අද වැනි දවසක...
රිදී ජුබිලි ඔලිම්පික් ක්‍රීඩා උළෙල 1992 වසරේ පවත්වන ලද්දේ ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර දී ය. එම ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියට අයත් වූ මීටර් 1500 පිරිමි අවසන් තරගය පැවැත්වූයේ අද වැනි දිනක එනම් අගෝස්තු 08 වැනි දා ය. මේ තරගය ඔලිම්පික් ඉතිහාසයේ ලියැවී ඇත්තේ අමරණීය මතක සටහනක් එක් කරන ලද්දක් ලෙසිනි.
මෙම මීටර් 1500 පිරිමි ඉසව්වට මූලික වටයේ තරග 4 ක්, අවසන් පූර්ව තරග 2 ක් හා අවසන් තරගය වශයෙන් තරග 7 ක් අයත් විණි. ඒ රටවල් 40 ක් නියෝජනය කරමින් තරගකරුවන් 51 දෙනෙකු සහභාගී වීම හේතුවෙනි.
එහි මූලික වටයේ තරග අගෝස්තු 03 වැනි දා ද අවසන් පූර්ව තරග අගෝස්තු 06 වැනි දා පවත්වා අවසන් තරගය පවත්වන ලද්දේ අගෝස්තු 8 වැනි දා ය. එහි දී රන්, රිදී හා ලෝකඩ යන පදක්කම් තුන දිනා ගත් ක්‍රීඩකයන් තිදෙනාම තම තමන් දිනාගත් පදක්කම්වල දිස්නයෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල වර්ණ ගැන්වී ය.
සත්කාරක ස්පාඤ්ඤයට රන් පදක්කම දිනා දුන් ෆර්මින් කැචෝ විනාඩි 3. 40.12 ක දී තරගය අවසන් කර තිබිණි. විනාඩි 3.40.62ක කාලයක් වැය කළ මොරොක්කෝ ක්‍රීඩක රැචිඩ් එල් බසීර් රිදී පදක්කම දිනා ගත් අතර ලෝකඩ පදක්කමේ හිමිකරුවා වී තිබුණේ කටාරයේ මොහොමඩ් සුලෙයිමාන් ය. ඔහු ඒ සඳහා වැය කරන ලද කාලය විනාඩි 3 .40.69 ක් විය.
ස්පාඤ්ඤය ඊට පෙර පැවැති කිසිම ඔලිම්පික් ක්‍රීඩා උළෙලක දී මීටර් 1500 ඉසව්ව වෙනුවෙන් රන් පදක්කමක් දිනා නොතිබිණි. එබැවින් කැචෝ නිසා ඔලිම්පික් ඉතිහාසයත් ස්පාඤ්ඤයත් බැබළුණි.
රිදී පදක්කම දිනා ගත්තේ රැචිඩ් එල් බසීර් ය. මොරොක්කෝව ද ඒ දක්වාම මීටර් 1500 ඉසව්වෙන් කිසිදු පදක්කමක් දිනා නොතිබූ බැවින් බසීර්ට මෙන්ම මොරොක්කෝවට ද එමඟින් එක්වූයේ අපමණ අගයකි. ඔලිම්පික් ක්‍රීඩා උළෙලක දී කුමන හෝ පදක්කමක් දිනා නොසිටි කටාරයට පළමු පදක්කම පැලඳවීමේ ගෞරවය මොහොමඩ් සුලෙයිමාන්ට හිමි වී තිබුණේ ඔහු එම ඉසව්වේදී දිනා ගත් ලෝකඩ පදක්කම නිසා ය.
රන්, රිදී, ලෝකඩ වශයෙන් වෙනස්කම් තිබුණ ද එම පදක්කම් ත්‍රිත්වයේම ඇත්තේ නොඉඳුල් බවකි. වැදගත්කමකි. 1992 අගොස්තු 8 වැනිදා ඔලිම්පික් ඉතිහාසයට එක් වූ මේ සිදුවීමේ ඇත්තේ එවන් පණිවිඩයකි.
සීවලී එදිරිවීර










