
උපන් රටේ ජීවත් වීමේ අහිමිව දිවි රැකගැනීම පිණිස වෙනත් රටකට පලා ගොස් ජීවත් වන සරණාගතයින්ටද ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට සහභාගී වීමේ අවස්ථාවලබාදීමට ජගත් ඔලිම්පික් කමිටුව හා සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාලය එක්ව ක්‍රියාවට නැංවූ සැලසුමකින් 2016 රියෝ ඔලිම්පික් උළෙලට පළමු සරණාගත ඔලිම්පික් කණ්ඩායමට සහභාගී වීමේ අවස්ථාව හිමි විය.
ඔලිම්පික් ධජය යටතේ සහභාගී වූ එම කණ්ඩායම ක්‍රීඩකයින් 06 දෙනෙකු හා ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු ගෙන් සමන්විත විණි.
තවද මෙම කණ්ඩායමට දකුණු සුඩානයෙන් පහක්, කොංගෝවෙන් හා සිරියාවෙන් දෙදෙනා බැගින් හා ඉතියෝපියාවෙන් එක් අයෙකුද ඇතුළත් විය.
නමුත් මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූ සරණාගත කන්ඩායම සකස් වී තිබුණේ ක්‍රීඩකයින් 19 දෙනෙකුගෙන් හා ක්‍රීඩිකාවන් 10 දෙනෙකුගෙනි. මෙම කණ්ඩායම රියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙකුද ඇතුළත් වුණේ ය.
කෙසේ වුවත් සරණාගත ඔලිම්පික් ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමට සමත් වී නැතත් පදක්කමක් ආසන්නයටම පැමිණීමට සමත් වී තිබුණේ කිමියා අලිශාදේ යන ටයිකොන්ඩෝ ක්‍රීඩිකාව පමණි.
මෙය ඇගේ දෙවන ඔලිම්පික් සහභාගීත්වය ලෙස සටහන් වන අතර කිමියා 2016 වසරේ රියෝ ඔලිම්පික් උළෙලට පැමිණ සිටියේ ඉරානය නියෝජනය කරමිනි.
ඒ අනුව මෙවර සහභාගී වූ සරණාගත කණ්ඩායමට එක්ව සිටි එකම පදක්කම් ලාභිනිය වූයේ කිමියා අලිශාදේ ය.
රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඉරානය නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 57 බර පන්තියේ ටයිකොන්ඩෝ ඉසව්වට සහභාගී වූ කිමියා එහි ලෝකඩ පදක්කම දිනාගෙන තිබුණි.
ඒ අනුව ඔලිම්පික් පදක්කමක් දිනූ පළමු ඉරාන ක්‍රීඩිකාව ලෙසද කිමියා ඉතිහාස ගතව සිටියා ය. කිමියා අලිශාදේ සටනට ලැදි ක්‍රීඩිකාවකි. ටයිකොන්ඩෝ ක්‍රීඩාව තෝරා ගන්නට ඇත්තේ ද ඒ නිසාම විය යුතු ය. 2014 වසරේ පැවති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී කිලෝග්‍රෑම් 63 බර පන්තියේ රන් පදක්කම දිනාගත්තේ ද කිමියා අලිශාදේ ය.
මේ සියල්ලටම අමතරව 2017 වසරේ පවත්වන ලද ලෝක ශූරතා ටයිකොන්ඩො තරගාවලියේ දී කිලෝග්‍රෑම් 63 කාන්තා ඉසව්වේ රන් පදක්කමද වැටුණේ ඇයගේ ගෙලට ය.
රට වෙනුවෙන් ක්‍රීඩා පිටියේ දී අපමණ මෙහෙවරක් ඉටු කරනු ලැබුවද ඉරානය තුළ කාන්තාවන්ට විඳින්නට සිදුවන හිංසනය අඩුවක් නැතිවම ඇයටද දරාගන්නට සිදුව තිබුණි. එයින් කලකිරුණු ඇය 2020 වසරේ තම සැමියාද සමග ජර්මනියේ පදිංචියට ගියා ය.
කොවිඩ් වසංගතය නිසා 2020 ඔලිම්පික් උළෙල වසරකින් කල්ගිය බැවින් එම ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ජර්මනිය නියෝජනය කළ හැකි දැයි සොයා බලා තිබුණි.
එහෙත් ඒ සඳහා නිසි අවසරයක් ලබාගැනීමට නොහැකි වීම නිසා කිමියාට කළ හැකිව තිබුණේ සරණාගත ඔලිම්පික් කණ්ඩායමට එක්වීම ය.
ටෝකියෝ ටයිකොන්ඩෝ තරගාවලියේ දී කිලෝග්‍රෑම් 57 බර පන්තියෙන් තරගයට පිවිසෙන ඇගේ පළමු ප්‍රතිවාදියා වූයේ ඉරානයේ මිතුරියක වූ නාහිඩ් කියානි ය. කිමියා එම තරගය ජය ගත්තේ ඉතා පහසුවෙනි.
ඇගේ දෙවැනි තරගය පදක්කමක් කරා යෑමේ දී මුහුණ දීමට සිදුවන ලොකුම බාධාව බවට පත්ව තිබුණි. එහිදී කිමියාට හමුවූයේ 2012 ලන්ඩන් හා 2016 රියෝ යන ඔලිම්පික් උළෙල දෙකේදී ම රන් පදක්කම් දිනූ එංගලන්තයේ ජේඩ් ජෝන්ස් ය.
එහෙත් ඉතා තියුණු සටනකින් පසු දෙවැනි වටයෙන්ද ගොඩවීමට කිමියා සමත් වූවා ය.
තරගය එන්න එන්නම තියුණු මුහුණුවරක් ඉසිලී ය. තෙවැනි වටයේ දී ඇගේ ප්‍රතිවාදියා වූයේ චීන ක්‍රීඩිකා පේරා ලියුන්. ජය ගැනීම පහසු නොවූවද කිමියාට ලෝකඩ පදක්කම ආසන්නයටම පැමිණීමට හැකි වූවා ය.
මීළඟට ඈ එළැඹුණේ ලෝකඩ පදක්කම සඳහා වන සටනට ය. කිමියා අලිශාදේ සමග ඊට සුදුසුකම් ලබා සිටියේ රුසියාවේ ටටියානා මිනිනාය. එවර ටටියානාට වැරදුණේ නැත. ඒ නිසා සරණාගත ඔලිම්පික් කණ්ඩායමකට පළමු පදක්කම දිනා දීමේ ගෞරවය ලැබීමේ අවස්ථාවද කිමියා අලිශාදේට අහිමි වී ගියා ය.
කිමියා තවමත් පසුවන්නේ 23 හැවිදිරි වයසේ ය. ඒ නිසා 2021 දී පැරිස් නුවර පැවැත්වෙන 33 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වීමේ හැකියාව ද ඇය සතු වේ. නමුත් ඒ වනවිට ජර්මනිය නියෝජනය කිරීමට අවැසි සියලු සුදුසුකම් සපුරා ගැනීමට ඇයට කාලය ඉතිරිව ඇත.
එබැවින් සරණාගත ඔලිම්පික් පදක්කමක් ඉතිහාසයට එක්වීම කල්ගතවීමටද බැරි නැත.