යළි නිවැරදි කළ නොහැකි හයිටි ජනා­ධි­පති ඝාත­නය | සිළුමිණ

යළි නිවැරදි කළ නොහැකි හයිටි ජනා­ධි­පති ඝාත­නය

.ඝාත­න­යට ලක් වූ ජනා­ධි­පති ජොඑ­නාල් මොයිසේ

රටක් විනාශ කර දැමීම මෙතරම් පහසු කටයුත්තක් දැයි සිතෙන්නේ හයිටි දේශය ගැන සලකා බලන විටය. එහෙත් එය සැබෑය. තවත් බලවත් රටක අවශ්‍යතා වෙනුවෙන්, අධිරාජ්‍යවාදය යටතේ තමන්ගේ රටවල් සංවර්ධනය කර ගැනීම වෙනුවෙන් තවත් රටක් සිත්පිත් නොමැතිව විනාශය කරා ගෙන යෑම එතරම්ම පහසුය. ඒ සඳහා හොඳම උදාහරණය හයිටියයි.

හයිටි ගැන කතාබහ අලුත් වන්නේ එහි ජනාධිපති ජොඑනාල් මොයිසේ ඝාතනය කිරීමත් සමඟමය. එම ඝාතනයට වගකිවයුතු ඝාතකයන් මේ වන විට අත්අඩංගුවට ගෙන අවසන්ය. නැතහොත් ඝාතනය කර අවසන්ය. සියලු දෙනා සංඛ්‍යාෙවන් 17ක් බව පැවසේ. එහෙත් මේ ඝාතන සිදුවීමේ මහා මොළකරු ගැන කතාබහක් නැත. ඒ සඳහා වගකිවයුත්තා කවුරුන්දැයි සොයා ගත නොහැකිය.

මේ වන විට අගමැති ක්ලවුඩේ ජෝසෆ් වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කරමින් සිටින්නේය. ඔහු ජනාධිපති මොයිසේ ඝාතනය වීමත් සමඟ මේ ඝාතනය සිදුවීම හේතුව සහ වගකිවයුත්තන් සොයා දෙන ලෙස ඇමරිකාවෙන් ඉල්ලා සිටියේය.

එයට පිළිතුරු ලෙස ඇමරිකානු නියෝජිතයන් කණ්ඩායමක් පසුගියදා හයිටි හි අගනුවර වන පෝට් ඔ ප්‍රින්ස් වෙත පැමිණියේ දැඩි ආරක්ෂාව මධ්‍යයේය. එහෙත් මේ දක්වා සිදුවූ සිදුවීමේ අගමුල පැවසීමට කිසිවකු සමත් වී නැත.

ඝාතනයට ලක් වූ ජනාධිපති ගේ බිරිය පසුගියදා සමාජ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේද තුෂ්නිම්භූත කතාවකි.

කිසිවක් සිදුවූයේ කෙසේදැයි අදහාගත නොහැකි බව පැවසූ ඇය ඝාතකයන් ජනාධිපතිවරයාට වචනයක් හෝ පැවසීමට අවස්ථාවක් නොදුන් බව පවසා සිටියාය. මධ්‍යම රාත්‍රිය පසුවීමෙන් පසු ජනපතිගේ පෞද්ගලික නිවසට රහසේ ඇතුළු වී ඇති ඝාතකයන් ජනාධිපතිගේ ආරක්ෂකයන් සහ නිවසේ සේවකයන් බැඳ දමා ජනාධිපති ඝාතනය කර ඇති බව මේ වන විට තහවුරු කරගෙන තිබේ. මේ සියල්ල පෙන්වා දෙන්නේ හයිටි ජනාධිපතිවරයා යනු සාමාන්‍ය මිනිසකු තරමට අනාරක්ෂිතව දිවි ගෙවූ අයෙකු බවයි. සැබවින්ම හයිටිහි සමාජ වාතාවරණය විමසා බලන විට ජනාධිපතිවරයාට ලබා දී ඇති ආරක්ෂාව මෙතරම් සරල වීම පුදුමයට කරුණකි.

දැනට හෙළිදරව් වී ඇති කරුණු අනුව පෙනී යන්නේ ජනාධිපති ඝාතනය හයිටිහි බලවත් කල්ලියක ක්‍රියාවක් සේ අර්ථ ගන්වාගත හැකි බවයි. සැබවින්ම හයිටි යනු නීතියක් නොමැති රටකි. එහි වසර පහක කාලයකට වරක් පැවැත්වෙන ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ පැවතියද, එම මැතිවරණවලින් වරින්වර පාලකයන් පත් වුවද සැබවින්ම හියිටි හි නිශ්චිත නීතියක් ක්‍රියාත්මක නොවන තරම්ය. එහි පාතාල කල්ලි වටා බලය ඒකරාශී වී පවතින අතර එම කල්ලි නායකයන් ප්‍රාන්ත රජවරුන් මෙන් තමතමන්ගේ බලය සහිත ප්‍රදේශ පාලනය කරති. එම කල්ලි නායකයන්ට බලපාන්නේ තමන්ගේ නීතිය පමණක්මය. සැබවින්ම හයිටිහි පවතින්නේ මෙවැනි වාතාවරණයකි.

