පිහිනීම මුළු සිරුරම භාවිතයට ගෙන ශරිරයේ සෑම මාංශ පේශියක්ම වෙහෙසවන ක්‍රීඩාවකි. එහි ලෝක වාර්තා නිරන්තරයෙන් බිහිවනු දක්නට ලැබේ. සෑම ඔලිම්පික් ක්‍රීඩා උලෙළක දී ම පාහේ ඔලිම්පික් පිහිනුම් වාර්තා අලුත් වෙයි. මේ අද වැනි දිනක මතකය ට නැඟෙන එවැනි පිහිනුම් විස්කමකි.පිහිනුම් ක්‍රීඩාවේ දී ළය ආර නමින් හැඳින්වෙන පිහිනීමේ ඉසව්වට හුරුවීම එතරම් පහසු නැත. එහෙත් අපහසුවෙන් හෝ ඊට හුරු වුවහොත් ඔහුට හෝ ඇයට පිහිනුම් ක්‍රීඩාවේ දිගු ගමනක් යෑමේ හැකියාව ද ඇත.
චීනයේ බීජිං නුවර 2008 පවත්වන ලද ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ දී ළය ආර ඉසව්වෙන් තරග කළ ක්‍රීඩිකාවන් දෙදෙනකු අතර පැවතුණු පදක්කම් සටන එදා පිහිනුම් තටාකයට රොක්ව සිටි ප්‍රේක්ෂකයන්ගේ මතකයේ තවමත් රැව් දෙනවා නිසැක ය.
එම තරගය පැවැතියේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා ලෙයිසල් ජෝන්ස් හා අමෙරිකානු ක්‍රීඩිකා රෙබෙකා සෝනි අතරේ ය.
ඒ වන විටත් ළය ආර පිහිනුම් ඉසව්වේ මීටර් 100 හා 200 යන ලෝක වාර්තා දෙකම පිහිටුවා තිබුණේ ලෙයිසල් ජෝන්ස ය. ඇයගේ මීටර් 100 ලෝක වාර්තාව විනාඩි 1 තප්පර 05.09 ක් ලෙස ද මීටර් 200 වාර්තාව විනාඩි 2 තප්පර 20.54 ක් වශයෙන් ද සටහන්ව තිබුණි.
මේ නිසා බීජිං ඔලිම්පික් උලෙළේ කාන්තා මීටර් 100 ළය ආර පිහිනුම් ඉසව්වේ අවසන් තරගය පැවැත් වූ බීජිං පිහිනුම් තටාකයේ ප්‍රේක්ෂකාගාරය ඔස්ට්‍රේලියානුවන්ට වැරදුණේ නැත. ලෙයිසල් ජෝන්ස් හා රෙබෙකා සෝනි අතර උණුසුම් තරගයක් පැවැතිය ද විනාඩි 01 තප්පර 05.17 ක දී තරගය නිම කොට ජොන්ස් රන් පදක්කම දිනා ගත්තේ නව ඔලිම්පික් වාර්තාවක් ද පිහිටුවමිනි.
එහි දී රිදී පදක්කම දිනූ රෙබෙකා සෝනි ඒ සඳහා වැය කළ කාලය විනාඩි 01 තප්පර 06.73 ක් ලෙස සටහන් විණි.
යළිත් මේ දෙදෙනා බීජිං පිහිනුම් තටාකයේදී හමුවූයේ අගෝස්තු 15 වැනි දා එනම්, අද වැනි දිනයක. ඒ මීටර් 200 ළය ආර තරගයට සහභාගී වීමට ය.
කල් ඇතිවම පිහිනුම් තටාකයේ ප්‍රේක්ෂකාගාරයට පැමිණ සිටි ඔස්ට්‍රේලියානුවන් නිසැකවම ලැබෙන තවත් රන් පදක්කමක් ඔස්ට්‍රේලියාවට එකතු කරන්නට සූදානමින් සිටිය හ.
