අමෙරිකාවට ක්‍රිකට් ගසමින් ඩොලර්වලින් පඩිගන්න බලපිටියේ රෝයි සිල්වා | සිළුමිණ

අමෙරිකාවට ක්‍රිකට් ගසමින් ඩොලර්වලින් පඩිගන්න බලපිටියේ රෝයි සිල්වා

 

අමෙරිකාවේ ජාතික ක්‍රිකට් පිල නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකිකයා ඔහු ය

 

‘ලෝකයේ ලොක්කා ලෙස තවමත් සැලකෙනුයේ අමෙරිකාව ය. ආර්ථික බලය තවත් රටකට සාපේක්ෂව පිරිහී ගියා යැයි සිතුණ ද ඔවුන් සතු යුද සහ දේශපාලන බලය හේතුකොටගෙන අමෙරිකාව යනු තවමත් ලොව ප්‍රමුඛම රාජ්‍ය ය. ක්‍රීඩාව අතින්ද ඔවුන් එසේම ය. මේ සියලු අංශයන්ගෙන් අමෙරිකාවට සටනක් දෙන අනික් ප්‍රබලයා චීනය යි. එහෙත් චීනයේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන වැඩි වශයෙන් සාකච්ඡා වන්නේ නැත. අමෙරිකාව නම් එකදු ක්‍රීඩාවක් අතහැර නැත. ඒ සඳහා ක්‍රිකට් කදිම නිදර්ශනයකි. ඔවුහු ක්‍රිකට් පිටියේත් ප්‍රබලයා වීමට උත්සාහ ගනිමින් සිටින්නේ එහෙයිනි. අමෙරිකාවේ ක්‍රිකට් සවිමත් කිරි මට ශ්‍රී ලංකා බුද්ධිය දැන් දැන් එරටට ගලනය වෙමින් තිබේ.අමෙරිකානු ජාතික ක්‍රිකට් පිලේ පළමු ව අවකාශ නිර්මාණය කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා හා ‘ක්‍රීඩා’ පැවැත් වූ සාකච්ඡාවකි මේ.’

ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව අතින් තවමත් ළපටි වියේ පසු වුව ද අමෙරිකාවේ උත්සාහය මෙම අවධිය අවසන් කර කඩිනමින් ලොව අංක එකේ ක්‍රිකට් රාජ්‍යයන් අතරට එක්වීම ය.

ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ පූර්ණ සාමාජිකත්වය හෙවත් ටෙස්ට් වරම් දිනා නොමැති නමුත් ඔවුන් මේ වන විට අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරග රාශියකට මුහුණ දී අත්දැකීම් සම්භාරයක් අතපත් කර ගෙන ඇති රාජ්‍යයකි.

එලෙස අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පිවිසි අමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් පිල නියෝජනය කළ ශ්‍රී ලාංකිකයෝ ද සිටිති. ඒ අතරින් එකී ගෞරවය උරුම කර ගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා රෝයි සිල්වා ය.

“මගේ උපන් ගම බලපිටිය. පවුලේ බාලයා වුණේ මම. මම පාසල් 4 ක ට ගිහිල්ලා තියෙනවා. තාත්තාගේ සේවා ස්ථානය අනුව පාසල් 3 ක ට ගියා. මගේ තාත්තා සේවය කළේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ.

එතුමා, කොළඹ වනාතමුල්ලේ ගුවන් හමුදා කඳවුරේ සේවය කරන කාලේ මම මුලින්ම බොරැල්ල සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මහා විද්‍යාලයේ ඉගෙන ගත්තා. ඔහුට කොග්ගලට සේවා මාරුවක් ලැබුණාම පළමු ශ්‍රේණියෙන් පසුව මගේ පාසල වුණේ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය යි.

ඊටත් පස්සේ මගේ පියාගේ සේවා ස්ථානය වුණේ කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරයි. ඒ නිසා 5 ශ්‍රේණියේ සිට මට කළුතර විද්‍යාලයට ගිහින් අධ්‍යාපන කටයුතුවල නියැළෙන්න සිදුවුණා. එහිදී තමයි ක්‍රිකට් ක්‍රීඩාවට එක්වුණේ. සුනිල් සළුවඩන සර් තමයි මගේ පළමු ක්‍රිකට් පුහුණුකරු.” රෝයි සිය ක්‍රිකට් ජීවිතයට අඩිතාලම වැටුණු ආකාරය සම්බන්ධයෙන් හෙළිදර ව් කළේ එසේ ය.

