
“මං රාජපක්ෂවරුන්ට කඩේ යන්නේ නැහැ. නමුත් කිවයුතු දේ කිව යුතුයි. තීරණාත්මක අවස්ථාවකදී මේ රට බේරා ගැනීමට රාජපක්ෂවරුන් තුන්දෙනෙකු දායක වුණා. ඒ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ. මේ කොරෝනා අභියෝගයත් යුද්ධය ජයගත්තා වගේ ජයගන්න කටයුතු කරන්න ඕන” යනුවෙන් ප්‍රකාශ කළේ බෙල්ලන්විල රජමහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන නාහිමිපාණන් ය.
මුළු සමාජයේම අවධානය කොවිඩ් - 19 හෙවත් කොරෝනා ගැන යොමුවී සිටියදී එක පාරටම මුළු දේශපාලන ක්ෂේත්‍රයම බැසිල් රාජපක්ෂ ගැන කතා කිරීමට පටන් ගත්තේ ඇයි?
බැසිල් භීතිකාවක් දේශපාලනිකව ඇතිවී තිබෙන්නේ කාටද? වැඩිපුරම බැසිල් භීතිකාව ඇතිවී තිබෙන්නේ සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂයටයි.
බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපතිවරයාට සහ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට ශක්තියක් වන බව දන්නා සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක ඇතුළු විපක්ෂය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණෙනවාට කොහොමත්ම කැමති නැත.
“බැසිල් ආවොත් තෙල් මිල අඩු වෙනවාද? බැසිල් ඇලඩින්ගේ පුදුම පහනද?” යනුවෙන් විපක්ෂය කෑ කෝ ගසන්නේ ඇයි?
මීට සති 2 කට පමණ පෙර තෙල් මිල වැඩි වූ අවස්ථාවේ සිට විපක්ෂය විසින් සටන් පාඨයක් නිර්මාණය කළේ බැසිල් ආවොත් තෙල් මිල අඩු කරන බවයි.
බැසිල්ගේ පැමිණීම ගැන හොඳටම බියවී සිටින විපක්ෂයට අවශ්‍ය වී ඇත්තේ බැසිල් මුදල් ඇමැති ධුරයේ දිවුරුම්දීමටත් පෙර බැසිල් තෙල් මිල අඩු කරාවි යන සටන් පාඨය ජනගත කිරීමටය.
තෙල් මිල ගැටලුව
බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් පසුගිය 08 වැනිදා සිට විපක්ෂය ජප කළ මන්ත්‍රය වන්නේ “කෝ බැසිල් තෙල් මිල අඩු කළාද?” යන්නයි. තෙල් මිල මේ අවස්ථාවේදී ප්‍රායෝගිකව අඩු කිරීමට නොහැකි බව දන්නා විපක්ෂය බැසිල් තෙල් මිල අඩු කරාවි යනුවෙන් ප්‍රකාශ කරන්නේ ඇමැති ධුරය බාර ගැනීමටත් පෙර බැසිල්ට ප්‍රහාර එල්ල කිරීමටය.
බෙල්ලන්විල නාහිමියන් ප්‍රකාශ කළ ආකාරයට ලෝකයේ දරුණුම අභියෝගවලට ශ්‍රී ලංකාව මුහුණදුන් අවස්ථාවේදී රට ගොඩගැනීම සඳහා මහින්ද රාජපක්ෂට බැසිල් රාජපක්ෂ උපරිම ශක්තියක් ලබාදුන්නේය.
රටේ කෘෂි කර්මාන්තය, දේශීය ආර්ථිකය, ජනතාවගේ අත මිට සරු කිරීම ඇතුළු රටේ ආර්ථික ජීවනාලිය නගා සිටුවීම සඳහා බැසිල් රාජපක්ෂ 2009 වසරේ සිට ක්‍රියා කළේ එක් පැත්තකින් ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදය පරාජය කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හා එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂයන් ක්‍රියා කරමින් සිටින අතරතුරදීයි.
