ටෝකියෝවේ ඔලිිම්පික් සිරි අසිරිය හැර නොයත | සිළුමිණ

ටෝකියෝවේ ඔලිිම්පික් සිරි අසිරිය හැර නොයත

සෑම ඔලිම්පික් උළෙලක් අවසන් වීමෙන් පසු ඇරඹෙන්නේ“පැරා” ඔලිම්පික් තරගාවලිය ය. එය මෙවර පැවැත්වීමට නියමිතව ඇත්තේ අගෝස්තු 24 වැනි දා සිට සැප්තැම්බර් 05 වැනිදා දක්වා ය. මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට භාවිත කළ පහසුකම් සියල්ලම පැරා ඔලිම්පික් උළෙලට ද යොදා ගැණේ. එය මෙවර සංවිධානය කරනු ලබන්නේ 16 වැනි වතාවට ය.

පැරා ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ කායික ආබාධයන් සහිත ක්‍රිඩක ක්‍රීඩිකාවන් වෙනුවෙනි. ජාත්‍යන්තර පැරා ඔලිම්පික් කම්ටුව නිකුත් කරන පරිසාධන මට්ටම් යටතේ විවිධ රටවල ජාතික පැරා ක්‍රීඩා සංගම් විසින් ඊට සහභාගිවන ක්‍රීඩකයන් තෝරා ගනු ලබයි. ඒ අනුව මෙවර තරගාවලියට රටවල් 100 කට වැඩි පිරිසක් තරග වැදීමට නියමිත ය.

මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැරා ඔලිම්පික් උළෙල වෙනුවෙන් නව දෙනෙකු සුදුසුකම් ලබා තිබේ. ඒ මලල ක්‍රීඩා ඉසව් සඳහා 06 දෙනෙකු ඔරු පැදීම, දුනු විදීම සහ රෝද පුටු ටෙනිස් යන ක්‍රීඩාවන් සඳහා ය.

ගිම්හාන සහ ශීත සෘතු වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ පැරා ඔලිම්පික් උළෙල දෙකක් පැවැත්වෙයි. මීළඟ ශීත සෘතු පැරා ඔලිම්පික් උළෙල පැවැත් වීමට නියමිතව ඇත්තේ 2022 චීනයේ බීජීං නුවර දී ය.

ඉතිහාසය

පැරා ඔලිම්පික් උළෙලක් පැවැත්වීමට මුලින්ම කටයුතු සංවිධානය කෙරුණේ දෙවැනි ලෝක මහා යුද්ධයෙන් ආබාධිත වූ සොල්දාදුවන් වෙනුවෙනි. ඒ අනුව ජාත්‍යන්තර ඔලිම්පික් කම්ටුවේ මූලිකත්වයෙන් 1960 වසරේ රෝමයේ දී ප්‍රථම පැරා ඔලිම්පික් උළෙල පැවැත් වූ අතර ඊට සහභාගී වූණේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 දෙනෙකු පමණි.

අවසාන වතාවට 2016 බ්‍රසිලයේ රියෝ ද ජනෙයිරෝ නුවර පැවති පැරා ඔලිම්පික් උළෙලට රටවල් 159 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4342 ක් සහභාගී වුහ. ප්‍රථම පැරා ඔලිම්පික් උළෙලට 400 දෙනෙකු පැමිණ ඇත්තේ රටවල් 23 කිනි.

ජාත්‍යන්තර පැරා ඔලිම්පික් කමිටුවට අද වනවිට රටවල් 176 ක පැරා ඔලිම්පික් කමිටු සම්බන්ධිත ය. මෙහි මුලස්ථානය ජර්මනියේ බොන් නුවර පිහිටා තිබේ. පැරා ඔලිම්පික් ප්‍රඥප්තිය සුරැකිම, තරග නිලධාරීන් සහ විනිසුරුවරන් සහතික කිරීම, මාධ්‍ය ආවරණය තෝරා ගැනීම සහ ගිම්හාන සීත සෘතු තරග සංවිධානය කිරීම ආදිය‍ සිදුකරනුයේ ජාත්‍යන්තර පැරා ඔලිම්පික් කමිටුව විසිනි.

පැරා ඔලිම්පික් උළෙල ආරම්භක උත්සවය සඳහා යොදා ගනු ලබන්නේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් 1920 ඇන්ට්වර්ප් ගිම්හාන උළෙලේ දී යොදා ගත් සම්මත කළ සම්ප්‍රදායන් ය. සත්කාරක රට විසින් සංවිධානය කළ සංගීතය, නැටුම් සහ විවිධ රංගනයන් ඇතුළත් සංදර්ශනයකින් සමාරම්භක උළෙල අලංකෘත වෙයි.