“1991 වසරෙ දි මම කළුතර විද්‍යාලයේ අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගන්නවා. අවුරුදු 2 ක් 13 න් පහළ ක්‍රීඩා කරනවා. 1993 දී අවුරුදු 15 න් පහළ කණ්ඩායමේ ක්‍රීඩා කළා. එහි දී මම කොළඹ ආනන්ද විද්‍යාලයට එරෙහිව පැවැති තරගයක දී ශතකයක් රැස් කළා. ඒ දස්කම දැක්ක කොළඹ නාලන්දාවේ කනිෂ්ඨ ක්‍රිකට් පුහුණුකරු ලෙස්ලි නාරංගොඩ සර් මට නාලන්දා විද්‍යාලයට එන්න කිව්වා. ඒ විදිහට මම නාලාන්දාවේ සිසුවෙක් වෙනවා. ඒ 1994 දී. නමුත් ඒ වසරේ මට 15න් පහළ කණ්ඩාමට ක්‍රීඩා කරන්න ලැබුණේ නෑ.” නව විදුහලක ක්‍රිකට් ක්‍රීඩකයකු වන්නට පැමිණ මාස කීපයක් පොරොත්තුවීමට සිදුවීමට ඔහුට සිදුව තිබිණි.

“1995 දී 17 න් පහළ ක්‍රිකට් කරන්න ලැබුණේත් නෑ. 1996 දී 17 න් පහළ ක්‍රීඩා කළා. 1996 සාමාන්‍ය පෙළ විභාගය කිට්ටු වෙන කොට ක්‍රිකට් නැවැත්තුවා. සාමාන්‍ය පෙළ විභාගය ලියා ගෙදර ඉන්න විට ශ්‍රී ලංකා ගුවන් හමුදා 23 න් පහළ ක්‍රිකට් පිලට ක්‍රීඩා කරන්නට මට අවස්ථාවක් ලැබුණා. ඒ එම කණ්ඩායමේ අංක 3 පිතිකරු ලෙසයි. එතකොට මගේ වයස අවුරුදු 17 යි. අවුරුදු 23 න් පහළ තරගයක දී බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහි ව ශතකයක් රැස් කරන්න මට හැකි වුණා. ඒ වෙද්දිත් මට නාලන්දාවේ 19 න් පහළ ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කරන්න ලැබී තිබුණේ නෑ. නාලන්දාවේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ජයන්ත සෙනෙවිරත්න සර්. නාලන්දාවේ ආදි ශිෂ්‍ය ගුවන් හමුදා වින්ග් කමාන්ඩර් මිගාර පෙරේරා මහතා නිසා තමයි මට නාලන්දාවේ පළමු පෙළ කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් හිමි වෙන්නේ. 1997/98 සහ 1998/99 තරග වාර දෙකේ දී විද්‍යාලයේ 19 න් පහළ ක්‍රිකට් පිල නියෝජනය කළා. අවුරුදු 2 ක් මහා ක්‍රිකට් තරග වරම් හිමි වුණා 1998 හා 1999 දී.” බාධක කම්කටොළු මැද අත දෙන්නට මිනිසුන් සිටින බව කියන්නට රෝයිට මිගාර පෙරේරා හොඳම උදාහරණයකැයි කිව හැකි ය.

“1997 සිට 2003 දක්වා ශ්‍රී ලංකා ගුවන් හමුදා අවුරුදු 23 න් පහළ ක්‍රිකට් පිල නියෝජනය කළා. 2003 දී කණ්ඩායමේ නායකත්වය දැරුවා. එම වසරේ දී අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබුවා. බ්ලූම්ෆීල්ඩ් පිලට තමයි පරාජය වුණේ. 23න් පහළ තරගාවලින්හිදී ශතක කිහිපයක්ම රැස් කරන්න සමත්වුණා.”

