සෝබර්ස්ට අසූ පහයි | සිළුමිණ

සෝබර්ස්ට අසූ පහයි

 

ක්‍රිකට් ක්‍රීඩාවේ “රජු” ලෙස ගරු බුහුමන් ලබන කොදෙව් ක්‍රීඩක ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් පසුගිය දා තමාගේ 85 වැනි උපන්දිනය සැමරුවේ ය. ඒ බාර්බෙඩෝස් හි සිය නි‍ෙවසේ සිටය.

ඔහු මෙලොව එළිය දුටුවේ 1936 ජූලි 28 වැනිදා ය. ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන් ඉරියව ක්‍රීඩකයා ලෙස විරුදාවලි ලබා සිටින මේ ක්‍රීඩකයාව කවුරුත් ආමන්ත්‍රණය කරනුයේ “සර් ගැරි” කියා ය.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් බිහි වූ තවත් විශිෂ්ටයකු වන ඔස්ට්‍රේලියාවේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් වරක් සෝබර්ස්ව හැඳින්වූයේ “ මිහිමත ඇවිදින විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා” කියා ය.

සෝබර්ස් විසින් පිහිටවූ අපූරු ලෝක වාර්තාවක් ගැන සිහිපත් කරන්නට මෙම කෙටි ලිපිය ප්‍රයෝජනයට ගන්නේ ඔහුගේ අසූ පස් වැනි උපන්දිනයට ලබාදෙන ත්‍යාගයක් වශයෙනි.

දිනය 1968 වසරේ අගෝස්තු 31 වැනිදා ය. එදින ක්‍රිකට් ක්‍රීඩාවට වාර්තා තැබූ දිනයක් විණි. ඒ ශ්‍රිමත් ගාෆිල්ඩ් සෝබර්ස් ප්‍රථම වතාවට පළමු පෙළ තරගයක දී පන්දු වාරයක් තුළ හයේ පහරවල් හයක් එල්ල කළ දිනයයි.

ඔහු මෙම වාර්තාව තැබුවේ එංගලන්ත ප්‍රාන්ත තරගයක දී නොටින් හැම්ෂයර් ප්‍රාන්තයට ක්‍රීඩා කරමින් ග්ලැමෝගන් ප්‍රාන්තයට එරෙහිව ය. සෝබර්ස් හමුවේ පහර කෑ පන්දු යවන්නා වූයේ මැල්කම් නෑෂ්ය.

“විනාඩි පහක කාලයක් තුළ මමත් ඒ වාර්තාවට සම්බණ්ධ වුණා” යි නෑෂ් කීවේ වාර්තාව හිමි කර ගත්තේ එවකට ලොව සිටි හොඳම පිතිකරුවා බව ද සදහන් කරමිනි. නෑෂ් යනු කලින් වේග පන්දු යවන්නෙක් වූ ක්‍රීඩකයකු වන අතර පසුව ඔහු දඟ පන්දු යැවීමට යොමු විය.

සෝබර්ස් නෑෂ්ගේ පන්දු හතරකට හයේ පහරවල් එල්ල කොට 5 වැනි පන්දුවටත් වැරෙන් පහරක් එල්ල කළේ ය. හතරේ සීමාව අසල පන්දු රකිමින් සිටි ග්ලැමෝගන් පිලේ රොජර් ඩේවිස් උඩ පන්දුවක් වශයෙන් එය අල්ලා ගත්ත ද තුලිත භාවය රැක ගැනීමට නොහැකිව ඔහු හතරේ සීමාවෙන් පිටතට ඇද වැටුණේ ය. ඒ පස් වැනි හයේ පහරයි. හයවැනි පහරත්, ඉහළින්ම හතරේ සිමාවෙන් පිටතට ගියේ ය.

සෝබර්ස්ගෙන් හයේ පහරවල් හයයි. ඒක නව ලෝක වාර්තාවක් වීම හේතුවෙන් දිනය අවසානයේ සෝබර්ස් සහ නෑෂ් දෙදෙනා ව බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවයේ සම්මුඛ සාකච්ඡාවකට කැඳවා තිබුණේ ය. එහිදී නෑෂ් පවසා සිටියේ තමා නැති නම් ශ්‍රීමත් සෝබර්ස්ට මේ වාර්තාව නොලැබෙන බවයි. එහි දී වහා සොබර්ස් නෑෂ්ට ස්තූති කළේ ය.

මැල්කම් නෑෂ් 1969 දී එංගලන්ත ප්‍රාන්ත ශූරතාව දිනා ගැනීමට ග්ලැමෝගන් පිලට විශේෂඥයකු ලෙස පන්දු යැවීය. 1983 දී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නා විට නෑෂ් පළමු පෙළ කඩුලු 993 දවා තිබිණ. සෝබර්ස් හයේ පහරවල් එල්ල කළ ඔහු අත්සන් තබා තිබූ පන්දුව 2006 වසරේ දී පවුම් 26,400 කට වෙන්දේසියක දී විකිණී ගියේ ය. කෙසේ නමුත් මැල්කම් නෑෂ් 2019 වසරේ ජූලි 30 වැනිදා ලන්ඩනයේ දී අභාවප්‍රාපත් වූ අතර ඔහු මිය යන විට හැත්තෑ එක් වැනි වියේ පසුවිණි.

ක්‍රිස්ටෝපර් රණසිංහ

Comments