මේ වන විට ඔස්ට්‍රේලියාව හා චීනය එකිනෙකා වෙත බැණ අඬගසාගන්නා තත්ත්වයට පත්ව තිබේ. දෙපාර්ශ්වයම එකිනෙකාට වෙළෙඳමය තර්ජන කර ගනිමින් සිටින අතර ආසියාවේ වාසනාවට තවම එය අවිවලින් කෙරෙන යුද්ධයක් දක්වා වර්ධනය වී නොමැත.
මේ දෙරට අතර නුරුස්නා ස්වභාවයක් ඇතිවීමේ හේතුව විමසීමේදී පෙනී යන්නේ ඒ සඳහා වැඩි ඈතකට දිවෙන අතීතයක් නොමැති බවයි.
කොටින්ම 2015 වන විටත් ඔස්ට්‍රේලියාව සහ චීනය යනු යහපත් වෙළෙඳ සබඳතා පවත්වා ගත් රටවල් දෙකක් පමණක්ම විය.
2015 ජූනි 17වැනිදා ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදන 95ක් වෙනුවෙන් චීනය තීරු බදු ඉවත් කළ අතර එමගින් දෙරට අතර වෙළෙඳමය අවබෝධතාවක් ගොඩනැගිණි.
එහෙත් ක්‍රමයෙන් මේ සබඳතා බිඳ වැටීමට පටන් ගත් අතර එහි ආරම්භය සටහන් වන්නේ ඔස්ට්‍රේලියානු පාලකයන් විසින් යම් යම් අවස්ථාවලදී චීනය විවේචනය කිරීමත් සමගිනි.
එම විවේචන අතරින් ප්‍රබලතම විවේචන එල්ල වූයේ චීනය 5G තාක්ෂණය භාවිතයත් සමඟමය.
ඔස්ට්‍රේලියාව චීනය චෝදනා කරමින් පවසා සිටියේ චීනය 5G තාක්ෂණය ඔස්සේ ලෝකයේ ආරක්ෂාවට තර්ජන එල්ල කරමින් සිටින බවය. ඒ සමඟම ඔස්ට්‍රේලියාව මෙතෙක් තම රටට ආනයනය කළ කෘෂිකාර්මික යන්ත්‍රසූත්‍ර සඳහා වැඩි බදු පැනවීමක්ද සිදු කළේය.
මේ අතර කොවිඩ් වසංගතය ආරම්භ වූ අතර 2020 මාර්තු මාසයේදී ඔස්ට්‍රේලියාව චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සෞඛ්‍ය නිරෝධායන නිතිරිති ගණනාවක් පැනවීමට කටයුතු යෙදීය. මේ ක්‍රියාදාමයේදී වරක් ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පවසා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානය ‘අවි සෙවීමට’ කටයුතු කළ යුතු බවයි.
මේ ප්‍රකාශයට පිළිතුරු ලෙස චීනය සිදු කළේ චීනය වෙත යැවෙන ඔස්ට්‍රේලියානු හරක් මස් නිෂ්පාදනවලින් සියයට 35ක් අසාදු ලේඛන ගත කිරීමය.
මෙසේ කිරීමෙන් පසු චීනය ඔස්ට්‍රේලියාවට පවසා සිටියේ ඇමරිකාව සමඟ දුරින් සිටීමට කටයුතු කරන ලෙසයි.
එහෙත් ඒ වන විටත් දක්ෂිණ අර්ධගෝලයේ ඇමරිකාවට සිටින සැබෑම හිතවාදියා බවට ඔස්ට්‍රේලියාව පත්ව සිටි අතර ජපානය, නවසීලන්තය, කැනඩාව සහ බ්‍රිතාන්‍යය ඒ අතර විය.
යළිත් වරක් 2020 ජූනි මාසයේදී චීනයට සර්බර් ප්‍රහාරයක් සිදුකරන ලද බවට ඔස්ට්‍රේලියානු පාර්ශ්වයෙන් චෝදනා එල්ල විය. එහෙත් චීනය එය ප්‍රතික්ෂේප කර සිටියේය. මේ අන්දමින් දෙරට අතර ආනයන ආපනයන යුද්ධයක් ආරම්භ වූ අතර ගල් අඟුරු ඇතුළු භාණ්ඩ රැසක්ම එම ලැයිස්තුවේ විය.