“1999 වසරේ දී සරා කුසලාන ශූරයින් වුණු ශ්‍රී ලංකා ගුවන් හමුදා පිල නියෝජනය කරන්න මට හැකිවුණා. එහිදී ශතක 2 ක් සමඟින් ලකුණු 450 සීමාව පසු කළා. 2000 වසරේ දී පළමු වරට ශ්‍රී ලංකා ගුවන් හමුදා පිල නියෝජනය කරමින් පළමු පෙළ ක්‍රිකට් වරම් හිමි කර ගත්තා. පළමු පෙළ තරගවාර 4 ක දී (2000 සිට 2003 දක්වා) ගුවන් හමුදා පිල නියෝජනය කළා.’

‘2003/2004 තරගවාරයේ දී දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා වුණේ මම. එහි දී ශතක 2 ක් සහ අර්ධ ශතක 6 ක් සමඟින් ලකුණු 686 ක් රැස් කළා. ඊට පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව රැස් කළ ලකුණු 171ක්, එන්.සී.සී. පිලට එරෙහිව ලකුණු 153 ක් රැස් කළා. පන්දුවෙන් දස්කම් දක්වමින් කඩුලු 38 ක් දවාගත්තා. මුවර්ස් පිලට එරෙහිව ලකුණු 41කට කඩුලු 7 ක් දවාලීම මතකයේ රැඳෙනවා. ඒ කාලේ අන්තර් පළාත් තරගාවලියක් තිබුණා. ඒත් කිසිම සංචිතයකට තේරුණේ නෑ. 2005 සිට 2007 දක්වා කාලය තුළ මම ක්‍රීඩා කළේ මුවර්ස් ක්‍රීඩා සමාජයටයි. 2005, 2006 සහ 2007 අන්තර් පළාත් තරගාවලියේ කඳුරට කණ්ඩායමේ සංචිතයට අයත් වුණත් ක්‍රීඩා කරන්න ලැබුණේ නෑ. පුහුණුකරු වුණේ චම්පක රාමනායක සර්.”

“2004 දී පළමු වරට මර්කන්ටයිල් ක්‍රිකට් ක්‍රීඩා කළේ රෝජර්ස් ගෘප් එකට. ඊට පසුව ජෝන් කීල්ස් පිලට ක්‍රීඩා කළා. මිලින්ද සිරිවර්ධනත්, ජනක ගුණරත්නත් මමත් සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගමට ගන්න ගොඩක් උදවු වුණේ වසන්තලාල් ප්‍රනාන්දු සර්. අවුරුදු 3 ක් ජෝන් කීල්ස් සමාගමට ක්‍රීඩා කළා. ”

“අපි පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරන කාලයේ දී කිසිම වෘත්තීයමය භාවයක් ලැබුණේ නෑ. ඒ වගේම ක්‍රීඩකයන්ගේ ආර්ථිකය ඉතාමත් පහත් මට්ටමක තිබුණේ. ඒ නිසා 2004 සිට එංගලන්තයට ගිහින් ක්‍රිකට් ක්‍රීඩා කරලා ආර්ථිකය ගොඩ දාගන්න උත්සාහ කළා. අවුරුදු 27 ක් වෙනකොට ඒ කියන්නෙ 2007 අවුරුද්දේ දි ඕස්ට්‍රේලියා ලීග් තරගාවලියට සහභාගි වෙන්න හැකි වුණා. රුවින් පීරිස් අයියාගේ උදව්වෙන් 2008 වසරේ දී එංගලන්තයේ ලැන්කර්ෂයර් ලීග් තරගාවලියට එක් වුණා. අවුරුදු 187 ක් පැරණි ක්‍රීඩා සමාජයක් වූ ඇක්රින්ටන් ක්‍රිකට් සමාජයට (Accrington Cricket Club) තමයි ක්‍රීඩා කළේ. ශ්‍රී ලංකාවෙන් මේ ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන්න ලැබුණු පළමු වෘත්තීමය ක්‍රීඩකයා වුණේ මම. 2008, 2009 හා 2010 තරගවාර 3 ක දී ක්‍රීඩා කරලා දස්කම් දැක්වූවා.”

“ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම්වලින් ලැබෙන ආරාධනය අනුව තමයි මම ක්‍රීඩා කළේ. 2008/2009 තරගවාරයේදී හලාවත මේරියන්ස් පිල නියෝජනය කළා. 2009/10 තරගවාරයේ දී ක්‍රීඩා කළේ කෝල්ට්ස් පිල වෙනුවෙන්. 2010/11 තරගවාරයේදී සැරසන්ස් පිලත්, 2011/12 තරගවාරයේ දී බදුරලිය ක්‍රිකට් සමාජ පිලත්, 2012/13 තරගවාරයේ දී සී.සී.සී. පිලටත් ක්‍රීඩා කළා. ශ්‍රී ලංකාවේ අවසන් පළමු පෙළ තරගාවලිය වූ එහි දී ශතක 2 ක් සහ අර්ධ ශතක 5 ක් සමඟින් ලකුණු 525 ක් රැස් කළා.”

“2011, 2012, 2013 සහ 2014 වසරවල අයර්ලන්තයේ ක්‍රීඩා කළා. 2011 අවුරුද්දේ එක්දින තරගයක දී පන්දු 72 ක දී නොදැවී ලකුණු 201ක් රැස් කළා. අයර්ලන්තයේ ක්‍රිකට් ක්‍රීඩාවට අවුරුදු 120 ක ඉතිහාසයක් තියෙනවා. අයර්ලන්ත පළමු පෙළ ක්‍රිකට් පිටියේ එක්දින තරගයක ඉනිමක දී පිතිකරුවකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කළේ මමයි. ඒ 2014 අවුරුද්දේ දී. එම තරගයේදී ග්ලෙන්ඩර්මට් පිල නියෝජනය කරමින් මම ක්ලිෆ්ටන්විල් පිලට එරෙහිව පන්දු 91 ක දී හයේ පහර 34 ක් සහ හතරේ පහර 11 ක් සමඟින් ලකුණු 295 ක් රැස් කිරීම තමයි ඒ. තවමත් ඒ වාර්තාව තිබෙනවා. එක් පන්දුවාරයක දී හයේ පහර 6 ක් එල්ල කළා. අයර්ලන්තයේ පළමු පෙළ තරගවාර 4 දී ලකුණු 4500 කට වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කළා.”

“වත්සලා එදිරිවීර මට 2010 වසරේදී හමුවෙන්නේ එංගලන්තයේ දී. වත්-සලා තමන්ගේ පවුලේ අයත් සමඟ අමෙරිකාවේ තමයි පදිංචි වෙලා හිටියේ. එයා අමෙරිකාවේ පුරවැසියෙක්. එයා තමයි මගේ සහකාරිය වුණේ. 2012 අවුරුද්දෙ දී අපි ශ්‍රී ලංකාවේ දී විවාහ වුණා. එයා අමෙරිකාවට ආවා. මම ශ්‍රී ලංකාවේ හිටියේ ක්‍රීඩා කරන්න ඕනෑ නිසා. 2013 දී තමයි මම අමෙරිකාවට ආවේ. ඒ ආවේ ක්‍රිකට් ගහන්න හිතාගෙන නෙවෙයි. අමෙරිකාවේ ක්‍රිකට් ක්‍රීඩා කරන්න පුළුවන් බව දැනගත්තේ ආවාට පසුව. ඒ දැනගෙන අම්මාට කියලා තමයි ශ්‍රී ලංකාවේ තිබුණු ක්‍රිකට් ආම්පන්න කට්ටලය මේ රටට ගෙන්වා ගත්තේ. අමෙරිකාවේ ඉන්න අතරෙදි 2014 අවුරුද්දදෙ දි අයර්ලන්තයට ගියා අවසන් වතාවට.”

