
'උත්තෝලකය යනු විදුලි සෝපානය ය. එය දන්නා භාෂාවෙන් කියන්නේ නම් ලිෆ්ට් එක ය. කෙනෙකුගේ ජීවිතය ජයග්‍රහණයේ මතු මහලට නැඟීමට උපකාර කළ උත්තෝලකයක් වශයෙන් ක්‍රීඩාව හැඳින්වීමට පිළිවන. එය වඩාත් ශක්තිමත් නැඟී සිටීමක් බවට පත්කරන්නට ඔලිම්පික් ක්‍රීඩාව සමත් වන බව නොරහසකි. මේ එවැනි ඔලිම්පික් උත්තෝලකය හරහා ධෛර්යයෙන්, නොපසුබට වීර්යයෙන් ජීවිතයේ මතු මහලට නැඟගත් ක්‍රීඩකයන් ගැන ය.'
තමන් උපන් මවුබිම නියෝජනය කරමින් ඔලිම්පික් වරම් ලබන්නට ලොව සෑම ක්‍රීඩකයකුටම වාසනාව ලැබෙන්නේ නැත. ඒ අතුරින් ඔලිම්පික් පදක්කමක් දිනාගැනීමේ වාසනාව සැමට පෑදෙන්නේ ද නැත.
ඇතැමුන් තමන් නියෝජනය කරන පළමු ඔලිම්පික් තරගාවලියේ දී ම රන්, රිදී පදක්කම් ලබන්නට වාසනාවන්ත වන අතර ඇතැම්හු තමන් නියෝජනය කරන සෑම ඔලිම්පික් තරගාවලියකම පාහේ පදක්කම් ලබති. නමුත් ඒ අතර සිය පළමු, දෙවැනි ඔලිම්පික් නියෝජනයන්හි අවාසනාවන්ත ලෙස පරාජයට පත්ව උත්සාහය සහ කැපවීම මත ඔලිම්පික් ජයග්‍රහණ ලැබූ ක්‍රීඩක ක්‍රීඩකාවෝ ද වෙති. මෙය ඒ අතුරින් කිහිප දෙනෙක් පිළිබඳ සටහනකි.
ජොනතන් එඩ්වර්ඩ්ස්
ජොනතන් එඩ්වර්ඩ්ස් යනු බ්‍රිතාන්‍ය ජාතික තුන් පිම්ම ශූරයෙකි. 1988 සෝල් ඔලිම්පික් තරගාවලිය ඔහුගේ පළමු ඔලිම්පික් නියෝජනය විය. එවකට ජොනතන්ගේ වයස අවුරුදු 23 කි. තුන් පිම්ම ඉසව්වෙන් මහා බ්‍රිතාන්‍යය නියෝජනය කළ ඔහුට අවසන් වටයේදී හිමි වූයේ 23 වන ස්ථානය යි.
ඉන් අනතුරුව 1992 බාසිලෝනා ඔලිම්පික් තරගාවලියට ද ජොනතන් සුදුසුකම් ලද්දේ ය. නමුත් එවර ඔහු පෙරටත් වඩා පසු බැස්සේ ය. එහිදී ඔහුට හිමි වූයේ 35 වන ස්ථානය ය. ජයග්‍රහණය සඳහා තවත් බොහෝ දුරක් යා යුතු බව පෙනෙන්නට තිබුණත් නොපසුබට සිතින් පුහුණුවීම් කළ ජොනතන් 1996 ඇට්ලන්ටා ඔලිම්පික් උලෙළ සඳහා ද සුදුසුකම් ලැබී ය. එවකට ඔහු පසුවුණේ 31 වන වියෙහි ය.
නිරන්තර පුහුණුව, පරාජයන් තුළින් ලද පන්නරය නිසාම පෙර ඔලිම්පික් උලෙළෙහි 35 වන තැන පසු වූ ජොනතන් ඇට්ලන්ටා හි දී තුන්පිම්ම ඉසව්වේ දෙවැනි තැන දක්වා උසස්වීම් ලැබුවේ ය. තුන් පිම්ම ඉසව්වේ රිදී පදක්කමට හිමිකම් කීමට ජොනතන්ට එවර හැකි විණි.
ඇට්ලන්ටා හි දී රිදියෙන් සැරසුණු ජොනතන් 2000 සිඩ්නි ඔලිම්පික් තරගාවලියට ද සුදුසුකම් ලැබී ය.
එ් වන විට 35 වන වියෙහි පසු වූ ජොනතන් අත්දැකීම් සපිරි දක්ෂ ක්‍රීඩකයකු වූවත් ඔහුට
තරග කරන්නට සිදු වූයේ ඔහුට වඩා තරුණ ක්‍රීඩක පිරිසක් සමඟ ය. නමුත් විශ්වාසය, උත්සාහය, කැපවීම තුළින් දිගු ගමනක් පැමිණි ජොනතන් සිඩ්නි නුවර දී සිය මව්බිම රනින් සරසවන්නට සමත්කම් පෑවේ ය. ජොනතන් වසර 12 ක් ඔලිම්පික් උලෙළ 4 ක් පුරාවට පැමිණි දිගු ගමනේ අග්‍රඵලය නෙළා ගත්තේ එලෙසිනි.
