බිමටම සමතලා වූ ලෙබනනයේ දෙවැනි අගමැතිත් ඉල්ලා අස් වේ | සිළුමිණ

බිමටම සමතලා වූ ලෙබනනයේ දෙවැනි අගමැතිත් ඉල්ලා අස් වේ

ආණ්ඩුවට එරෙහිව උද්‌ඝෝෂණය කරන ජනතාව

අදින් දශක කිහිපයකට පෙර ලෙබනනය යනු අපේ රටට සල්ලි මැවූ උල්පතකි. අපේ රටේ කාන්තාවන් ගෘස සේවිකාවන් වශයෙන් ලෙබනනයට ගියේ එහි වූ සශ්‍රීකත්වය හේතුවෙනි. එරට වැසියන්ට එකල අතට පයට සේවක සේවිකාවන් සමඟ සුඛෝපභෝගී ජීවිත ගත කිරීමට අවශ්‍ය තරමට ධනය විය. එකල ලෙබනනය කොතරම් ධනවත් වීද යත් 1975දී නිර්භයව තම අසල්වැසියන්ට යුද්ධ ප්‍රකාශ කිරීමට තරම් බලයක් එරට සතු විය. එහෙත් අද ලෙබනනය මුහුණ පා සිටින තත්ත්වයට මේ විනාශකාරී වියදම්ද හේතු වූ බව පැහැදිලිය.

පසුගියදා ලෙබනනය ගොඩ ගත නොහැකි බව කියමින් එරට වසරකට අඩු කාලයක් ඇතුළත දෙවැනි අගමැතිවරයාද ඉල්ලා අස් වූයේය. සාද් හරීරි නම් වූ ඔහු ආර්ථිකය ගොඩ ගැනීමට දැරූ උත්සාහයන් මෙන්ම ශක්තිමත් රජයක් පිහිටුවා ගැනීමට දැරූ සියලු උත්සාහයන්ද වතුරේ ගියේය. ඒ සමඟම රට දරුණු අගාධයකට වැටෙමින් පවතින කටුක සත්‍යයට මුහුණ දීමට එරට ජනතාවට සිදුවී ඇත්තේ කිසිදු පිළිසරණක්ද නොමැති වාතාවරණයදීය.

ලෙබනන යුද්ධය 1990දී අවසන් වන්නේ ලෙබනනය ආර්ථීක අවපාතයකට ඇද දමමිනි. එහෙත් කාලානුරූපව රට එයින් ගොඩගැනීමට පාලකයන් සමත් විය. යළිත් ලෙබනනය මකර කටට වැටෙන්නේ සිරියානු යුද්ධය ඇවිළී යෑමත් සමඟිනි. සිරියාව ලෙබනනයේ අසල්වැසියාය. අයිඑස් ඉස්ලාම් අන්තවාදීන්ට එරෙහිව ඇමරිකානු, රුසියානු මිසයිල සිරියානු බිම විනාශ කරන විට සිරියානු ජාතිකයන් මිලියන 1.8ක් ආරක්ෂාව පතා පැමිණියේ ලෙබනනයටය. එය ඒ වන විටත් ක්‍රමිකව බිඳ වැටෙමින් තිබූ ලෙබනන ආර්ථිකයට මරු පහරක් විය. අමතර බරක් විය. එහෙත් සරණාගතයන් එළවා දැමීම කළ නොහැක්කකි. ලෙබනයය ඔවුන්ද සමඟ බිඳ වැටෙන්නට විය.

ආර්ථිකය ක්‍රමයෙන් කඩා වැටුණද එය පැහැදිලිව දැක ගත හැකි වූයේ 2019 සිටය. ආර්ථිකය පවත්වාගනෙ යෑමට ප්‍රමාණවත් මූල්‍ය සංචිතවල ප්‍රබල හිස්තැන් දැකගත හැකිවූ අතර ජනතාවට එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය, බෙහෙත් පවා හිඟ වන්නට විය.

