ළාබාල වියේ ජාත්‍යන්තර පදක්කමක් දිනා වාර්තා පොතේ නම ලියූ දේවින්ද්‍යා | සිළුමිණ

ළාබාල වියේ ජාත්‍යන්තර පදක්කමක් දිනා වාර්තා පොතේ නම ලියූ දේවින්ද්‍යා

 

ලෝක චෙස් සම්මේලනයේ කාන්තා කොමිෂන් සභාව විසින් පවත්වනු ලැබූ රැජින (QUEENS) අධිවේගී විවෘත චෙස් තරගාවලියේ 1500 ට අඩු ශ්‍රේණිගත කිරීමේ කාණ්ඩයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට රත්නපුර ෆර්ගියුසන් විද්‍යාලයේ 9 හැවිරිදි දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධන පසුගිය දා සමත්වූයේ ලෝක මට්ටමේ පදක්කමක් හිමි කර ගත් මෙරට ළාබාලතම ක්‍රීඩිකාව ලෙසට නව වාර්තාවක් බිහි කරමිනි.

මාර්ගගත ක්‍රමයට පැවැති මෙම තරගාවලියේ අදාළ තරග කාණ්ඩය යටතේ ලොව හොඳම 12 දෙනා සහභාගි වූ අතර, ඔෂිනි ලකුණු 7 ½ක් හිමි කර ගත්තේ තරග වට 11න් තරග 7 ක ජය හිමි කර ගනිමිනි. එක් තරග වටයක් ජය පැරදුමෙන් තොරව අවසන් වූ අතර, අනික් තරග 3 පරාජයට පත්වූවා ය. ආසියානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තරග වට 11 න් ලකුණු 9 ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානය හිමි කර ගත් ඈ ලෝක තරගාවලියට ද සුදුසුකම් ලැබුවා ය.

මෙය ලෝක මට්ටමේ චෙස් තරගාවලියක දී ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් ලැබූ ඉහළ ම ජයග්‍රහණයක් ලෙස සැලකෙයි.

ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දුන් ඔෂිනි ගුණවර්ධන ක්‍රීඩිකාවගේ මව වන චන්දිමා රත්නායක මහත්මිය තම දියණියේ ජයග්‍රහණය පිළිබඳ 'ක්‍රීඩා' පුවත්පතට මෙසේ පැවසුවා ය.

“ඔෂිනි අපේ පවුලේ දෙවැනි දරුවා. අපේ ලොකු දුව අරුණෝද්‍යා. ඇය ඔෂිනි දුවට වඩා අවුරුදු 5 ක් වැඩිමහලුයි. ලොකු දුව තමයි මුලින්ම චෙස් ක්‍රීඩා කළේ. ඇය රත්නපුර ධර්මපාල විද්‍යාලයේ 9 ශ්‍රේණියේ. ලොකු දුව චෙස් පුහුණුවීම් කරනවා පොඩි දුව දකිනවා. එහෙම තමයි ඈ ක්‍රීඩාව මුලින්ම ඉගෙන ගත්තේ. ”

“පොඩි දුව 2018 අවුරුද්දේ දි රත්නපුර ෆර්ගියුසන් විද්‍යාලයට ඇතුළත් කළා. එයා දැන් ඉන්නේ 4 ශ්‍රේණියේ. ඇය 2 ශ්‍රේණියේ ඉඳිද්දි තමයි චෙස් පුහුණුව පටන් ගත්තේ. දුවගේ මුල්ම පුහුණුකරු වුණේ ජගත් කෙටලවල සර්. දුව ඊට පස්සෙ කාලයක් රසික සමරනායක සර් යටතේ පුහුණු වුණා. 2020 මුල ඉඳලා “කැන්ඩිඩේඩ් මාස්ටර්” අකිල කාවින්ද සර් යටතේ තමයි පුහුණුව ලබන්නේ. ”

“දුවගේ මුල්ම ජයග්‍රහණය වුණේ 2019 අවුරුද්දේ පැවැති මාතර 4වැනි එස්.එස්.සී. විවෘත ජාත්‍යන්තර චෙස් තරගාවලියේ දී අවුරුදු 7 න් පහළ සිව්වැනි ස්ථානයට පත්වීම. ඇය එම අවුරුද්දෙම පැවැති 10 වැනි මහනුවර විවෘත ජාත්‍යන්තර චෙස් තරගාවලියේදී අවුරුදු 7න් පහළ අධිවේගී ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත්තා.”

“10 වැනි බුද්ධි විවෘත ජාත්‍යන්තර චෙස් තරගාවලියේදී අවුරුදු 7න් පහළ කාණ්ඩයේ අනු ශූරිය වුණෙත් ඇයයි. 2019 අවුරුද්දේදීම පැවැති 11 වැනි ඇතුගල්පුර ජාත්‍යන්තර චෙස් තරගාවලියේ දී අවුරුදු 7න් පහළ වයස් කාණ්ඩයේ ශූරිය වුණා. ඒ අවුරුද්දේ ම පැවැති ශ්‍රී ලංකා යොවුන් බාලිකා චෙස් ශූරතාවලියේ දී වයස අවුරුදු 7න් පහළ ශූරිය වුණා. එම ජයග්‍රහණය තමයි දුව ඒ අවුරුද්දෙදි ලැබූ ලොකුම ජයග්‍රහණය වුණේ.”