මෙලීනා රොබට්
ප්‍රංශ ජාතික කව පෙත්ත විසි කිරීමේ ශූරියක් වන මෙලීනා රොබට් ද ධෛර්ය සම්පන්න භාවය නිසාම ලොව ජයගත් ක්‍රීඩිකාවකි. ඇගේ පළමු ඔලිම්පික් නියෝජනය වූයේ 2000 සිඩ්නි ඔලිම්පික් උලෙළ යි. එහිදී ඇය විසි කරන ලද කවපෙත්ත ජයග්‍රහණයකට අවශ්‍ය තරම් දුරකට ගමන් නොකළ අතර ඒ නිසා අවසන් වටයේ 29 ස්ථානයෙන් ඇයට සෑහෙන්නට සිදු විය. සිඩ්නි පරාජයෙන් නොසැලුණු ඇය 2004 ඇතෑන්ස් ඔලිම්පික් සදහා ද සුදුසුකම් ලැබුවත් එහිදී ඇයට හිමි වූයේ 30 වන ස්ථානයයි. 2008 බීජිං ඔලිම්පික් උලෙෙළහි ද පදක්කමක් ලබා ගන්නට තරම් ඇය දස්කම් අතරට නොපැමිණි නමුත් අවසන්
වටයේ 8 වැනි ස්ථානය හිමිකර ගත්තා ය.
2012 ලන්ඩන් ඔලිම්පික් උලෙළේ ද ඇගේ නමට කිසිදු පදක්කමක් නොලියැවුණු නමුත් එහිදී ඇය එහි අවසන් වටයේ 5 වන ස්ථානය දක්වා ඉහළට ගමන් කළා ය.
දහසය වසරක් ම ඔලිම්පික් පදක්කමක සිහිනය කරපින්නාගෙන බොහෝ දුර පැමිණි මෙලීනා 2016 රියෝ ඔලිම්පික් උලෙළට ද සුදුසුකම් ලැබී ය. ලන්ඩන් නුවරදී අවසන් වටයේ 5 වැනි ස්ථානයෙන් සෑහුණු මෙලීනා රියෝ නුවරදී ප්‍රංශය රිදියෙන් සරසන්නට සමත් වූවා ය. මෙලීනාගේ ඔලිම්පික් කතාව එතැනින් අවසන් නොවිණි. ඇය මෙවර ටෝකියෝ ඔලිම්පික් උලෙළට ද පැමිණි මුත් එහිදී ඈට හිමිවුණේ පහළොස් වැනි ස්ථානය යි.
ෆේබියන් හම්බෙචෙන්
ෆේබියන් හම්බෙචෙන් යනු ජර්මානු ජිම්-නාස්ටික් ශූරයෙකි. ඔහු ඔලිම්පික් වරම් ලැබුවේ 2004 ඇතෑන්ස් ඔලිම්පික් උලෙළේ දී ය.
ඔලිම්පික් ඉතිහාසයේ පදක්කම් ත්‍රිත්වයක් දිනාගත් ෆේබියන්ගේ ජයග්‍රාහී මාවත ද එතරම් සොඳුරු නොවේ. 2004 මංගල ඔලිම්පික් ගමනේ දී ඔහු හිමිකරගත්තේ අවසන් වටයේ සත්වන තැන යි. 2008 බීජිංහි දි ලෝකඩ පදක්කම දිනා-ගන්නට සමත් වන ඔහු 2012 ලන්ඩන් ඔලිම්පික් උලෙළේදී සිය මව්බිම රිදීයෙන් සැරසී ය.
සත්වන ස්ථානය, තුන්වන ස්ථානය, දෙවන ස්ථානය ආදී ලෙස තරගාවලියෙන් තරගාවලියට ඔහු ක්‍රමයෙන් දක්ෂතාවයේ මුුදුනට ගමන් ගනිමින් සිටියේය. 2016 ඔලිම්පික් උලෙළෙහි බොහෝ දෙනකුගේ අනාවැකි සපල කරවමින් ෆේබියන් ජර්මනිය රනින් සරසන්නට සමත් වූයේ ජයග්‍රහණයේ හිණිපෙත්තටම ගමන් කරමිනි.
ජෙයස් ඇන්ජල්
ස්පාඤ්ඤ ජාතික ඇවිදීමේ ඉසව්වෙ ශූරයකු වන 51 හැවිරිදි ජෙයස් ඇන්ජල් ගාර්ෂියා 1992 බාසිලෝනා හි දී සිය මංගල ඔලිම්පික් උලෙළට සහභාගී වන විට 23 වැනි වියෙහි පසු විය. ජාත්‍යන්තර පදක්කම් 6 කින් පිදුම් ලබා ඇති හෙතෙම ඔලිම්පික් උලෙළ 8කට සභභාගි වන්නට වරම් ලැබූ නමුත් ඔලිම්පික් පදක්කමක සිහිනය යථාර්ථයක් කරගන්නට නොහැකි විය.
කිලෝ මීටර් 50 ඇවිදීමේ ඉසව්ව නියෝජනය කළ ඔහු 2004 ඇතෑන්ස් ඔලිම්පික් උලෙළෙහි ලෝකඩ පදක්කමට එක් ස්ථානයක් පසුපසින් සිව්වන තැනට පත් විය. මෙවර ද ඔහුට හිමි වුයේ 35 වන ස්ථානය යි. වසර 28ක් තිස්සේ ඔලිම්පික් පදක්කමක සිහිනය සැබෑ කරගන්නට ඔහුට නොහැකි වූ නමුත් ඔලිම්පික් තරගාවලි 8 ක් අඛණ්ඩව නියෝජනය කරන්නට වරම් ලැබීමට තරම් ඔහු සතු වූ උත්සාහය, කැපවීම සහ ධෛර්ය සම්පන්න භාවය අගය කළ යුතුය.










