
ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීම අසීරු ය. එය වඩාත් අසීරු වන්නේ විශිෂ්ට ම ක්‍රීඩක, ක්‍රීඩිකාවන් ගේ අභියෝග අභිමුව එය සිදුකළ යුතු හෙයිනි. වසර හතරකට වරක් ලෝකය තුළ ගොඩනැගෙන නව ජවය, නව්‍ය තාක්ෂණික විප්ලවයන් හා ගැටෙමින් එය සිදුකළ යුතු වීම ඊට හේතුව ය. එවැනි විශිෂ්ටත ම ක්‍රීඩා උළෙලේ වරක් නොව එකළොස් වතාවක් පදක්කම් ජය ගැනීම යනු සැබැවින්ම විස්මයකි. එහෙත් ඈ එය සිදු කළා ය. මේ ඒ හපන්කම පෑ ෆීනික්ස් කිරිල්ලිය ඇලිසන් ෆීලික්ස් ගැනය.’
ඈ ඇලිසන් ෆීලික්ස් ය. හරියටම කියන්නේ නම් අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් නුවර උපන් ඇලිසන් මිචෙල් ෆීලික්ස් ය. ඈ පසුගිය දා නිමාව දුටු තිස් දෙවැනි ඔලිම්පික් තරගාවලියේ දී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූවා ය. ඒ මීටර් 400 සහය දිවීමේ රන් පදක්කම දිනා ගැනීමෙන් අනතුරුව ය.
ඇයට පෙර ඔලිම්පික් ඉතිහාසයේ කෙටි දුර ඉසව්වන්ගෙන් වැඩිම මලල ක්‍රීඩා පදක්කම් දිනා සිටියේ අමෙරිකා එක්සත් ජනපදයේ කාල් ලුවිස් ය. ඔහු ලොව එතෙක් මෙතෙක් පහළ වූ විශිෂ්ටතම මලල ක්‍රීඩකයකු සේ සැලකුම් ලබන්නෙකි. එහෙත් ඔහුට ඉතිහාසයේ අලුත් ස්ථානයක් ලබා දීමට ඈ පසුගියදා සමත් වූවා ය. ඒ ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම පදක්කම් දිනූ ‘මලල ක්‍රීඩකයා’ යන නාමකරණය ලබා දෙමිනි.
එහෙත් ටෝකියෝ ඔලිම්පික් උළෙලට පෙර ඔලිම්පික් තරගාවලි තිස් එකක් අවසන් වන විට කාල් ලුවිස් එකී ගෞරවය තමන් සතු කර ගෙන තිබුණේ පිරිමි හා කාන්තා දෙඅංශයෙන් ම වැඩිම පදක්කම් දිනාගත් ක්‍රීඩකයා ලෙස ය. එහෙත් එය දැන් ඉතිහාසයට එක්ව අවසන් ය. ඒ ඔලිම්පික් තරගාවලි තිස් එකක් දක්වා නොබිඳී පවත්වාගෙන ගිය වාර්තාවක් ලෙස ය. කාල් එය හිමි කර ගෙන තිබුණේ පදක්කම් දහයක් දිනා ගනිමිනි.
එලෙස එයට කණකොකා හැඬුවේ ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මිටර් 400 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ඇලිසන් ෆීලික්ස් සමත් වීමත් සමඟ ය. ඒ අනුව ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම පදක්කම් දිනූ කෙටි දුර ධාවකයා හා සම අයිතිවාසිකම් සහිත වාර්තාවක් පිහිටුවාලීමට ඇලිසන් ෆීලික්ස් සමත් වූවා ය.
හවුලේ වාර්තා බුක්ති විඳීම ඈ පවත්වාගෙන ගියේ පෑ කීපයක් පමණි. විශිෂ්ට කාල් ලුවිස් පසුපස දමා ඈ තවත් පියවරක් ඉදිරියට තැබුවා ය. ඒ ඈ මීටර් 400 සහය දිවීමේ ඉසව්වට තරග වැදී එහි රන් පදක්කම දිනා ගත් කණ්ඩායමේ සාමාජිකාවක වීමෙනි.