චීනය තම සිහින ව්‍යපෘතිය වන තීරයක් සහ මාවතක් ලෝක වෙළෙඳ ව්‍යපාතියට සම්බන්ධ කර ගත හැකි සෑම රටක්ම සම්බන්ධ කර ගත් අතර ඒ අතර ඔස්ට්‍රේලියාවද විය.
මධ්‍යම ආසියාව, දකුණු සහ ගිනිකොණ ආසියාව සමඟ අප්‍රිකාවද යුරෝපයද සම්බන්ධ කරමින් මහා වෙළෙඳ කලාපයක් ස්ථාපිත කිරීමේ චීන වෑයමේ එක් පියවරක් වූයේ සෑම රටක් සමඟම සහයෝගයෙන් කටයුතු කරමින් උපක්‍රමශිලීව තම මතයට ලෝකය ආකර්ෂණය කර ගැනීමය. එහෙත් 2021 අප්‍රේල් 21වැනිදා තමන් එම ව්‍යපෘතියෙන් ඉවත් වන බව ඔස්ට්‍රේලියාව ප්‍රකාශ කර සිටියේය.
චීනය ඒ සම්බන්ධයෙන් සිත රිදවා නොගත් අතර එකට එක කිරීමක් ද සිදු නොකළේය. එපා නම් නිකම් ඉන්න වැනි ප්‍රතිචාරයක් ඒ සම්බන්ධව චීනයෙන් ඔස්ට්‍රේලියාවට හිමි විය.
එහෙත් ඔස්ට්‍රේලියාව හොංකොංහි ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රකාශ නිකුත් කිරීම ආරම්භ කිරීිමත් සමඟ චීනය තම මතය ප්‍රකාශ කර සිටියේ ‘ඔබට චීනය සතුරක් කර ගැනීමට අවශ්‍ය නම් චීනය සතුරකු වේවි’ යනුවෙන් ප්‍රකාශ කිරීමෙනි.
මෙයින් පසුව සුළු සුළු සිදුවීම් රැසක්ම සිදුවුවද වැදගත්ම සිදුවීම් මාලාව සිදුවූයේ චීනය සහ ඔස්ට්‍රේලියාව අසල්වැසි කලාපීය රටවලට කොවිඩ් එන්නත් ප්‍රධානය කිරීමේ තරගයක් නිර්මාණය කිරීමත් සමඟිනි.
විශේෂයෙන්ම පැපුවා නිව්ගිනියාව මූලික කර ගනිමින් දෙරට තරගයට එන්නත් ප්‍රධානය කිරිමට පටන් ගත් අතර කලාපීය රටවල සිත දිනාගැනීමේ යුද්ධයක දෙරටම නිරත වී සිටින බවට එය හොඳ උදාහරණයක් විය.
පසුගිය වසරේදී වරක් නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් ඔස්ට්‍රේලියාවට පවසා සිටියේ චීනය සමඟ වඩා මිතුරු ප්‍රවේශයකට එන ලෙසයි.
එහෙත් ඔස්ට්‍රේලියාව හදවතින්ම ඇමරිකානු වූ බැවින් චීනයට දීමට ඔස්ට්‍රේලියානු හදවතේ ඉඩක් වූයේ නැත.
දැන් දෙරට එකිනෙකා වෙත ඍජුවම දෝෂාරෝපණය කරන තැනකට පත්ව සිටින අතර බොහෝ විට මෙහි අවසානය අයහපත් විය හැකිය.
අයහපත් වන්නේ නම් එහි මූලික ප්‍රතිඵල අත් විඳීමට සිදුවනු ඇත්තේ ආසියාවටය. එබැවින් මෙවැනි ගිනි දළු ඉක්මනින් නිවී යන්නේ නම් එය ආසියාතික අප සැමටම යහපත් වනු ඇත.