යුද්ධය පමණක් ද? නැත. යුරෝපය ඇතුළු බොහෝ රටවල බැංකු පද්ධතිය කඩා වැටී ආර්ථිකය කඩාගෙන වැටෙන විට, ලෝක වෙළෙඳ පොළෙහි බොර තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 140 පමණ ඉහළ වනවිට ලෝක ආහාර අර්බුදයක් ඇතිවන විට මෙරට කිසිදු ගැටලුවකට මුහුණ නොදී ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදය වන කොටි ත්‍රස්තවාදය මුළුමනින් ම පරාජය කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍යවරයා වශයෙන් දායකවීම ඕනෑම කෙනෙකු පිළිගන්නා කාරණයකි.
2005 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ පරාජය කරමින් මහින්ද රාජපක්ෂ බලයට පැමිණෙන විට එවකට පැවති විපක්ෂය කියා සිටියේ කොටි දිගට හරහට ගහන්න පටන් ගන්නා විට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට රට ඉදිරියට කරගෙන යාමට නොහැකි වන බවයි.
නමුත් කැබිතිගොල්ලෑවේදී ක්ලේමෝ බෝම්බයක් මඟින් බස් රථයක් පුපුරවා කුඩා දරුවන් ඇතුළු සාමාන්‍ය ජනතාව විශාල සංඛ්‍යාවක් කොටි සංවිධානය විසින් ඝාතනය කර තිබියදී කොටියාට තේරෙන භාෂාවෙන් පිළිතුරු ලබාදීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තීරණය කරන්නේ යුද්ධය දරුණු වුවහොත් ආර්ථිකය බලාගැනීමේ වගකීමෙන් කොටසක් බැසිල් රාජපක්ෂ වෙත පවරමිනි.
බැසිල් රාජපක්ෂට රටේ ආර්ථිකය නගා සිටුවීමේ වගකීම එසේ බාරදෙන විට ආරක්ෂක අංශ කළමනාකරණය කරගෙන යුද්ධයට සාර්ථකව මුහුණදීමේ වගකීමේ කොටසක් පැවරුණේ එවකට ආරක්ෂක ලේකම්, වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂටය.
බෙල්ලන්විල නායක හිමි ධම්මරතන හිමියන් සඳහන් කරන ආකාරයට එදා මෙන් යළිත් කොරෝනා වසංගතය නමැති ලෝක වසංගතයක් රට හමුවේ පවතී.
මෙම අභියෝගය ජයගතහොත් තවත් කාලයක් දිග හුස්මක් ගන්නා සේ රට තුළ යහපත් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව උදාවේ.
මෙම තත්ත්වය දන්නා විපක්ෂයට කෙසේ හෝ අවශ්‍ය වී ඇත්තේ කොරෝනා වසංගතයෙන් හෝ තමන්ට වසන්තය උදා කරගැනීම සඳහායි.
සමාජ ජාලාවලට සල්ලි
කොරෝනා තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් පහවී රට යළිත් ක්‍රම ක්‍රමයෙන් ස්ථාවර වනවාට විපක්ෂය අකමැති ය.
රට යළි ස්ථාවරයට පත්වීමේ ක්‍රියාවලියේදී මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂට සුවිශේෂී කාර්ය භාරයක් සිදු කළ හැකි බව විපක්ෂය වඩාත් හොඳින් දනී.
ඒ නිසා විපක්ෂයට අවශ්‍ය වූයේ බැසිල් යළි පාර්ලිමේන්තු පැමිණීමේ ගමන් මඟ දිනකින් හෝ කල් දැමීමට ය.
ඒ සඳහා සමාජ මාධ්‍ය ජාලා මුදල්වලට ද ගෙන පාලනය කිරීමට විපක්ෂයේ ඇතැම් පිරිස් ප්‍රබල උත්සාහයක් ගන්නා අයුරු පසුගිය කාලයේදී දැකගත හැකි විය.