ටෝකියෝ හි දී ඇරඹෙන පැරා ඔලිම්පික් හා සම්බන්ධ සමරු සටහන් කීපයක්

1960 සිට පැරා ඔලිම්පික් උළෙල පැවැත් වෙන්නේ ගිම්හාන ඔලිම්පික් උළෙලට අනුගාමීවය.

විවිධ ආබාධයන්ට ලක්ව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි දෙනෙකු සහභාගී වීම ඇරැඹුණේ 1988 සිට ය.

ජපානයේ ටෝකියෝ නුවර තරග උළෙට සත්කාරකත්වය දරන්නේ දෙවැනි වතාවට ය. පළමු අවස්ථාව 1964 දී ය.

තරග උළෙල පැවැත් වූ අනිත් ආසියානු රටවල් වන්නේ 1988 දකුණු කොරියාව (සෝල්) සහ චීනයේ (බීජිං) 2008 දී. 1968 3 වැනි තරග උළෙල ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවර පැවැත්වීම විශේෂතයෙකි.

197 තරග උළෙලට (කැනඩාවේ ටොරන්ටෝ) රටවල් 40 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1600 දෙනෙකු සහභාගී වීම.

අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව සහ පැරා ඔලිම්පික් කමිටුව අතර තරග සංවිධාන ගිවිසුම 2032 දක්වා පවතී.

පැරා ඔලිම්පික් සංවිධානයේ ආදර්ශ පාඨය “එකමුතුව ධෛයර්ය” යන්නයි.

මෙහි සංකේතය රතු, නිල් සහ කොළ වර්ණ වලින් යුක්තය. මෙලෙස තෝරා ගෙන ඇත්තේ ලෝකයේ රටවල් ගණනාවක ජාතික ධජවල මේ වර්ණයන් තිබෙන නිසාය.

පැරා ඔලිම්පික් කමිටුවේ දැක්ම මෙලෙස සටහන්ය. “ ක්‍රීඩා හැකියාව තුළින් ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් ලෝකය පුබුදුවාලීම සහ ආදර්ශයක් දීම.”

මෙහි විශේෂ ගීතය “අනාගත ගීතය” යන්නයි. 1996 සිට සම්මත මෙම ගීතය නිර්මාණය කර ලද්දේ තියරි ඩානිස් නම් සංගීතඥයා විසිනි.

නෙරෝලි ෆෙයාහෝල් (නවසීලන්තය) විශේෂ ක්‍රිඩිකාවකි. ඇය දුනු විදීමේ ක්‍රීඩාවට සහභාගී වුණේ රෝද පුටුවක සිට ය. 1984 ගිම්හාන ඔලිම්පික් උළෙලට සහභාගී වී ඇය 34 වැනි ස්ථානය දිනා ගත්තා ය. පසුව ඇය පැරා ඔලිම්පික් උළෙලට සහභාගී වීමට වරම් ලද ඇය ගිම්හාන පැරා ඔලිම්පික් උළෙලට සහභාගී වීමට වරම් ලද තුන්වැනි ආබාධිත ක්‍රීඩිකාවයි.

ප්‍රදීප් සංජය (ශ්‍රී ලංකාව) මව්බිමට ඉමහත් කීර්තියක් අත් කර දුන් ක්‍රීඩකයෙකි. ප්‍රදීප් 2012 පැරා ඔලිම්පික් උළෙලේ දී 46 කොටසේ මීටර් 400 ඉසව්වෙන් (තත්පර 49.28) ලෝකඩ පදක්කම දිනා ගත්තේ ය. පැරා ඔලිම්පික් උළෙලකදී පදක්කමක් දිනූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස ඔහුට අමරණීය වාර්තාවක් හිමිය.

මෙවර ටෝකියෝ තරග උළෙලට සහභාගී වන දිනේෂ් ප්‍රියන්ත හේරත් ශ්‍රී ලංකාවට තවත් සුවිශේෂ ක්‍රීඩකයෙකි. 2016 රියෝ පැරා ඔලිම්පික් උලෙලේදී දිනේෂ් හෙල්ල විසි කිරීමේ ඉසවේ ලෝකඩ පදක්කම දිනා ගත්තේය. දිනේෂ් මෙවර ශ්‍රී ලංකා පැරා කණ්ඩායමේ නායකත්වය උසුලයි.

 

Comments