
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ඇතුළු රුසියානු ආණ්ඩුව තම රටට එල්ල කෙරෙන තහනම් උත්තේජක චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබුණේ ය.
'කුමන්ත්‍රණ විවිධ ය. ඒ අතරින් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ශ්‍රී ලංකාවට නම් සුලබ අත්දැකීමකි. මෙරට දේශපාලනඥයන් එකී කුමන්ත්‍රණය ගැන කටපාඩම් කර සිටිති. එය අපට පමණක් නොව රුසියාවටත් පොදු ය. ප්‍රබල රාජ්‍ය නායකයකු, බල සම්පන්න රාජ්‍යයක් හා නිෂේධ බලය හිමි ලොව ප්‍රබලම රටක් වශයෙන් ඔවුන්ද අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය නමැති සටන් පාඨය භාවිතයට ගනිති. ඔලිම්පික් ක්‍රීඩාව හා එහි සහභාගිත්වය අහිමි කිරීම රුසියාවට එරෙහි අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් ද ? මේ ඒ සම්බන්ධයෙන් වන විශේෂාංගයකි.'
ලෝකවාසී ක්‍රීඩා ලෝලීන් මෙන්ම විවිධ රටවාසීන් ද බලා සිටියේ තමන්ගේ ක්‍රීඩකයන් ලෝකයේ විශිෂ්ටයන් හා උරෙන් උර ගැටී ක්‍රීඩා කරන ආකාරය දැකීමට ය. තම මවුබිමේ ජාතික ධජය පපුවේ හොවා ගනිමින් තම දේශයේ අභිමානය වෙනුවෙන් ටෝකියෝවේ තරගවදින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් දෙස බලා සිටීමට ය.
නමුත් මෙවර ඔලිම්පික් උලෙළෙහි ලොව රටවල් කිහිපයකටම එම සිහිනය බොඳ කර ගන්නට සිදු විය. ඒ ගෝලීය ත්‍රස්තවාදයෙන් පීඩා විඳීම හේතුවෙන් එම රටවල ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් සඳහා සහභාගි වීමට අනුග්‍රහය දක්වන්නට ස්වාධීන රාජ්‍යයක් නොමැති වීම හේතුවෙනි. ඊටම ක්‍රීඩක විකල්පයක් වශයෙන් භාවිත වූයේ එවැනි ක්‍රීඩිකාවන් එක් කර ඔලිම්පික් ධජය යටතේ ලෝක සරණාගත ක්‍රීඩක කණ්ඩායමක් නිර්මාණය කිරීම ය.
එසේම තහනම් උත්තේජක චෝදනාවන්ට යටත්ව වසර 4 ක ක්‍රීඩා තහනමක් පනවා ඇති හෙයින් මෙවර රුසියාව ට ද ඔලිම්පික් උලෙළ නියෝජනය කරන්නට අවස්ථාව හිමි වූයේ නැත. ඒ අනුව දැඩි කොන්දේසි සහ නීති රෙගුලාසින්ට යටත්ව රුසියානු ක්‍රීඩකයන්ට මෙවර ඔලිම්පික් නියෝජනය කරන්නට ඉඩ ලැබුණේ රුසියානු ඔලිම්පික් කමිටුව (ROC) යන නාමයෙනි. එයට හේතුව ක්‍රීඩාවේ දී භාවිතයට නොගත යුතු තහනම් උත්තේජක භාවිතයට කටයුතු කර තිබීම හා එය වසන් කිරීමට කටයුතු කිරීම හේතුවෙනි.
රුසියාව සිර කළ වාඩා තීන්දුව
රුසියාවට අන්තර්ජාතික ක්‍රීඩා තහනමක් පැනවෙන්නේ 2019 වසරේ දී ය. 2012 ලන්ඩන් ගිම්හාන ඔලිම්පික් සඳහා මෙන්ම 2014 සෝවි ශීත ඔලිම්පික් තරග ඇතුළු අන්තර්ජාතික තරග රැසක් සඳහා රුසියාව ඉදිරිපත් කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක භාවිත කර ඇතැයි යන චෝදනාව නිසා මෙම තහනම ඔවුන්ට පැනවිණි. එම තහනම පැනවූයේ ලෝක මත්ද්‍රව්‍ය නාශක විරෝධී ඒජන්සිය (WADA) විසිනි. තහනම් උත්තේජක චෝදනාව වඩාත් බරපතළ වූයේ ජාත්‍යන්තර තරගවලදී විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමේ අරමුණින් රුසියානු ආණ්ඩුවේ සහ ක්‍රීඩා බලධාරින්ගේ සහාය ඇති ව රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක භාවිත කර ඇති බවට පැමිණිලි ලැබුණු හෙයිනි.
