
දසක හයක් පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිටිය තුළ දිරි ගන්වන්නා වූ පර්සි අබේසේකර මහතාට සන්නාම තානාපති ධුරයකින් පිදුම් ලැබී ය. ඒ සළු සල ආයතනයේ සන්නාම තානාපතිවරයා වශයෙනි. ඒ සඳහා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් සමරු තිළිණයක් පිරිනැමූ අවස්ථාව 'ක්‍රීඩා' කැමරාවට හසුවූයේ මෙසේ ය.
ඡායාරූපය හා සටහන - සුදත් මලවීර
---------------------
ආසියානු මේස පන්දුවට කටාර් යන්න
බිමන්දි හා සෙනුරගෙන් අපරාජිත පෙරළියක්
එළැඹෙන සැප්තැම්බර් මස 28 දින සිට ඔක්තෝම්බර් 02 දින දක්වා දෝහා කටාර් දේශයේ දී ක්‍රියාත්මක කෙරෙන ආසියානු ජ්‍යෙෂ්ඨ ශුරතා මේස පන්දු තරගාවලිය සඳහා ජාතික පිරිමි සහ කාන්තා කණ්ඩායම් සහභාගි කරවන බව ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනය පවසයි.
ඒ අනුව ක්‍රියාත්මක වූ මේස පන්දු නිලධාරීන් මෙරට සිටින දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16 දෙනකු ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයිය ගෘහස්ථ ක්‍රීඩාගාරයට කැඳවා තෝරා ගැනීමේ පරීක්ෂණ තරගාවලියක් පවත්වන්නට ද කටයුතු කරනු ලැබිණි. ජාතික මේස පන්දු කණ්ඩායම තෝරා ගැනීම උදෙසා ක්‍රියාත්මක කරන ලද අවසන් තේරීම් පරීක්ෂණය මෙය වූ අතර එහි දී කැපී පෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට කොළඹ ආනන්ද විද්‍යාලය නියෝජනය කළ "සෙනුර සිල්වා" සමත් වූයේ ය.
මහනුවර හිල්වුඩ් බාලිකා විද්‍යාලය නියෝජනය කළ "බිමන්දී බණ්ඩාර" ට ක්‍රීඩිකාවන් අතරේ මුල් ස්ථානය හිමිවූයේ පැහැබර අනාගතයකට පෙර නිමිති පහළ කරමිනි.
ප්‍රතිවාදී ක්‍රීඩකයන් 06 දෙනාම පරාජයට පත් කරමින් තම අපරාජිත බව සටහන් කර ගන්නට "සෙනුර සිල්වා" සමත් වන අතර වාරයේ "බිමන්දි බණ්ඩාර" ප්‍රතිවාදී ක්‍රීඩිකාවන් 07 දෙනාම පරාජයට පත් කරන්නට සමත් වූවා ය.
පාසල් ශිෂ්‍යයකු වන සෙනුර සිල්වා හා පාසල් ශිෂ්‍යාවක වන බිමන්දි බණ්ඩාර හමුවේ ප්‍රතිවාදී සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පරාජයට පත් වීම මෙහි දී කැපී පෙනුණි.
පිරිමි අංශයේ දෙවන ස්ථානය නාවික හමුදාව නියෝජනය කළ "නිමේෂ් රංචාගොඩ" තහවුරු කර ගත් අතර "මුතුමලී ප්‍රියදර්ශනී"
( නාවික හමුදාව ) ට කාන්තා අංශයේ දෙවන ස්ථානය හිමි කර ගත්තා ය.
තරගකරුවන් අතරේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය නියෝජනය කළ චමීර ගිනිගේ සහ මිලින්ද ලක්ෂිත
( OMBC ) තරග 03 බැගින් ජය ගත් අතර තරග 02 බැගින් ජයග්‍රහණය කිරීමට යුද හමුදාවේ ඉමන්ත උදයංජය සහ මහනුවර කිංග්ස්වුඩ් විදුහලේ චන්දුප අලහකෝන් ට හැකි වූ හ. අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ චනුල් ජයසිංහ ට එක් තරගයක ජයග්‍රහණය හිමි විය.
නාවික හමුදාවේ ඉෂාරා මධුරංගි, කොළඹ කාන්තා විද්‍යාලයේ අයිලා චිට්ටි, කෑගලු බාලිකා විද්‍යාලයේ චමීෂා තුෂාදී සහ යුද්ධ හමුදාවේ තනුෂී රුද්‍රිගෝ කාන්තා අංශයේ තරග 03 බැගින් ජයග්‍රහණය කළ හ. තරග 02 ක ජයග්‍රහණ කොළඹ කාන්තා විද්‍යාලයේ ජිතාරා වර්ණකුලසූරියට සහ නාවික හමුදාවේ හංසනී පියුමිලා ට හිමි වූ හ.
සපුමල් වීදියබණ්ඩාර
------------------------
ආරාධිත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියක් මහනුවර දී
ජාතික හා පළමු පෙළ නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයන් 60 දෙනකුගේ සහාභාගීත්වය ඇතුව කණ්ඩායම් හතරක් යටතේ විස්සයි 20 තරගාවලියක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සහා අන්තර් ජාතික ක්‍රිකට් සභාව ( අයි. සී.සී.- ICC ) සංවිධානය කරනු ලබන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම් වීමේ පියවරක් ලෙස මෙම තරගාවලිය සංවිධානය කෙරේ.
අගෝස්තු 12 වැනිදා ආරම්භ විමට නියමිත මෙම තරගාවලිය කණ්ඩායම් හතරක්, නිල් ( Blues ) රතු ( Red ) කොළ(Green) හා අළු ( Grey ) වශයෙන් නම් කර ඇති අතර සියලුම තරග පැවැත්වෙන්නේ පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ය.
මූලික වටයේ දී සෑම කණ්ඩායමක් ම තරග 6 ක ට ක්‍රිඩා කිරීමට නියමිත අතර අවසාන මහා තරගය පැවැත්වෙන්නේ අගෝස්තු 24 වැනි දා ය. කණ්ඩායම් හතරේ නායකයන් ලෙස දසුන් ශානක, දිනේශ් චන්දිමාල්, ධනංජය සිල්වා සහ අශාන් ප්‍රියන්ජන කටයුතු කිරීමට ඉඩ ඇති බව ක්‍රිකට ආයතනය පවසයි.
ගීෂා මුණසිංහ