තරගය ආරම්භ විය. මීට දින දෙකකට පෙර තමන්ට අත් වූ පරාජය සහමුලින්ම අමතක කොට දැඩි අධිෂ්ඨානයකින් තරග වැදුණු රෙබෙකා සෝනි පළමු මීටර් 50 අවසන් කරන විට ඉදිරියෙන් සිටියා ය.
එහෙයින් තරගය අවසන් වන විට රෙබෙකා රන් පදක්කම හිමි කර ගත්තේ තිබුණේ ඔස්ට්‍රේලියානුවන්ගේ අපේක්ෂා බිඳ හෙළමින් ය. ඇය ඒ සඳහා ගත කළ කාලය සටහන් වූයේ විනාඩි 2 තප්පර 20.22 ක් ලෙස ය. එය එතෙක් ලෙයිසල් ජෝන්ස් සතුව තිබූ ලෝක වාර්තාව ද මකා දැමීමක් විණි. තරගයේ නිමාවත් සමග ප්‍රේක්ෂකාගාරයේ පැවැති ඝෝෂාව ද නිමා විය. සිදුවූයේ කුමක් දැයි ඔස්ට්‍රේලියානුවන්ට අදහා ගැනීමට නොහැකි වී අන්ද මන්ද ව බලා සිටිය හ.
ඔලිම්පික් වාර්තාවක් සමග මීටර් 100 ළය ආර තරගය දිනූ ලෙයිසල් ජෝන්ස් ට අගෝස්තු 15 වැනිදා මීටර් 200 ළයආර ඉසව්වේ දී රෙබෙකා සෝනි පිළිතුරු සපයා තිබුණේ මේ ආකාරයේ ලෝක වාර්තාවක් ද සමග ය.
මෙම කාලය තුළ ළය ආර ඉසව්වේ රැජින ලෙසින් හඳුන්වනු ලැබුවේ ලෙයිසල් ජෝන්ස් බැවින් රෙබෙකා සෝනි වෙතින් තමන් පරාජය වූ අගෝස්තු 15 වැනි දා දිනය ජෝන්ස්ට ද කිසි දිනක අමතක නොවිය හැකි ය.
කොහොම නමුත් බීජිං පිහිනුම් තටාකයේ ඔවුන් දෙදෙනා හමු වූ අවසන් අවස්ථාව එය නොවී ය. ජෝන්ස් හා රෙබෙකා තෙවැනි වතාවටත් එහිදී මුණ ගැසී තිබුණේ මීටර් 4×100 මිශ්‍ර ආර තරගය වෙනුවෙනි.
එවකට මේ ඉසව්වේ ලෝක වාර්තාව මෙන්ම ඔලිම්පික් වාර්තාව ද ලෙයිසල් ජෝන්ස් ඇතුළු ඔස්ට්‍රේලියානු කණ්ඩායම සතු විය.
එහිදී ළය ආර ඉසව්වෙන් තරග වදින ජෝන්ස් හා රෙබෙකා දෙවැනි මීටර් 100 වෙනුවෙන් තරග වැදිණි. ලෙයිසල් ජෝන්ස් ඇගේ මීටර් 100 වි.1 තප්පර 04.58 ක දී අවසන් කරද්දී ඒ සඳහා රෙබෙකා වැය කළ කාලය වි. 1 තප්පර 5.95 කි.
එම තරගයේ රන් පදක්කම දිනා ගන්නට ඔස්ට්‍රේලියාවට හැකියාව ලැබී තිබුණේ ද ලෙයිසල් ජෝන්ස් දෙවන වටයේදී ලබාගත් වාසියේ උපකාරයෙනි.
මේ නිසා බීජිං ඔලිම්පික් උලෙළ නිම වෙද්දී ලෙයිසල් ජෝන්ස්ටද දින දෙකකට පෙර තමන්ට අත් වූ පරාජයට උත්තර බඳින්නට අවස්ථාව සැලසී තිබුණු අයුරු පුදුමාකාර ය.