නමුත් අභියෝගවලට මුහුණදී ඒවා බොහොමයක් ජයගෙන සිටින බැසිල් රාජපක්ෂට කොරෝනාවලින් රට යළි ගොඩගැනීම යම් අභියෝගයක් වුව ද, එය සාර්ථක කරගැනීමට අවශ්‍ය උපදෙස් දැන් සිටම ක්‍රියාත්මක කිරීමට ඔහු තීරණය කර තිබේ.
රටේ ජනතාවට අවශ්‍ය ප්‍රායෝගික විසඳුම් ලබාදී නිර්මාණශීලීව වැඩ කටයුතු සිදු කිරීමට බැසිල්ට එදා සිටම තිබුණේ සුවිශේෂී හැකියාවකි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි කොට ඊට 2/3 ක පාර්ලිමේන්තු බලයක් ලබාගැනීමට එහි තිරය පිටුපස මෙහෙයුම්කරු ලෙස නිහඬ සේවාවක් ඉටු කළේ බැසිල් රාජපක්ෂ බව අමුතුවෙන් කිවයුතු නොවේ.
ඒක නිසා විපක්ෂයට අවශ්‍ය වී ඇත්තේ කෙසේ හෝ රාජපක්ෂවරුන්ට ප්‍රහාර එල්ල කිරීමටය. සමගි ජනබලවේගයේ එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් දිනයේදී මෑතකදී විපක්ෂයේ සිට ආණ්ඩුවට එක්වූ මුස්ලිම් ජනතා නියෝජිතයෙකු සමඟ මෙසේ ප්‍රකාශ කර තිබුණි.
“රනිල් ආව එකෙන් ටිකක් අප්සෙට් ගහලා ඉන්න ලොක්කා, බැසිල් ආව එකෙන් හොඳටම අප්සෙට් ගහලා” යනුවෙන් එම සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කොට තිබුණි.
බැසිල්ගේ දස්කම් ගැන විපක්ෂයට බියක්
“ඒ ඇයි” යනුවෙන් ආණ්ඩුවට මෑතකදී එක්වූ මුස්ලිම් ජනතා නියෝජිතයා විමසා තිබුණේ මොකක්ද මේ බැසිල් භීතිය කියන කාරණය දැනගැනීමේ අදහසිනි.
“මේකනේ... දැන් ආණ්ඩුවේ එකසිය පනස් ගණනක් මන්ත්‍රීවරුන් ඉන්නවා. එකසිය පහළොවක්, එකසිය විස්සක් වගේ ඉන්න ආණ්ඩුවක් නොවෙයි. එකසිය පනස් ගණනක් මන්ත්‍රීවරුන් සතුටු කරමින් ආණ්ඩුවේ තියාගන්න එක ලෙහෙසි නැහැ.
දැන් බැසිල් ආවම ආණ්ඩුවේ කළ කිරෙන මන්ත්‍රීවරුන්ට මොනවා හරි ප්‍රතිපාදන නැත්නම් වගකීම් පවරලා තියා ගනීවි. එතකොට ආණ්ඩුවෙන් කට්ටියක් ගන්න එක විපක්ෂයට ලේසි වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවි. තවත් දේකට අපේ ලොක්කෝ බයවෙලා.” යනුවෙන් සමගි ජනබලවේගයේ එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තරමක් කුතුහලයෙන් ප්‍රකාශ කර ඇත.
එම කාරණය පිළිබඳව දැන ගැනීමට ද ආණ්ඩුවට මෑත කාලයේදී එක්වූ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට තිබුණේ ද දැඩි කුතුහලයකි.