ඒ අනුව ඇලිසන් ෆීලික්ස් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී දිනා ගත් පදක්කම් ද්විත්වය ඔලිම්පික් ඉතිහාසයේ ඉහළම පදක්කම් ලාභි කෙටිදුර මලල ක්‍රීඩකයාගේ ස්ථානය තහවුරු කර ගැනීමට ඇයට අවස්ථාව උදාකර දී තිබිණි. ‘මට හරිම සතුටුයි. දැන් මගේ වයස අවුරුදු 35 ක්. අනෙක මට පැරිස් ඔලිම්පික් උළෙල දක්වා රැඳී සිටින්න අපේක්ෂාවකුත් නෑ.’ ඈ පවසා තිබේ.
එය සැබෑවකි. ෆීලික්ස් දැන් තරුණ නැත. තරුණ විය අහවරය. මැදිවිය ඇරඹී තිබේ. ඈ ටෝකියෝවේ දී වාර්තා දෙකක් බිඳ දමා ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වීම ද සුවිශේෂී යැයි කිව හැකි ය. එහි පළමු වාර්තාව වනුයේ ජැමෙයිකාවේ විශිෂ්ට ක්‍රීඩිකාවක වූ මර්ලින් ඔටේ පිහිටුවා තිබූ වැඩිම ඔලිම්පික් පදක්කම් දිනීමේ වාර්තාව බිඳ දැමීම ය. ඇගේ නම ඉතිහාසයට එක් කරන්නටත් ඒ ඉදිරියෙන් තම නම ලියා තබන්නටත් ෆීලික්ස් සමත් වූවා ය.
ෆීලික්ස් මීට පෙර රන් පදක්කම් හයක්, රිදී පදක්කම් තුනක් වශයෙන් ඔලිම්පික් පදක්කම් හිමි කර ගෙන තිබිණි. එහෙත් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමත් සමඟ ඈ ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම පදක්කම් දිනූ අමෙරිකානු ක්‍රීඩකයා බවට විශිෂ්ට කාල් ලුවිස් හා සමතැන් ගත්තා ය. ඉන් අනතුරුව මීටර් 400 සහය දිවීමේ රන් පදක්කම දිනා ගනිමින් එම වාර්තාව කාල් ලුවිස්ගෙන් ඉවත් කර තමන්ගේ නම ඉදිරියේ පමණක් ලියා ගත්තා ය.
ඇලිසන් ෆීලික්ස් ගේ සම්පූර්ණ නම අප පෙර කිව්වාක් මෙන් ඇලිසන් මිචෙල් ෆීලික්ස් ය. ඈ උපන්නේ 1985 නොවම්බර් මාසයේ ය. කුඩා කල පටන් මලල ක්‍රීඩාවට දස්කම් දැක්වූ ඈ එලෙස මලල ක්‍රීඩාව පුහුණු වීමට පටන් ගත්තේ උසස් පාසලේ අධ්‍යාපනය ලබමින් සිටි සමයේ දී ය. ආරම්භයේ මීටර් 200 ධාවිකාවක ලෙසින් දක්ෂතා දැක්වූ ඈ මීටර් 100 කෙටිදුර ධාවනයේ ද දස්කම් පෑවේ ය. මීටර් 400 ඉසව්වට ඈ යොමු වූයේ දෙවනුව ය.
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්-තයේ ලොස් ඇන්ජලීස් හි උපත ලද ඇලිසන් ෆීලික්ස්ගේ පියා එරට දේශපාලන ලෝකයේ ප්‍රකට චරිතයක් පමණක් නොව මහාචාර්යවරයෙකි. ඇගේ මව ද ගුරුවරියකි. ඇගේ සොහොයුරා මලල ක්‍රීඩකයකු වූ අතර පසුව ඇලිසන් ෆීලික්ස්ගේ ඒජන්තවරයා වශයෙන් කටයුතු කරන්නට විණි.