දැනට ජනාධිපති ඝාතනය පිළිබඳව සොයාගෙන ඇති කරුණු අතරින් තවත් වාර්තාවක සඳහන් වන්නේ හයිටිහි වෛද්‍යවරයකු මේ ඝාතනය කිරීම පසුපස සිටින බවයි. ඔහුගේ අරමුණ වී ඇත්තේ ජනාධිපතිවරයා ඝාතනය කිරීමෙන් පසු තමා ජනාධිපති පදවියට පත්වීම බවද පැවසේ. වරින්වර සිදුවූ ආක්‍රමණ සහ යටත් කර ගැනීම්වලින් පසු හයිටිහි ආර්ථිකය පහත්ම අඩියකට පත්වූ අතර, එයට සාපේක්ෂව සමාජයද විශාල ලෙස පරිහානියට පත්විය. හයිටි ජනතාව සාක්ෂරතාවෙන් ඉතා පහත් මට්ටමක සිටින අතර ළමුන් පාසල් නොයැවීම දෙමවුපියන්ගේ අපේකෂාවයි.

වංචාව දූෂණය සමාජය පුරා ඉහවහාගොස් ඇති අතර රාජ්‍ය පාලකයාගේ සිට විවෘතවම වංචා, දූෂණවල නිරතවෙති. විශේෂයෙන්ම දීර්ඝ කාලයක් පුරා හයිටිය පාලනය කළ ‘බේබි ඩොක්‘ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ හිටපු ජනාධිපති ඩුවෙයිලියර් සහ ඔහුගේ බිරිය හයිටි භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 504ක් සොරකම් කළ බව ප්‍රකාශිතය. ඔහු මේ මුදල් වංචා සිදු කර ඇත්තේ ඔහු පාලන බලයේ සිටි 1971 - 1986 අතර කාලයේදීය.

මෙවැනි වංචා සහගත පාලකයන්ගෙන් පසුව හයිටිය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ අභිප්‍රායෙන් යුතුව පැවති ප්‍රථම මැතිවරණයෙන් පත් වූ පළමු පාලකයා වූ ජීන් - බාට්රැන්ඩ් ආරිස්ටයිඩ් පසු කාලීනව මත්ද්‍රව්‍ය ජාවාරම් පවා තමන්ම මෙහෙයවූ බවට තොරතුරු හෙළිදරවු විය. තත්වය පාලනය කිරීමට එක්සත් ජාතීන් පවා මැදිහත් වූ අතර එක්සත් ජාතීන්ගේ හමුදාද හයිටියට කැඳවන ලද්දේ මේ අඳුරු රටට යහපතක් කිරීමේ අරමුණෙන් යුතුවය. එහෙත් ඒ කිසිවක් හයිටි භූමිය තුළ ප්‍රායෝගික වූයේ නැත.

ඝාත­නය සම්බ­න්ධව අත්අ­ඩං­ගු­වට පත් සැක­ක­රු­වන්
 

හයිටියේ මේ දුක්ඛිත වාතාවරණයට හේතුව අන් කිසිවක් නොව බලවත් රටවල ක්‍රියාකාරකම්ය. හයිටිය ඈත අතීතයේ සිට අධිරාජ්‍යවාදයට ගොදුරු වූ අතර නිදහසෙන් පසුව වුවද බලවත් රටවල බළල් අත්වලින් හයිටියට ගැලවීමක් ලැබුණේ නැත.

හයිටිය ගොඩ ගැනීමට ඇමරිකාව සහ කැනඩාව වැනි රටවල් වරින්වර ලබා දෙන ආධාර අති විශාලය. විශේෂයෙන්ම ඇමරිකාව හයිටියට ආධාර ලබා දෙන ප්‍රධානතම රට ලෙස හයිටිය වෙනුවෙන් කරන වියදම් විශ­ාලය. ප්‍රධාන වශයෙන්ම හයිටිය පාලනය ඇමරිකාවෙන් සිදුකරන තරමට එය එසේය. මේ වන විටත් ඇමරිකානු නීතිය යටතේ පාලනය වන ඇමරිකානු බල ප්‍රදේශ හයිටිය තුළ පවතින්නේ සැබෑ තත්ත්වය පිළිබඳ අදහසක් ලොවට ලබා දෙමිනි.

දැන් අපායට හෙණ ගසා තිබේ. හිටපු ජනාධිපති ජොඑනාල් පිළිබඳ හයිටි ජනතාවට චෝදනා නොතිබූ බව ප්‍රකාශිතය. දැන් අගමැති හෙවත් වැඩබලන ජනාධිපති රට බේරා ගැනීමට ඇමරිකාවෙන් ආධාර පතා තිබේ. ජනාධිපතිවරයාගේ ඝාතකයන් මෙන්ම ඝාතනයට හේතුවද තවමත් හෙළිදරවු වී නොමැත. බොහෝවිට එය හෙළිදරවු නොවනු ඇත. හෙළිදරවු වුවද එය කිසිවකට පිළියමක් ද නොවනු ඇත. හයිටිය යනු යළි නිවැරදි කළ නොහැකි අත්වැරැද්දකි. එහෙත් ගැටලුව වන්නේ වැරදිකරුවන් මුළු ලොවක් ඉදිරියේ නිරුපද්‍රිතව මෙන්ම වඩාත් හොඳින් වැජඹීමය.

 

Comments