“බැසිල් කියන්නේ එක පැත්තකින් ඡන්ද මැෂිමක්. අනෙක් පැත්තෙන් හොඳ සංවිධායකවරයෙක්. සේරටම වඩා ඔළු ගෙඩි එහාට මෙහාට කරන්න බැසිල් අති දක්ෂයෙක්. ඒක නිසා විපක්ෂයෙන් කට්ටියක් කොයි වෙලාවක හෝ බැසිල් මැදිහත්වෙලා ආණ්ඩුවට ගනීවිද කියලත් අපේ ලොක්කන්ට දැන් බයක් ඇතිවෙලා” යනුවෙන් එම සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය.
රනිල් මදිවට බැසිලුත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා යනුවෙන් යම් තිගැස්මක් සමගි ජනබලවේගයේ ප්‍රධානීන්ට ඇතිවී තිබීම සාධාරණයි. බැසිල් සමඟ සුළු පක්ෂවල ජනතා නියෝජිතයන් එදා සිටම යම් හිතවත්කමකින් සිටින අතර එය ඉදිරියේදී සමගි ජනබලවේගයට යම් අවාසියක් වීමට ද පුළුවනි. බැසිල් භීතිකාවත්, දැඩි බැසිල් විරෝධයත් සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයට ඇති වී තිබෙන්නේ මෙම කාරණය නිසා බව රහසක් නොවේ.
සුළු පක්ෂවල හිතවත්කම
‘දිවි නැඟුම’ බැසිල්ගේ ආර්ථිකයේ මූලික හරය බව කීවොත් එය නිවැරැදි ය.
දිළිඳු පවුල් නගා සිටුවීම, අසරණ ජනතාවගේ ජන ජීවිතය නගා සිටුවීම, එම වැඩසටහන්වලට ඔවුන් ප්‍රායෝගිකව සම්බන්ධ කොට ‘දිවි නැගුම’ වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වඩා ප්‍රායෝගික බව බැසිල් රාජපක්ෂ තම අත්දැකීම්වලින් ම හොඳින් දනී.
අපේ රටේ බොහෝ කාලයක් තිස්සේ පැවතෙන්නේ සහනාධාර මානසිකත්වයකි. හැමවිටම සහනාධාර ලබාදී සහනාධාර මානසිකත්වයක් සකස් කළ විට එම අසරණ ජනතාව ද හැමවිටම සිතන්නේ සහනාධාර නැතුව ඔවුන්ට ගොඩ ඒමට බැරි බවයි.
නමුත් හැමදාම සහනාධාර ලබා දෙනවිට හැමදාමත් කිසිදු ගොඩ ඒමක් නොමැතිව සහනාධාරවලින් ම ජීවත්වීමට පුරුදු වේ.
‘දිවි නැගුම’ හා ජන ජීවිතය
ජනසවිය, සමෘද්ධිය වරදක් නැත. නමුත් සහනාධාරම පමණක් නොමැතිව එම දිළිඳු සහන වැඩසටහන්වලින් ඔවුන්ගේ ජන ජීවිතය ගොඩනැංවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට බැසිල් රාජපක්ෂට හැකි විය.
සහනාධාර මානසිකත්වයෙන් මිදී ජන ජීවිතය නගා සිටුවීම සඳහා ‘දිවිනැගුම’ වැඩසටහන බැසිල් රාජපක්ෂ විසින් ක්‍රියා කළේ ඒ අනුවයි.
ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේත්, මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේත් උපදෙස් හා සහාය, මඟ පෙන්වීම නිතරම බැසිල්ට හිමිවීම ද ආශිර්වාදයකි.
එදා කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගැනීම සඳහා මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක වෙද්දී රටේ ආර්ථිකය තුළ ගැටලුවක් ඇති නොවීමට බැසිල් යම් ආකාරයකට මැදිහත් වූවා සේ මෙවර කෝවිඩ් - 19 හෙවත් කොරෝනා ලෝක වසංගතයෙන් රටේ ආර්ථිකය බේරා ගැනීමේ අභියෝගාත්මක වගකීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත්, මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාත් විසින් බැසිල් රාජපක්ෂට බාරදී තිබේ.
