුගේ හෝ ඇගේ ලජ්ජා වේ ස්නායු තන්තු හිරිවැටී, මියයාම වළකනු නොහැක.

අප එය පසුගිය දසක ගණනාවක් පුරා අවස්ථා කීපයදී හැර සෙසු බොහෝ අවස්ථාවලදී මෙරට ක්‍රීඩාව තුළ නිරන්තරයෙන් දුටු බව කිවයුත්තේ කනගාටුවෙනි. එහෙයින් කලාතුරකින් මුණගැසිය යුතු පරාජයේ ගුරුවරයා වෙනුවට ඔහු ඉතා ළඟින් ඇසුරු කරන ක්‍රීඩක, පරිපාලකයන් රොත්තක් රට තුළ බිහිවූ හ. එයින් අප කියන්නට යන්නේ පරාජය යනු කිසිවිටෙක් ඇසුරු නොකළ යුතු ප්‍රපංචයක් කියා නොවේ. එය ඇසුරු කිරීම මගින් මානව ජීවිතයට ගැඹුරු දර්ශනයක් එක්වන බව අපි පිළිගනිමු. එහෙත් ගැටළුව ඇත්තේ එකී දර්ශනය මඟින් අත්කරගත හැකි හා අත්කරගයුතු ප්‍රතිලාභ කිසිවක් අත්පත් නොකරගනිමින් ක්‍රියා කිරීම ය.

මනෝ විද්‍යාත්මකව සලකන කල පරාජය තුළින් මතුවන සෘණාත්මක සිතිවිලි පාලනය කරගැනීමට හැකිවීම ජයග්‍රහණයක් ලෙස සලකන්නට පිළිවන. ආතතියෙන් තොරව කිසියම් කාර්යයක නිරතවීමට එමගින් ජිවිත පන්නරයක් නිර්මාණය කරගත හැක. එහෙත් පරාජය තුළින් අප උගත යුතු බොහෝ පාඩම් මඟහැර දමා එකී පන්නරය ලබාගැනීම පිළිගැනීමට නොහැක. එය එකී දරාගැනීමේ හැකියාව මතුකරගන්නවා වෙනුවට පරාජය නොසලකා හැරීමක් බවට පත්කරමින් සිටීම කනගාටුදායක ය.

මීට පෙර කීවාක් මෙන් පරාජය ගෞරවණීය පරාජයක් බවට පෙරළා ගැනීමට අප උත්සුක විය යුතු ය. ලෝකයේ දක්ෂතම පරාජිතයා නම් කර ඔහුට හෝ ඇයට සම්මාන දෙන්නේ එහෙයිනි. මන්ද ඕනෑම පුද්ගලයකු පරාජය වන්නට සම්භාවිතාවක් පවතින බව පිළිගන්නට සිදුවේ. ජයග්‍රාහකයකු නිර්මාණය වන්නේ නම් ඒ සමඟ පරාජිතයන් රැසක් බිහිවීම ද ස්වභාවික ය. එහෙත් අප පෙරකීවාක් මෙන් සටනක් ලබාදුන් පරාජයක් විය යුතු ය.

එයින් ගම්‍ය වන්නේ පරාජය ලැබීමේ දී පුද්ගලයා තුළ යම් වර්ධනයක් දැකීමට හැකිවීම වැදගත් බවකි. සියලු පරාජයන් අවසන යම් දැනුමකින් සන්නද්ධ ක්‍රීඩකයකු නිර්මාණය වීම අවශ්‍ය ය. එසේම පරාජය මගින් අරමුණක් කෙරේ ඉලක්කයක් නිර්මාණය කළ හැකිය. එහෙත් එම ඉලක්කය පරාජයේ අත්දැකීම් ලැබූ මුල් කාලයේ ඇතිවී නැතිවී යාම බොහෝ විට දක්නට ලැබෙන තත්ත්වයකි. එහෙත් එය එසේ වීමට ඉඩනොදිය යුතු ය.

ලෝකය තුළ බිහිවූ ඇතැම් ක්‍රීඩකයන් වසර දොළහක් එසේත් නැතහොත් දහසයක් බලා සිට ඔලිම්පික් පදක්කම් දිනාගන්නේ එකි පරාජයේ අත්දැකීමෙන් පසු ඇතිකරගත් ඉලක්කය හේතුවෙනි. සිව් වසරකට වරක් පැවැත්වෙන තරගාවලියක් වෙනුවෙන් තිර අදිටනකින් වසර කීපයක් තිස්සේ අඛණ්ඩව ඉලක්ක තබා සිට එය සාධනය කරගත් මෙවැනි ක්‍රීඩකයන්ගේ මානසික ශක්තිය විශිෂ්ට ය.

ඔවුහු අතීතයේ තමන් පරාජය කළ සිතිවිලි පාගා අනාගතයේ ජයග්‍රහණය හිමිකරගැනීම උදෙසා දැඩි අදිටනින් කටයුතු කර එය අත්පත්කර ගත්තෝ වෙති. මේ තත්ත්වය වර්ධනය කරගැනීම උදෙසා ක්‍රීඩකයන්ට අවශ්‍ය පුහුණුව, පුහුණුවේ විධිමත් තාක්ෂණය පමණක් ලබාදීම ප්‍රමාණවත් නොවන බව දැන් අවබෝධ කරග හැකි ය. එසේ නම් ඊට අන් විකල්පයක් සොයාගැනීම වැදගත් ය.