“2020 අවුරුද්දේ පැවැති යොවුන් බාලිකා අධි වේගී චෙස් ශූරතාවලියේදී වයස අවුරුදු 8න් පහළ කාණ්ඩයේ ශූරිය වුණා. 2020 වසරේ දීම පැවැති යොවුන් බාලිකා අධිවේගී චෙස් ශූරතාවයේ දී වයස අවුරුදු 8න් පහළ කාණ්ඩයේත් ශූරිය වුණා. කොවිඩ් 19 ව්‍යසනයත් සමඟින් මාර්ගගත ක්‍රමයට පැවැති 11 වැනි සාජා ජාත්‍යන්තර අධිවේගී චෙස් තරගාවලියේදී අවුරුදු 10න් පහළ වයස් සීමාවේ ශූරිය වුණෙත් ඔෂිනි දුව.”

“2021 වසරේ මාර්ගගත ක්‍රමයට පැවැති වයස අවුරුදු 14න් පහළ විවෘත යොවුන් වේගී චෙස් තරගාවලියේදී දුවට හිමිවුණේ 13වැනි ස්ථානය. ශ්‍රී ලංකා ජාතික කාන්තා ‘සී’ කණ්ඩායම නියෝජනය කරමින් ආසියානු වයස අවුරුදු 14න් පහළ කණ්ඩායම් (මාර්ගගත) චෙස් තරගාවලියට එක්වුණා. 2021 වසරේ ම පැවැති ශ්‍රී ලංකා වයස අවුරුදු 14න් පහළ වේගී චෙස් තරගාවලියේදී ඔෂිනි දුවට හිමි වුණේ 14වැනි ස්ථානය.”

“ලෝක චෙස් සම්මේලනයේ කාන්තා කොමිෂන් සභාව විසින් පවත්වනු ලැබූ රැජින (QUEENS) අධිවේගී විවෘත චෙස් තරගාවලියේ 1500 ට අඩු ශ්‍රේණිගත කිරීමේ කාණ්ඩයේ ආසියානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අනුශූරිය වෙමින් ලෝක තරගාවලියට සුදුසුකම් ලැබුවා. ලෝක තරගාවලියේ දී ඔෂිනි දුව සමත් වුණා ලෝකඩ පදක්කම දිනා ගැනීමට. දුව තමයි මෙම තරග කාණ්ඩයේ ළාබාලම ක්‍රීඩිකාව වුණේ.”

“ඔෂිනි දුව ක්‍රමක්‍රමයෙන් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට යනවා. ලොව 2012 වසරේ උපන් ක්‍රීඩිකාවන් අතරින් දුව 8 වැනි ස්ථානය දිනා ගත්තා. ඒ වගේම ආසියාවේ තුන් වැනියා. ”

“මේ විදිහට ලෝක මට්ටමේ මෙම ජයග්‍රහණය ලබා ගැනීම විශාල සතුටක්. දුවගේ තාත්තා උපේන්ද්‍ර ව්‍යාපාරිකයෙක්. අපි රත්නපුරේ තමයි පදිංචි වෙලා ඉන්නේ. දුවගේ පුහුණුකරු අකිල සර් පුහුණුවීම් කරන්නේ කොළඹ. බොහෝ තරගාවලි තිබෙන්නෙත් කොළඹ. කොළඹ තිබෙන පුහුණුවීම්වලට වගේම තරගාවලිවලට පැමිණෙද්දී කාලය නාස්ති වෙනවා, දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙනවා. කොළඹ පාසලකට ඇතුළත්වීමට අවස්ථාවක් ලැබුණොත් චෙස් ක්‍රීඩාවේ තවත් ඉදිරියට යෑමට සහයෝගයක් ලැබේවි.”

“දුවට මේ දක්වා දස්කම් දැක්වීමට සහයෝගය දුන් රත්නපුර ෆර්ගියුසන් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි මර්සි ගලගම මහත්මිය, වත්මන් පන්ති භාර ආචාරිනී ධම්මිකා ජයමිණි මහත්මිය, පාසලේ චෙස් පුහුණුකරුවන් වූ ජගත් කෙටලවල මහතා, රසික සමරනායක මහතා, වත්මන් පුහුණුකරු වන අකිල කාවින්ද මහතා, ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපති ලක්ෂ්මන් විජේසූරිය මහතා ඇතුළු නිලධාරීන්ටත්, පාසලේ චෙස් ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ දෙමව්පියන්ටත් ස්තුතිය පිරිනමනවා.”

ඉෂානි යද්දෙහි

Comments