බැසිල් කවදාවත්ම අභියෝගවලට බිය නොවූ දේශපාලනඥයෙකි. අභියෝගවලට මුහුණදී එමඟින් ජය ලබාගෙන සාර්ථකත්වයට පත්වීම රාජපක්ෂලාගේ හැටිය. රාජපක්ෂලා ජනතාවගේ ආදරය ලබාගැනීමේ රහස ප්‍රබල අභියෝගවලට සාර්ථකව මුහුණදීමයි.
මහින්ද, ගෝඨාභය, බැසිල් පමණක් නොව නාමල් ද ගමන් කරන්නේ අභියෝගවලට මුහුණදෙමින් ගමන් කරන මාර්ගවලය.
ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ වසර ගණනාවක් තිස්සේ පැවතුණු අර්බුද මේ වනවිට හොඳටම ඔඩුදුවා ඇත. ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා ක්ෂේත්‍රයේ අංශ රැසක තත්ත්වය එසේය.
ක්‍රීඩා ගැටලුවලට විසඳුම්
නමුත් ක්‍රිකට් ඇතුළු මෙම ක්‍රීඩාවල ඔඩුදුවා ඇති පිළිකාව සුව කිරීමේ අභියෝගය නාමල් රාජපක්ෂ විසින් මේ වනවිට බාරගෙන ඇත.
අවයව වලට හානියක් සිදු නොකර පිළිකාව ඉවත් කිරීමට ක්‍රියා කරන වෛද්‍යවරයකු මෙන් ක්‍රීඩාවට හානියක් නොවී එම පිළිකාව ඉවත් කර ක්‍රීඩාව පෝෂණය කිරීමේ අභියෝගය ජය ගැනීමට නාමල් ඉදිරිපත් වී සිටීම අගනේය.
එම අභියෝග ජය ගැනීමෙන් ලැබෙන ජනතා ප්‍රතිචාරය හැමදාමත් පවතින බව රාජපක්ෂවරු ඉතා හොඳින් දනිති.
සමහර දේශපාලනඥයින් අභියෝගවලට අකමැතිය. ඔවුන් සිතන්නේ අභියෝග භාරගැන්ම අනවශ්‍ය කරදරයක් බවයි. අහක යන නයි ඔඩොක්කුවේ දාගන්නේ මොකටදැයි යන සිතුවිල්ලෙන් එම දේශපාලනඥයන් කටයුතු කරන විට ඔවුන්ට ජනතාවගෙන් ආකර්ෂණයක් ලබාගැනීමට අපහසු ය.
අභියෝගවලට මුහුණදී ජනතා ගැටලු විසඳා ඔවුන්ගෙන් සැමදාම ආදරය ලබාගත හැකි බව මෑත ඉතිහාසයේ ඔප්පු කළ එකම නායකයා මහින්ද රාජපක්ෂයි.
විධායක ජනාධිපතිවරුන් සිවුදෙනෙකු අත නොගැසූ ත්‍රස්තවාදය අවසන් කිරීමට කෙතරම් අභියෝග පැමිණිය ද මහින්ද රාජපක්ෂ එයට අත ගැසුවේ රාජපක්ෂවරුන්ගේ තිබෙන අභියෝගවලට මුහුණදීමේ ශක්තිය හොඳින්ම පෙන්වමිනි.
එම අභියෝගවලට මුහුණදීමේ හැකියාව හා ශක්තිය ගෝඨාභය රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ පමණක් නොව නාමල් රාජපක්ෂ ද සතුව පවතී.
මුදල් අමාත්‍යාංශයේදී මුදල් අමාත්‍ය ලෙස වැඩ බාරගත් බැසිල් රාජපක්ෂ අභියෝගවලට බිය නොවන බව ප්‍රකාශ කළේ ය.
කොරෝනා ලෝක වසංගතය හේතුවෙන් මුළු ලෝකයේම ආර්ථිකය කඩාගෙන වැටුණු බව රහසක් නොවේ.
