සූමා හිරේ දකුණු අප්‍රිකාව ඇවිලේ
හිටපු ජනපති ජේකබ් සූමා සිරගත කිරීමට විරෝධය පළ කරමින් දකුණු අප්‍රිකාව පුරා පැතිරී යමින් පවතින විරෝධතා මේ වන විට කලහකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතින බව වාර්තා වේ. එම විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ඇතිවූ ගැටුම්වලින් මේ වන විට 78 දෙනෙකු මියගොස් තිබේ. පොලීසිය රබර් උණ්ඩ භාවිත කරමින් විරෝධතාකරුවන් විසිරුවා හැරිමට කටයුතු කරන බව ප්‍රකාශ වුවද පොලිස් වෙඩි පහරින් පුද්ගලයන් මියගිය බවට ද වාර්තා ලැබී තිබේ.
විරෝධතා පැවැත්වීමේ චෝදනා මත පුද්ගලයන් 1200ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර පැතිර යන මේ විරෝධතා හේතුවෙන් කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළටද බාධා පැමිණෙමින් ඇති බව ජොහැන්නස්බර්ග් මාධ්‍ය වාර්තා කර තිබේ. මේ විරෝධතා අතරතුර කඩාකප්පල්කාරී ක්‍රියාවන්ද සිදුවෙමින් පවතින අතර ඇතැම් පිරිස් කඩසාප්පු බිඳ දමමින් ඒවායේ ඇති උපකරණ සහ ආහාර සොරකම් කරමින් සිටින බවද වාර්තා වේ.
මේ විරෝධතා ආරම්භ වූයේ එරට හිටපු ජනාධිපති ජේකබ් සූමාට මාස 15ක සිර දඬුවම් නියම වීමත් සමඟිනි. හිටපු ජනාධිපතිවරයාට එරෙහිව දූෂණ චෝදනා එල්ල වී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් පැවති නඩු විභාගයක් අවසානයේ ඔහුට මේ සිරදඬුවම නියම විය. එහෙත් සූමාට පක්ෂපාතී පිරිස් එම නඩු තීන්දුවට විරෝධය දැක්වීමට නගර වෙත ඒකරාශී වූ අතර මේ වන විට දිගින් දිගටම විරෝධතා පැතිර යමින් තිබේ. ජේකබ් සූමා 2009 වසරේ සිට 2018 දක්වා දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධූරය හෙබවූයේය.
ලොව ගැඹුරුම පීනුම් තටාකය ඩුබායිවල
ලොව උසින් වැඩිම ගොඩනැගිල්ල ඉදිකර වාර්තාවක් තබා සිටින ඩුබායි නගරය තවත් වාර්තාවකට සැරසේ. ඒ ලොව ගැඹුරුම පිහිනුම් තටාකය නිර්මාණය කිරීමෙනි. පසුගිය ජූලි 7වැනිදා මේ පිහිනුම් තටාකය විවෘත කෙරුණු අතර එය අඩි 200ක ගැඹුරෙන් යුක්ත වේ. මෙය නම් කර ඇත්තේ D3 හෙවත් Deep Dive Dubai යනුවෙනි.
මේ පිහිනුම් තටාකය නිර්මාණය කර ඇත්තේ ගෘහස්ත පිහිනුම් තටාකයක් වශයෙනි. එහි ධාරිතාව වතුර ගැලුම් මිලියන 3.7කි. ඩුබායිහි සුපිරි සංකීර්ණයක් වන සන්කෙන් සිටි වෙත පිවිසෙන අයට විනෝදයට මෙහි කිමිදෙමින් සිත්සේ සතුටු විය හැකිය. මෙහි කිමිදීමට අවසර ලබා දෙන්නේ වයස අවුරුදු 10ට වැඩි කිමිදුම්කරුවන්ට පමණි.
තල්මස් පැටියාට නවසීලන්තයේ රැකවරණ
වරල තුවාල වූ තල්මස් පැටියකු සුවපත් කිරීමේ මෙහෙයුමකට මේ දිනවල නවසීලන්තයේ සත්ත්ව ආරක්ෂක සාමාජිකයන් අත ගසා තිබේ. මේ කුඩා පිරිමි තල්මස් පැටවා තුවාල සහිතව වෙරළාසන්නයේ ගැවසෙමින් සිටිනු තරුණයන් පිරිසක් විසින් නිරීක්ෂණය කර ඇති අතර ඒ සම්බන්ධව බලධාරීන්ට දැනුම් දී තිබේ. එහිදී වහාම ක්‍රියාත්මක වී ඇති නවසීලන්ත බලධාරීන් සත්ත්වයාගේ සුභ සාධනයට කටයුතු සිදුකර ඇති අතර සත්ත්වයාට ප්‍රතිකාර ලබා දීමට අමතරව සත්ත්වයා නිරික්ෂණය කිරීමටද පිරිස යොදවා තිබේ.
මේ පිරිස් අධික සීතල කාලගුණය යටතේ මුහුදු වෙරළේ රැඳී සිටිමින් සත්ත්වයාට ක්ෂණික ප්‍රතිකාර ලබා දීමට සූදානමින් සිටින බවද පැවසේ. සම්පූර්ණයෙන් සුවය ලැබූ පසු මාරක තල්මසුන් වර්ගයට අයත් මේ තල්මස් පැටවා යළි සාගරයට යනු ඇතැයි අපේක්ෂා කෙරේ.