මැතිල්ඩාට ‘චොපින් චා’ බෑ කියයි අවසන් බලාපොරොත්තුවත් සේදෙයි | සිළුමිණ

මැතිල්ඩාට ‘චොපින් චා’ බෑ කියයි අවසන් බලාපොරොත්තුවත් සේදෙයි

 

'ප්‍රින්ස් ගුණසේකර ටෝකියෝ ඔලිම්පික් උළෙල වෙනුවෙන් ජපානය බලා ගිය මාධ්‍ය කණ්ඩායමේ 'ක්‍රීඩා' විශේෂ වාර්තාකරුවා ය. ඔහු ඇසින් දුටු සාක්ෂි උපනෙතට එක් කර සංක්ෂිප්ත සටහනකින් ශ්‍රී ලංකා ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගේ ඔලිම්පික් නියෝජනයේ තතු විත්ති මෙවරත් මෙලෙසින් රැගෙන එයි.'

අශ්වාරෝහක පැනීමේ ඉසව්වට එක් වූ මැතිල්ඩා තනූජා කාල්සන්ගේ ‘චොපින් චා‘ අශ්වයා තරගයේ 6 වැනි බාධකය පැනීමට අකැමැත්ත ප්‍රකාශ කළ ද, එම බාධකයේ දෙවැනි උත්සාහය සාර්ථක කර ගැනීමට අසු මෙහෙයවා 7වැනි බාධකය ද සාර්ථක කර ගත්තා ය. එහෙත් අට වැනි බාධකය පැනීමට අසු දිගින් දිගටම අකැමැත්ත ප්‍රකාශ කළ හෙයින් ඇයට තරගයෙන් ඉවත් වීමට සිදු විය.

පදක්කමක් කෙසේ වෙතත් ශ්‍රී ලංකා නාමය තවදුරටත් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ලියවා තබා ගැනීමට ඇයට හෝ අවස්ථාව හිමි වෙතැයි තබා තිබූ අවසන් අපේක්ෂාව ද ඒ අයුරින් වියැකී ගියේ ය. ඒ තවත් සිව් වසරකට පසු පැරිස් ඔලිම්පික් උළෙලේ දී එය සොයාගැනීමේ තිර විශ්වාසය සහිතව ය.

යුපුන් 42

වසර 25 ක ට පසු ශ්‍රී ලංකාවෙන් මීටර් 100 ඉසව්වේ ඔලිම්පික් නියෝජනය කළ යුපුන් අබේකෝන් තත්පර 10. 32 ක කාලයක් වාර්තා කොට මූලික වටයේ තරගය නිම කළේ ය. මීටර් 100 මූලික වටයේ තරගවලට ක්‍රීඩකයන් 62 ක් තරග කළ අතර එහි අවසන් කාල ගණනයට අනුව යුපුන් පත් වූයේ ලොව 42 වැනි ක්‍රීඩකයා බවට ය.

මීටර් 800 කාන්තා තරග ඉසව්වේ මූලික වටයේදී නිමාලි ලියනාරච්චි ක්‍රීඩිකාවන් 46 ක් අතුරින් 43 වැනි ස්ථානයට පත්වූවා ය. ඇය එම මූලික වටයේ දී සිය ඉසව්ව නිම කිරීම සඳහා මිනිත්තු 2: 10. 23 ක කාලයක් ගත කරනු ලැබිණි.

පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ මීටර් 100 නිදහස් ආර ඉසව්වේ මූලික වටයේ තරගය තත්පර 50.62 ක කාලයක් වාර්තා කොට ලොව සුපිරි පිහිනුම් ක්‍රීඩකයන් 71 කින් 48 වැනි ස්ථානයට පත්විය.

 

 

ඡායාරූප: ප්‍රින්ස් ගුණසේකර

ජපානයේ ටෝකියෝ නුවර සිට..

 

----------------------

මම පටන් ගත්තේ ම චකිතයකින් මැතිල්ඩා කාර්ල්සන්

'මේ මගේ පළමු වැනි ඔලිම්පික් ක්‍රීඩා උලෙළ. ඔලිම්පික් ආව එක ලොකු දෙයක්. ඒක මම දිනුව වගේ තමයි. මම මේ වගේ දැවැන්ත ක්‍රීඩා උළෙලකට තරග කරලා නෑ. ඒ නිසා මට මේක ලොකු අත්දැකීමක් වුණා. තරගය ආරම්භයේ දී යම් චකිතයක් දැනුණා. මගේ අසු චොපින් චා හොඳ පුරුදු අශ්වයකු වුණත් මේ වගේ දැවැන්ත ක්‍රීඩා තරගයක් නුහුරු එකක් වෙන්න ඇති. මේ අත්දැකීම් ප්‍රයෝජනයට ගෙන ඉදිරියේ තරග දිනන්න පුළුවන් මානසිකත්වයක් හදා ගන්න එක තමයි මගේ ඊළඟ බලාපොරොත්තුව.'

අශ්වාරෝහක පැනීමේ ඉසව්වේ බාධක 14න් මුල් බාධක හත පැන ගිය ද අට වැනි බාධකය පැන යෑම අශ්වයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණි.

ඇය මෙන් ම තවත් ක්‍රීඩිකාවන් දෙදෙනකු ද මේ ආකාරයෙන් ම ඉවත් කෙරිණි.

අශ්වාරෝහක පැනීමේ ඉසව්වෙන් ලොව හොඳම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 73 ක් ටෝකියෝ ඔලිම්පික් මූලික වටයට ඇතුළත් ව සිටි අතර, අවසන් තරගයට ඉන් 30ක් තෝරා ගැනිණි.

මේ තරගය වෙනුවෙන් කාල්සන් ජර්මනියේ සිට යුරෝ මිලියන 6 ක් (ශ්‍රී ලංකා මුදලින් කෝටි 142 ක්) වටිනා අශ්වයකු ටෝකියෝ ඔලිම්පික් උළෙලට රැගෙන පැමිණ තිබිණි.

 

 

බන්ධුල ජයමාන්න

Comments