රුසියානු ආණ්ඩුව සහ බලධාරීන් එම චෝදනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ අතර සිය නිර්දෝෂී බව ඔප්පු කිරීමට නීත්‍යනුකූල අභියාචනා කිහිපයක්ම ඉදිරිපත් කරන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස 2021 ටෝකියෝ ගිම්හාන ඔලිම්පික් උලෙළ සඳහා රුසියානු ක්‍රීඩකයන් ඉදිරිපත් කිරීමට ක්‍රීඩා සඳහා බේරුම්කරණ අධිකරණය (CAS) හරහා අවස්ථාවක් ලබා ගැනීමට ඔවුහු සමත් වූහ.
ඒ අනුව 2019 වසරේ දී වසර 4ක් සඳහා පැනවූ ක්‍රීඩා තහනමට තරමක නිදහසක් ලැබුණු අතර රුසියානු ධජය, ජාතික ගීතය, රුසියානු නාමය ඇතුළු මවුබිමේ අනන්‍යතාවය හඟවන සංකේත භාවිත කිරීමකින් තොරව රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ටෝකියෝ ඔලිම්පික් සඳහා සහභාගී වීමට අවසර හිමි විය. රුසියානු ඔලිම්පික් කමිටුව යන නාමයෙන් රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙවර ඔලිම්පික් ඉසව් නියෝජනය කරති.
රුසියානු ජාතික ධජයේ වර්ණ භාවිත කරමින් සකසා ඇති රුසියානු ඔලිම්පික් කමිටු ධජය ඔවුන්ගේ නිල ධජය ලෙස භාවිත කෙරෙයි. ක්‍රීඩා තහනම තීන්දු වීමට පෙර නඩු විභාගය පවත්වන අතරවාරයේදී පැවැත්වුණු 2018 ශීත ඔලිම්පික් තරගවලටද රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූයේ මේ හා සමාන කොන්දේසිවලට යටත්ව ය.
රුසියානු ඔලිම්පික් කමිටු කණ්ඩායම මේ වන විටත් ඔලිම්පික් පදක්කම් සටහනෙහි සයවන තැන පසු වෙයි. මෙම ලිපිය ලියන විට ඔවුන් විසින් රන් පදක්කම් 14 ක් රිදී පදක්කම් 21 ක් සහ ලෝකඩ පදක්කම් 18 ක් සමඟ දිනා ඇති සමස්ත පදක්කම් සංඛ්‍යාව 53 කි.
චෝදනා ප්‍රතික්ෂේප කරන පුටින්
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ඇතුළු රුසියානු ආණ්ඩුව තම රටට එල්ල කෙරෙන තහනම් උත්තේජක චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබුණේ ය. රුසියාව කිසි විටක ක්‍රීඩාව සම්බන්ධ නීතිවිරෝධී කටයුත්තකට සහාය නොදුන් අතර රාජ්‍ය මට්ටමින් එයට සහයෝගය ලබා දුන්නේ ද නැත. එම නිසා මෙම තීන්දුව සඳහා අපි කිසි ලෙසකින් එකඟ නොවෙමු. මෙම චෝදනා බටහිර රටවලින් අපට එල්ල කෙරෙන විරෝධයේ කොටසක් වන බව අපි දනිමු.
කෙසේ නමුත් නඩු විභාග තුළින් 2002 වසරේ සිට ජාත්‍යන්තර තරගාවලිවලදී රුසියානු ක්‍රීඩකයන් ලැබූ ජයග්‍රහණ රාශියක්ම විටින් විට අවලංගු කෙරුණි. පුටින් පවසන අන්දමට මෙය ද අමෙරිකාව ඇතුළු ධනවාදී රටවල් විසින් රුසියාවට එරෙහිව සිදු කරන කුමන්ත්‍රණයක් නම් අනියම් නමකින් හෝ මෙවර ඔලිම්පික් නියෝජනය කරන්නට වාසනාවන්ත වූ රුසියන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජයග්‍රහණ සහ පදක්කම් තුළින් තම ශක්තිය ලොවටම ප්‍රදර්ශනය කළ හැකි ය.
පසිඳු මිහිරාන් රැටියල