“මට දුවන්න හැකි වෙලා තිබෙන්නේ දෙවියන්ගේ ත්‍යාගයක් විදිහට. මගේ විශ්වාසය තමයි මට දුවන්න පුළුවන් කරලා තිබෙන්නේ. මට නිසැකවම හැඟෙන්නේ මේ විස්මිත ත්‍යාගය මට දුන්නේ මට ආශිර්වාද කරන දෙවියන් විසින්ම බවයි.” ඈ පවසන්නී ය.
ඇලිසන් ෆීලික්ස් සත් වතාවක් ඔලිම්පික් රන් පදක්කම් දිනා ඇත්තේ මීටර් 400 සහය දිවීමේ ඉසව්වෙනි. තවත් රන් පදක්කම් දෙකක් දිනා ගත්තේ මීටර් 100 සහය දිවීමේ තරග ඉසව්වෙනි. 2012 ඔලිම්පික් උළෙලේ මීටර් 100 සහය දිවීමෙන් රන් පදක්කම හිමි කර ගත්තේ නව ලෝක වාර්තාවක් ද පිහිටුවමිණි.
ඈ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලි ඉතිහාසයේ ද නොමැකෙන වාර්තාවක් පිහිටුවූ ක්‍රීඩිකාවක් වීම ද අමතක කරන්නට නොහැකි ය. ඒ ලෝක ශූරතා තරග ඉතිහාසයේ පදක්කම් දහ අටක් දිනා ගනිමිනි. එම තරගාවලියේ වැඩිම රන් පදක්කම් දිනූ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වනුයේ ද ඇය ය. එය දහතුනකි.
මීටර් 200 ඉසව්වෙන් ෆීලික්ස් දක්වා ඇති හොඳම තරග නිමි කාලය තත්පර 21.69 කි. එය 2012 වසරේ පිහිටුවනු ලැබූවකි. මෙතෙක් එම ඉසව්ව නිම කළ ලොව සත් වැනි හොඳම කාලය ලෙස සැලකෙන්නේ ද එයම ය.
ඇලිසන් ෆීලික්ස් විවාහ වී සිටිනුයේ තවත් අමෙරිකානු කෙටි දුර ධාවකයකු හා කඩුලු පැනීමේ ක්‍රීඩකයකු වන කෙනත් ෆර්ගියුසන් හා ය. ඇය දියණියකගේ මවකි. දියණිය කැම්රින් උපත ලබා ඇත්තේ 2018 වසරේ දී ය.
කාල් ලුවිස් ගේ සර්වකාලීන යැයි සිතූ වැඩිම ඔලිම්පික් පදක්කම් දිනූ වාර්තාව තමන් සතු කර ගත් ඇලිසන් ෆීලික්ස් යනු විශිෂ්ට මලල ක්‍රීඩිකාවක සේ සැලකෙන තවත් කරුණක් ඇත. ඒ තහනම් උත්තේජක හේතුවෙන් ගැටලු රැසකට මුහුණ දී ඇති ක්‍රීඩා ලෝකයේ එවැනි නීතිවිරෝධී උත්තේජක ලබා නොගෙන ක්‍රීඩා ජීවිතය ජයග්‍රහණවලින් පුරවා ගත් ආදර්ශමත් ක්‍රීඩිකාවක ලෙසිනි.
ලොව සුප්‍රකට සඟරාවක් වන ටයිම්ස් සඟරාව විසින් 2020 වසරේ ලොවට වඩාත් බලපෑම් කරනු ලබන පුද්ගලයන් සිය දෙනා තෝරා ගැනීමේදී ඇලිසන් ෆීලික්ස්ගේ නමද ඊට ඇතුළත් කර තිබිණි