අත්‍යවශ්‍ය ඉන්ධන, බෙහෙත් සහ ආහාර ආනයනය කිරීම සඳහා රට සතුව ප්‍රමාණවත් විනිමය සංචිත නොවීය. මේ සියල්ල ජනතාවගේ ජීවිත දුක්ඛිත වාතාවරණයකට ඇද දැමීය.

2019දී පාලකයන්ට එරෙහිව රටපුරා උද්ඝෝෂණ රැල්ලක් පැතිර ගිය අතර එහිදී එවකට අගමැති ධූරය හෙබවූ සාද් හරීරි ප්‍රථම වරට ඉල්ලා අස්වූයේය.

ඔහුගෙන් පසු ඔහුගේ කැබිනට් මණ්ඩලයේ අධ්‍යාපන ඇමති ධූරය හොබවමින් සිටි හසන් දියාබ් අගමැති ධූරයට පත් වූයේය. ඔහු වඩාත් අවාසනාවන්ත අගමැතිවරයා බවට පත්වූයේ ඒ සමගින්ම කොවිඩ් වසංගතය ලොව පුරා පැතිර යෑමත් සමඟිනි.

එය ලෙබනනය තුළදී සැබවින්ම අපායට හෙණ ගැසීමක් විය. අතවශ්‍ය සෞඛ්‍ය සේවා පවත්වාගෙන යෑම රජයට දැඩි සේ ඇසීරු විය. විදේශ සංචිත තවදුරටත් පහළ බැස්සේ රට අවුල් ජාලයක පටලවමිනි. අගොස්මේ අතර පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ලෙබනනයට වැදිය හැකි අන්තිම හෙණයද වැදෙන්නේය. ඒ එරට ප්‍රධාන බේරූට් වරායේ ගොඩගසා තිබූ ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2000කට වැඩි ප්‍රමාණයක් පුපුරා යෑම හේතුවෙනි. එය සැබවින්ම රටකට වැදිය හැකි මරු පහරකි.

එම පිපිරීම හිරෝෂිමා පිපිරීම මෙන් අති විශාල ශබ්දයක් ජනනය කරනු ලැබූ අතර එරට අගනුවර වන බීරූට් නගරයෙන් වැඩි කොටසක් විනාශ විය. මියගිය සංඛ්‍යාව 200ක් වූ අතර තුවාල ලැබූවන් නිමක් නොවීය. මේ සියල්ල එකපිට පැමිණෙමින් සැබවින්ම එරටට අපහසුම වාතාවරණයක් පහසුවෙන් උදා කරවීය.

මෙවර ඉල්ලා අස් වීමේ වාරය උදා වූයේ අගමැති හසන් දියාබ්ටය. ඔහු බිඳ වැටෙන ආර්ථිකය ශක්තිමත් කිරීමට තමන්ට නොහැකි බව පවසමින් ඉල්ලා අස් වූයේය. යළිත් වරක් ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්ථාව ලබා ගත් හිටපු අගමැති සාද් හරීරිය. ඔහු යළිත් ලෙබනනයට වසන්තය ගෙන ඒමට උත්සාහ දරමින් යළිත් අගමැති ධූරය බාර ගත්තේය.

තවදුරටත් ස්වයංව රැකීමට නොහැකි බව වටහාගත් ලෙබනන පාලකයෝ තම රට ගොඩගැනීමට උපකාර කරන ලෙස විදේශ රටවලින් පොදු ඉල්ලීමක් කළහ.

එහෙත් ප්‍රතිචාර අල්ප විය. ප්‍රංශය පමණක් ලෙබනනය කෙරෙහි සෙසු බලවත් රටවල අවධානය යොමු කිරීමට උත්සාහ දැරුවේ තම පැරණි යටත් විජිතය කෙරෙහි අනුකම්පාවෙන් විය යුතුය.