“2013 අමෙරිකාවට ඇවිත් අවුරුදු 3 ක් ස්ථිර වීසා ලැබෙනතුරු බලා සිටියා. මේ රටේදී අන්තර් සමාජ මට්ටමේ පන්දුවාර 20-20 තරගාවලි රැසකට සහභාගි වුණා. එහි දී දස්කම් දක්වන්න මට පුළුවන් වුණා. ඒ වගේම ක්‍රිකට් පුහුණුකරුවකු ලෙසින් ද කටයුතු කළා. අන්තර් සමාජ මට්ටමේදී දැක්වූ දස්කම් හේතුවෙන් 2017 වසරේ දී අමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් පිල නියෝජනය කරන්න වරම් ලැබුණේ. “අවුටි කුසලාන” තරගාවලියේ දී කැනඩාවට එරෙහිව අමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් පිල නියෝජනය කළා. එහිදී තරග 3 ක ට සහභාගි වෙනවා. අවුරුදු 27කට පස්සේ අමෙරිකා පිල දිනුවේ පළමු වතාවට. අමෙරිකා එක්සත් ජනපද එක්දින ක්‍රිකට් ක්‍රීඩක ලැයිස්තුවේ 7 වැනියා වුණා. මගේ පළමු අන්තර් ජාතික තරගයේ දී ම දක්ෂතම ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට ලැබෙන්නේ මට.”

2019 අවුරුද්දෙ දි පන්දුවාර 20-20 තරග දෙකක දී ද අමෙරිකා එක්සත් ජනපද පිල නියෝජනය කරමින් තරග 2 ක ට සහභාගි වෙන්න ලැබුණා. මීට අමතරව අමෙරිකා එක්සත් ජනපද පිල නියෝජනය කරමින් අයි.සී.සී. තෙවැනි හා දෙවැනි පෙළ අන්තර්ජාතික තරග රාශියක දී අමෙරිකා එක්සත් ජනපද පිල නියෝජනය කරන්න ලැබුණා. මෙවර මයිනර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරනවා. පුළුවන් තරම් කාලයක් මයිනර් ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා ක්‍රීඩා කරන්න බලාගෙන ඉන්නවා. මගේ බලාපොරොත්තුව 2023 පැවැත්වෙන මේජර් ලීග් තරගාවලියට එක්වීමයි. බොහෝම ඉක්මනින් අමෙරිකාවේ ක්‍රිකට් දියුණු වේවි. ඒ සඳහා ඔවුන් සැලසුම් කරමින් ඉන්නේ.”

රෝයිගේ පියා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බලලත් නිලධාරියෙක් ලෙස විශ්‍රාම සුවයෙන් පසුවෙයි. මව ගෘහණියකි. එකම අක්කා කෞමිණි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික බලඝන නායිකාවකි. අක්කාගේ සැමියා චමින්ද හේරත් ගුවන් හමුදාවේම ගෘප් කැප්ටන් කෙනෙක් ලෙස සේවය කරනවා.

“මට දරුවන් තිදෙනෙක් ඉන්නවා. දුවලා 2ක් සහ පුතෙක්. දැන් මට අවුරුදු 41ක්. මම ක්‍රිකට් පුහුණු ඇකඩමියක් කර ගෙන යනවා. බිරිඳ වත්සලා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉංජිනේරුවරියක් ලෙස සේවය කරනවා. වෙළෙඳ පැත්තෙන් තව කටයුත්තකට අතගහන්නත් බලාගෙන ඉන්නවා. සුනිල් සළුවඩන සර්, වින්ග් කමාන්ඩර් මිගාර පෙරේරා සර්, චම්පක රාමනායක සර්, රුවින් පීරිස් අයියා සහ වසන්තලාල් ප්‍රනාන්දු සර්, මගේ අම්මා, තාත්තා, වත්සලාගේ අම්මා, තාත්තා ඇතුළු පවුලේ අයයි මගේ ක්‍රිකට් ජීවිතයේදී උදවු කළා. මගේ බිරිය වත්සලා තමයි අමෙරිකාවේ දී ක්‍රිකට් ගහන්න මට හෙවණැල්ලක් වගේ මගේ පසුපසින් සිටියේ. ඒ සහාය නොලැබුණා නම් මට අමෙරිකාවේදී මේ වගේ ක්‍රිකට් ක්‍රීඩා කරන්න ලැබෙන්නේ නෑ. ඒ අය ගැන මේ අවස්ථාවේදී සිහිපත් කරනවා.” ඔහු සතුටින් කීවේ ය.

ඉෂානි යද්දෙහි

Comments