ඉතිහාසයට එක් වූ මොසම්බානිගේ මන්දාගමී වාර්තාව | සිළුමිණ

ඉතිහාසයට එක් වූ මොසම්බානිගේ මන්දාගමී වාර්තාව

 

ඔහුට 2000 වසරේ සිඩ්නි ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වීමේ අවස්ථාව හිමි වූයේ පිහිනුම් ක්‍රීඩාවෙනි. කිසි දිනක ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට සහභාගී වීමේ බලාපොරොත්තුවකින් නොසිටි ඔහුට ලැබී තිබුණේ වයිල්ඩ් කාඩ් වාසනාවකි.

තවද ඔහු සිඩ්නි ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා තිබුණේ ද ඊට පෙර අසා පුරුදු රටකින් නොවීම ද විශේෂත්වයක් විය.

සිඩ්නි ඔලිම්පික් පිහිනුම් තටාකයට පැමිණෙන තුරුම ඒ සා විශාල පිහිනුම් තටාකයක් ඔහු දැක තිබුණේ ද නැත. දිගින් මීටර් 50 ක් වූ සිඩ්නි ඔලිම්පික් පිහිනුම් තටාකය ඔහුට පෙනුණේ මහා සාගරයක් වැනිව ය.

ඒ නිසාදෝ ඇස් ගෙඩි දෙක දොඩම් ගෙඩි දෙකක් තරමට විශාල කර ගෙන පිහිනුම් තටාකය දෙස ඔහු ඇසි පිය නොහෙළා බලා සිටියේ ය.

අප්‍රිකානු කලාපයට අයත් එක්ටෝරියගිනියා නම් වූ රට නියෝජනය කළ ඔහු නමින් එරික් මොසම්බානි ය. ඔහු තරග වැදීමට සුදුසුකම් ලබා තිබුණේ මීටර් 100 නිදහස් ආර ඉසව්වෙනි.

මොසම්බානි සහභාගී වන පිරිමි නිදහස් ආර මීටර් 100 ඉසව්ව ආරම්භ වූයේ සැප්තැම්බර් 19 දා ය. ඒ සඳහා රටවල් 66 කි න් ක්‍රීඩකයන් ක්‍රීඩිකාවන් 74 දෙනෙකු ඉදිරිපත්ව සිටිය හ.

එහි දී මොසම්බානිට සහභාගී වීමට සිදු වූයේ පළමු වැනි මූලික වටයේ තරගයටය. එසේ වුවත් එම තරගයට ඔහු සමඟ තරග වැදුණේ තවත් ක්‍රීඩකයන් දෙදෙනකු පමණි. නයිජීරියාවේ කරීම් බාරි, තජිකිස්තානයේ කාහොඩ් ඔරිපෝඩ් ඔහුගේ ප්‍රතිවාදීන් වූහ. මේ තරගයට නම් කර තිබූ බ්‍රසීල ක්‍රීඩකයා තරගයට ඉදිරිපත් නොවී ය. එබැවින් තරගය පැවැතියේ ක්‍රීඩකයින් තිදෙනකු අතරේ ය.

එසේ වුවත් නයිජීරියානු ක්‍රීඩකයා මෙන්ම තජිකිස්තාන ක්‍රීඩකයාද වැරැදි ආරම්භ ලබා ගැනීම නිසා තරගයෙන් ඉවත් කරනු ලැබී ය.

අවසානයේ එරික් මොසිම්බානිට සිදු වූයේ තනිව තරග වැදීමට ය.

විනිසුරු සංඥාව ලැබීමත් සමග තටාකයට පැන මොසම්බානි පිහිනීම ආරම්භ කර තිබුණේ උපරිම ශක්තිය ද මුදා හරිමිනි.

තම රටේදී මීටර් 12 ක දිගින් යුත් පිහිනුම් තටාකයක දී ලබා ගත් පුහුණුව සිඩ්නි පිහිනුම් තටාකයට ගළපා ගන්නට මොසම්බානි සමත් වූයේ නැත. ඒ නිසාම ඔහු පළමු මීටර් 50 අවසන් කරන විටත් දැඩි සේ වෙහෙසට පත්ව සිටියේ ය.

තරගය නිම කිරීම මිස කළ හැකි වෙනත් කිසිවක් නොවී ය. අවසානයේ ඔහු තරගය නිම කළ කාලය ලෙස විනාඩි 01 තත්පර 52.72 ක් ලෙස සටහන්ව තිබුණේ ය. එය මීළඟ වටයට සහභාගී වීමේ අවස්ථාව මොසම්බානිට අවහිර කරනු ලැබුව ද, මීටර් 100 නිදහස් ආර තරගයක් අවසන් කළ මන්දගාමී කාලය ලෙස ඔලිම්පික් ඉතිහසායට එක්විමට මාර්ගය විවර කර තිබුණේ ය. එසේම මූලික වටයේ තරගයේ ජයග්‍රාහකයා ලෙස සටහන් වූයේ ද එරික් මොසම්බානිගේ නම ය.

මෙම තරගයේ අවසන් තරගය සැප්තැම්බර් 20 පවත්වනු ලැබී ය. එහි දී නෙදර්ලන්තයේ පීටර් වැන්ඩන් ග්‍රහන් බෑන්ඩ් රන් පදක්කම දිනා ගෙන තිබුණේ තප්පර 48.30ක තරග නිමි කාලයක් වාර්තා කරමිනි. නමුත් ඔහු අවසන් පූර්ව තරගය තප්පර 47. 84කදී නිමකොට ලෝක වාර්තාව ද සියතට ගත්තේ ය. ඒ අනුව බලන කල මීටර් 100 නිදහස් ආර ඉසව්ව සඳහා පීටර්ට වඩා එරික් දෙගුණයකටත් වැඩි කාලයක් වැය කර තිබුණි.

 

සීවලී එදිරිවීර

Comments