මුළු ලෝකයටම ඇඳිරි නීතිය පැනවූවා සේ කාලයක්ම පැවතීම නිසා රටවල් බොහෝමයක ආර්ථිකය කඩාගෙන වැටුණු අතර ඒ ඇර ප්‍රධාන රටවල් මෙන් ම ආර්ථික වශයෙන් ම ප්‍රබලව පැවතුණු රටවල්, බලවත් රටවල් ද විය.
රට වසා දැමූ කාලයේ එක් දිනකදී මෙරටට සිදුවූ පාඩුව රුපියල් කෝටි ගණනකි.
එවැනි තත්ත්වයක් තිබියදී රටේ ආර්ථිකය යළි ගොඩනැගීම අභියෝගයකි. රජයට තිබුණු ආදායම් මාර්ග අඩු වී ඇත.
ජනතාවට ලබාදුන් බදු සහන ආපසු හැරවිය නොහැක. කොරෝනාවෙන් පීඩා විඳින ජනතාවට සහන ලබාදිය යුතුයි. රුපියල් 5000 පවුල් ලක්ෂ 30 කට අධික ගණනක් තුන් හතර පාරක් ලබාදී ඇත.
ඊට අමතරව කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම, PCR හා ඇන්ටිජන් පරීක්ෂා කිරීම, නිරෝධායන කටයුතු, එන්නත් ගෙන්වීම, එන්නත්කරණය ඇතුළු සේවාවන් රැසකට විශාල මුදලක් ගෙවන්නේ ද රජය විසිනි.
රටේ ආර්ථිකය යළි ගොඩනැංවීම
මීට අමතරව රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් , රාජ්‍ය අංශ නඩත්තු කිරීම ඇතුළු එම කටයුතු වෙනුවෙන් ද රුපියල් බිලියන ගණනක් වැය වේ.
මෙවැනි තත්ත්වයන් යටතේ රටේ ආර්ථිකය යළි ගොඩනැංවීම අභියෝගයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.
මුදල් අමාත්‍යාංශයේ වැඩ භාරගත් අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා කියා සිටියේ රෙට් පොදු මහජනතාවගේ ප්‍රමුඛතාව තමාගේත් ප්‍රමුඛතාව බවයි. කෙතරම් ප්‍රබල අභියෝගයක් වුව ද “මට බැහැ, මං දන්නේ නැහැ. මට අමාරුයි” යනුවෙන් බැසිල් රාජපක්ෂ ප්‍රකාශ නොකළ අතර ඔහු ප්‍රකාශ කළේ කෙතරම් අභියෝගයක් වුවත් තමා එය භාරගන්නා බවයි.
රාජපක්ෂවරුන්ගේ අභියෝග ජයගැනීම
“මීට වඩා බැරෑරුම් තත්ත්වයන්ට රට මුහුණදීලා තියෙනවා. එක්තරා අවස්ථාවකදී මේ රට ආර්ථික ලෙස දැනට වඩා ඉතා අමාරු තත්ත්වයකට පත්වුණා. ආරක්ෂක අංශ දැවැන්ත අභියෝගයකට මුහුණදී සිටින අවස්ථාවක ආර්ථික වශයෙන් ද අමාරු තත්ත්වයකට පත් වුණා. අපිට ඒ අවස්ථාවේ පී.බී. ජයසුන්දර මහතා ද විශාල ශක්තියක් වුණා.
අද වැඩ කරන ජනතාව සියලු දෙනාගේ ම සහාය අපට අවශ්‍ය වෙනවා. ඇමැතිවරයෙකුට වඩා රටේ ජනතාවගේ සඟයකු ලෙස වැඩ කරන්න මම සූදානම්.
ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ සහ මැති ඇමැතිවරුන්ගේ සහායත් අපි අපේක්ෂා කරනවා. ඒ වගේ ම පළාත් සභාවල, පළාත් පාලන ආයතනවල සියලු දෙනාගේම සහාය අපේක්ෂා කරනවා. පොදු ජනතාවගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ඔවුන්ගේ ප්‍රමුඛතාව අපේ ප්‍රමුඛතාව වෙනවා. සමහරවිට පියෙක් වගේ අමිහිරි දේවල් ද කරන්න වෙයි.” යනුවෙන් ද බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.