එහෙත් කිසිදු ප්‍රතිලාභයක් ලබා ගත නොහැකි ආයෝජනයක් කිරීමට ලෝකයේ සෙසු බලවත් රටවල් සූදානම් වූයේ නැත. එබැවින් ලෙබනනයට ලැබුණු ආධාර ඉතා අල්ප වූ අතර ඒවයින් පැවති ගැටලුවලින් ස්වල්පයක් හෝ විසඳා ගැනීමට හැකියාව ලැබුණේ නැත. තවදුරටත් ඉන්ධන ගෙන ඒමට ප්‍රමාණවත් විදේශ සංචිත නොමැතිවූ ලෙබනනයේ මෝටර් රථ පසුගිය මැයි මාසයේදී තවදුරටත් භාවිතයට ගැනීමට නොහැකි තත්ත්වයකට පත්වූයේ ක්ෂණිකවය. මහාමාර්ගවල රථවාහන ධාවනය අල්ප වූ අතර ජනතාවට තම රැකියා සඳහා යෑමට හෝ දරුවන්ට පාසල් යෑමට ප්‍රවාහන සේවා නොවීය.

එයට හේතුව වූයේ එම රථ ධාවනයට ඉන්ධන නොමැති වීමය. ඒ සමගම ආහාරද ඉතා අල්ප විය. කොවිඩ් වසංගතයත් සමග යුද වැදීමට ප්‍රමාණවත් ඖෂධ තවතුරටත් ලෙබනන රෝහල්වලට සැපයුනේ නැත.

ශක්තිමත් රජයක් පවත්වා ගැනීමට මෙන්ම උද්ගත වෙමින් පවතින ඇද වැටීමෙන් රට බේරා ගැනීමට තමන්ට නොහැකි බව පවසමින් අගමැති සාද් හරීරි දෙවැනි වරටත් ඉල්ලා අස්වූයේ මෙවැනි වාතාවරණයක් යටතේදීය.

මේ සියල්ල අතර ඔහුට ශක්තිමත් රජයක් පිහිටුවීමේ හැකියාවද ලැබී තිබුණේ නැත. තමන් අසාර්ථක බවත් තම රටට දෙවියන්ගේ පිහිට පතන බවත් ඉල්ලා අස් වෙමින් අගමැතිවරයා පවසා තිබේ. දැන් ලෙබනන ජනාධිපති මිචෙල් ඖන් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තවත් අගමැතිවරයකු පත්කිරීම සම්බන්ධව සලකා බලමින් සිටින බවට වාර්තා ලැබෙමින් තිබේ. එහෙත් සැබෑව නම් ලෙබනනය මේ වැටෙමින් තිබෙන අගාධයෙන් ගොඩ ගැනීමට පහසු නොවන බවය.

ලෝකයේ බලවත් හෝ ධනවත් රටක සැලකිල්ල ලබමින් ආධාර හෝ ණය ලබා ගැනීමට නම් රටේ ස්වභාවික සම්පත් හෝ වෙනයම් වාසියක් පැවතිය යුතුය. එහෙත් ලෙබනනය ඒ කිසිවකින් සමන්විත නැත. අතීතයේ ඛණිජ තෙල් සම්පත හේතුවෙන් ධනයෙන් ආඩ්‍ය වුවද තවදුරටත් ඛනිජ තෙල් යනු ධනෝපානය මාර්ගයක් නොවන්නේය.

මේ තත්ත්වයෙන් ඇමරිකාවේ ජොන් හෝකින්ස් සරසවියේ ආර්ථික විද්‍යා විශේෂඥයන්ට අනුව දින තිහක් ඇතුළත උද්ධමනය සියයට 50 ඉක්මවූ ලෝකයේ එකම රට බවට මේ වන විට ලෙබනනය පත්ව තිබෙන්නේය.

මේ වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩඒමට නම් ලෙබනනයට විදෙස් රටකින් විශාල ආධාර ප්‍රමාණයක් ලැබිය යුතු වන්නේය.

නැතහොත් පකිස්තානය මෙන් අති දුශ්කර මාවතක් ඔස්සේ දීර්ඝ කාලීනව ගමන් කරමින් තමන්ගේ සෞභාග්‍යය තමන්ම උදා කර ගැනීමට කටයුතු කළ යුතු වන්නේය.

Comments