ඒ අන්කිසිවක් නොව මානසික සූදානම් වීම ය. ක්‍රීඩකයකු කායික වශයෙන් පමණක් නොව මානසික වශයෙන් ද සූදානම් කිරීම වැදගත් ය. එහෙත් අප වැනි රටක මානසික සූදානමක් ලබාගැනීමට ක්‍රීඩකයනට නිසි අවසරයක් හිමිවන්නේ ද ප්‍රශ්නයකි.

උදාහරණයකට යම් ක්‍රීඩක කණ්ඩායමක් විදෙස් තරග සංචාරයකට පිටත්ව යාමට පෙර ලබාදෙන්නේ ආගමික ආශිර්වාදයක් පමණි. එය මානසික ශක්තියක් බව සැබෑවකි. එහෙත් ඊට අතිරේකව ඔවුන්ගේ මානසික ශක්තිය උපරිම තලයට රැගෙන ඒමට කටයුතු කිරීම වැදගත්ය.

එමගින් ක්‍රීඩකයන්ගේ මානසිකත්වය වර්ධනය කර ජයග්‍රහණයේ උපරිමය ලබාගැනීමට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට විද්‍යාත්මක සන්දර්භයක් මත පිහිටා කටයුතු කිරීම ය. ඊට උචිතම කාර්යයක් වනුයේ ක්‍රීඩකයන් සමඟ කතාකිරීමට හැකි සම්පත් දායකයකුගේ සේවය ලබාදීම ය.

මේ සියලු දේ සිදුකිරීමට පෙර අප පෙරකී පරාජයේ ගුරුවරයා කියාදුන් පාඩමට නිසිලෙස සංවේදීවීමට ක්‍රීඩකයින් යොමුකරවනු ලැබේ. එසේම තමන් ලැබූ පරාජය සම්බන්ධයෙන් යම් ප්‍රමාණයක පසුතැවීමක් ගොඩනගාගැනීමට හැකිය. එසේම සෑම පරාජයක් අවසානයේම සමාජයට මුහුණදීමේ අසීරුතාවක් පුද්ගලයා තුළ ගොඩනැගීම වැදගත් ය. තම උපරිමය ඉක්මවා කටයුතු කර ලැබූ පරාජයක් නම් ඒ සම්බන්ධයෙන් එවැනි කනගාටුවක් අවශ්‍ය වන්නේ නැතිබව සැබෑවකි.

එහෙත් වර්තමානයේ පරාජිතයන් වන කිසිදු ක්‍රීඩකයකු තුළ මෙකී පශ්චත්තාපී හැඟීමක සේයාවක් පවා පවතින බවක් පෙනෙන්නට නැත. ඔවුන් හැසිරෙන්නේ රට නියෝජනය කළවුන් ලෙස නොව පෞද්ගලික අභිලාෂයන් උදෙසා තරගාවලියකට සහභාගිවූවන් ලෙස ය. පරාජයෙන් අනතුරුව සිනාසෙන්නේත්, තමන් විසින්ම තම ජංගම කැමරාවේ ඡායාරූප සටහන් කරගන්නේත් එවැනි හැඟීමක් ප්‍රකට කරවමිනි.

සංචාරයකට පිටත්වීම අපවැනි දූපත්වාසී පුරවැසියකුට විශේෂ කටයුත්තක් සේ සලකන කල ක්‍රීඩකයන් විෂයේ වුව එවැනි ක්‍රියා දක්නට ලැබීම සාමාන්‍ය තත්ත්වයක් සේ ගත හැකිය. එහෙත් ඒවා සමාජ ජාලාහි විසරණය වන්නට සැලැස්වීමෙන් ඇතිවන්නේ පරාජය සම්බන්ධයෙන් කිසිදු සංවේදී භාවයක් නැති ක්‍රීඩකත්වයක් සම්බන්ධ ප්‍රබල පණිවුඩයකි.

එවිට සිදුවනුයේ ක්‍රීඩලෝලීන්තුළ ක්‍රීඩාව සම්බන්ධ හැඟීම් බිඳවැටීම ය. එවිට ඔවුහු ක්‍රීඩාව අතහැර යාමට පෙළඹෙති. එලෙස ඔවුහු ක්‍රීඩාව අතහැර යනවිට සිදුවනුයේ ක්‍රීඩාව වටා රොක්වන අනුග්‍රාහකයින් හිඟවීම ය. එවිට ක්‍රීඩාව පවත්වාගෙන යාමේ ගැටළු නිර්මාණය වීම ය. අවසානයේ බෝඩ් ලෑලි සංගම්, ලිපි ශීර්ෂ මුද්‍රණයට, ප්‍රාදේශීය සංගමයකට ලිපියක් යොමුකිරීමට පවා ක්‍රීඩා අමාත්‍යාංශයට අතපානා ආර්ථික ශක්තියෙන් බංකොලොත් ක්‍රීඩා සංගම් නිර්මාණය වීම ය.

මේ සියල්ල වෙනස් කළ හැක්කේ පරාජයේ පාඩම හා එහි ඇති සංස්කෘතිය නිවැරදිව තේරුම්ගෙන කටයුතු කරන්නේ නම් පමණි.

Comments