
ඔලිම්පික් ක්‍රීඩා උළෙලක දී රන් පදක්කමක් දිනා ගැනීම යනු අතිශය දුෂ්කර ක්‍රියාවකි. ඒ සඳහා අපට හොඳම හා ළඟම සහතිකය ලබා දෙන්නේ පිලිපීනයේ හයිඩිලින් ඩියාස් ය.
ඇය මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා බර ඉසිලීමේ තරගාවලියේ දී කිලෝග්‍රෑම් 55 බර පන්තියේ රන් පදක්කම දිනා ගත්තා ය.
හයිඩිලින්ට මෙම රන් පදක්කම දිනා ගැනීමට තම ජීවිතයේ අවුරුදු 17 සිට 30 දක්වා වසර 13 ක් කැපවෙන්නට සිදුවිණි. ඒ වෙනුවෙන් ඈ ඔලිම්පික් ක්‍රීඩා උළෙල හතරකටම සහභාගී වූවා ය.
ඔලිම්පික් ක්‍රීඩා උළෙලක දී රන් පදක්කමක් ගෙල පැලඳීමේ පළමු උත්සාහය ඇය ක්‍රියාත්මක කර තිබුණේ 17හැවිරිදි වියේ දී ය. ඒ 2008 බීජිං ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 58 බර පන්තියෙන් තරග වදිමිනි. එම අවස්ථාව ඇයට හිමි වූයේ වයිල්ඩ්කාඩ් හෙවත් අඩු පහසුකම් සහිත රටවල තරගකරුවන්ට ලබා දෙන අවස්ථාවකිනි.
අඩු අත්දැකීම් සහිත ව ළාබාල වියේ දී ම හිමි වූ මෙම ඔලිම්පික් වරම දැරිය නොහැකි බරක් කරට ගත්තාක් මෙන් හයිඩිලින්ට දැනුණා විය හැකි ය. එහෙත් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට පිලිපීනය නියෝජනය කරමින් සහභාගී වූ පළමු ක්‍රීඩිකාව ලෙස ඉතිහාස ගත වූ ඈ එහි දී ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 85 ක් ද ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 107 ක් ද ඔසවා එම තරගයට ඉදිරිපත්ව සිටි ක්‍රීඩිකාවන් 12 දෙනා අතර 10 වැනි ස්ථානයට පත්ව සිටියා ය.
බර ඉසිලීමේ ක්‍රීඩාවට සම්බන්ධ ප්‍රබලයන් හැම දෙනාම වාගේ සඳහන් කර තිබුණේ එදා ඇගේ මේ දක්ෂතාව වයසේ තරමට ඕනෑවටත් වඩා වැඩි බවකි.
පිට පිටම දෙවැනි වරටත් ඔලිම්පික් උළෙලකට සහභාගී වූ පළමු පිලිපීන ක්‍රීඩිකාව වෙමින් 2012 වසරේ ලන්ඩන් ඔලිම්පික් උළෙලට ගිය හයිඩිලින්ට ආචාර පෙළපාළියේ දී ජාතික ධජය රැගෙන යෑමද භාර වී තිබිණ. එහෙත් ඇයගේ රන් පදක්කම් සිහිනය එවර ද සැබෑ වූයේ නැත.
කිලෝග්‍රෑම් 53 බර පන්තිය ඔස්සේ 2016 වසරේ රියෝද ජෙනරෝයි නගරයේ පවත්වන ලද ඔලිම්පික් ක්‍රීඩා උළෙල හයිඩිලින්ට ඇයගේ රන් සිහිනය සැබෑ කර ගැනීමට ලබා දුන් තවත් අවස්ථාවක් විය. එහි දී ද ඇයට රන් පදක්කම අහිමි වුවත් ඒ වෙනුවට රිදී පදක්කම දිනා ගැනීමට අවස්ථාව ලැබිණි.
එහෙත් රන් පදක්කමක් දිනා ගැනීමේ උත්සාහය හයිඩිලින් කිසි විටක අතහැර නොදැමී ය. 17 හැවිරිදි වියේ දී කළ නොහැකි වූ දේ 30 හැවිරිදි වියේ දී කිරීම අපහසු බව ඇයට ද නොසිතුණා නොවීය. ටෝකියෝ නුවරදී රන් පදක්කම දිනා ගන්නට නම් ඊට පෙර ජය ගත යුතු වූ අභියෝග දෙකකට ඈ මුහුණ දී සිටියාය.
කොවිඩ් 19 වසංගතය නිසා ඇය පුහුණුව ලබන කාය වර්ධනාගාරය වසා දැමීම ඊට එල්ල වූ ලොකුම අභියෝගය විය. එසේම ටෝකියෝ නුවර දී රන් පදක්කම දිනා ගැනීමට නම් තමන්ගේ බර පන්තියේ ලෝක වාර්තාව උසුලන චීන ක්‍රීඩික ලියාවෝ කියුන්ද පරාජය කළ යුතු ව තිබුණි.
ඇය කළේ එම ගැටලු විසඳා ගන්නට වතුර බෝතල් දෙකක් හා උණ ලීයක් උපකාර කර ගෙන බර එසවීමේ පුහුණුව ලැබීමය. චීන ක්‍රීඩිකාව පරාජය කිරීමටද අඛණ්ඩව ලබන පුහුණුව වැදගත් වූ බැවින් ගැටලු දෙකකට සාර්ථක විසඳුමක් ඉන් ලැබී ය.
පසුගිය 26 වැනි සඳුදා ටෝකියෝ නුවරට හිරු පායා බැබළුණේ හයිඩිලින් ඩියාස්ගේ දවස උදා කරමිනි. එදින ලෝක වාර්තාව හිමි චීන ක්‍රීඩිකාව රිදී පදක්කමට සීමා කළ හයිඩිලින් රන් පදක්කම වෙනුවෙන් ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 97 ක් හා ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 127 ක් ද ලෙස කිලෝග්‍රෑම් 224 ක් ඔසවා ඔලිම්පික් වාර්තාවද අලුත් කළා ය.
ඒ අනුව 1924 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සිට මේ දක්වා වසර 97ක් පුරාම රන් පදක්කමක් වෙනුවෙන් වෙහෙසුන පිලිපීනයට හිමිවූ මේ රන් පදක්කම රන් ආකරයක් බඳු විය.
සීවලී එදිරිවීර