දැන් විපක්ෂයට ප්‍රශ්නයක් වී ඇත්තේ “පියෙක් වගේ අමිහිරි දේවල් ද කරන්න වෙයි” යනුවෙන් බැසිල් රාජපක්ෂ කළ ප්‍රකාශයයි.
ඕනෑම අභියෝගයකදී යම් යම් කැපකිරීම් කිරීමට සියලු දෙනාට සිදුවේ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක කළ අවස්ථාවේදී ද මුළු රටම එකාවන්ව කැපකිරීම් සිදුකළ බව රහසක් නොවේ.
කොරෝනා ලෝක වසංගතයෙන් රටේ ආර්ථිකයට ප්‍රබල බලපෑමක් එල්ල කර තිබියදී ඒ වෙනුවෙන් රටම කැපකිරීම් කළ යුතු බව සත්‍යයකි. එම සත්‍යයට මුහුණදීම සඳහා රටම පෙළ ගැසෙමින් සිටින විට විපක්ෂයට අවශ්‍ය වී ඇත්තේ කොරෝනාව දේශපාලනිකව ඔවුන්ට ගරානාවක් කර ගැනීමටයි.
බැසිල් රාජපක්ෂට දැන් යළිත් වරක් අමාත්‍යවරයකු ලෙස වැඩ පෙන්වීමේ අවස්ථාව උදාවී තිබේ. කොටි ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් අනතුරුව උතුරු වසන්තය සහ නැගෙනහිර නවෝදය තුළින් උතුරු නැගෙනහිර පළාත් විශාල ලෙස සංවර්ධනය කිරීමට පියවර ගනු ලැබුවේ බැසිල් රාජපක්ෂ විසිනි.
ක්‍රමෝපායන් සැලසුම් කිරීමේදී බැසිල්ට සුවිශේෂී හැකියාවක් තිබේ.
මහවැලියේ සිට දිවෙන බැසිල්ගේ පන්නරය
කාලයක් ගාමිණී දිසානායක සමඟ වැඩ කරමින් කඩිනම් මහවැලි ව්‍යාපාරයේද යම් යම් අත්දැකීම් ලබාගැනීමට බැසිල් සමත් වූයේය.
2005, 2010, 2015 ජනාධිපතිවරණවලදී මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරවල ප්‍රධාන මෙහෙයුම්කරු වූවේ ද බැසිල් රාජපක්ෂයි. එසේම 2020 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන මෙහෙයුම්කරු වූයේ ද බැසිල් රාජපක්ෂයි.
2015 දී මහින්ද පරාජය වූ අවස්ථාවේදී ඒ වගකීම භාරගත් බැසිල් යළි 2020 දී මහින්ද - ගෝඨාභය සුසංයෝගය දිනවීමේ අභියෝගය ද භාර ගත්තේ ය.
එම නිසා බැසිල් එක් පැත්තකින් අභියෝගවලට ප්‍රිය කරන, අභියෝගවලට අභියෝග කිරීමට ඉතා කැමැති දේශපාලනඥයෙක් වශයෙන් ද හැඳින්වීමට පුළුවනි.
රාජ්‍ය මන්ත්‍රණ සභාව ආරම්භ කිරීමටත් පෙර සිට රාජපක්ෂවරුන් ගිරුවායට පමණක් නොව මුළු රටටම සේවය කරමින් සිටින්නේ ජනතා සේවය ඔවුන්ගේ ජානවලම තිබෙන නිසාය. ඒ අනුව බැසිල්ට අභියෝගයක් භාරදී ඇත. අභියෝගවලට කැමැති බැසිල් ඉතා කැමැත්තෙන් එම අභියෝගය භාරගෙන ඇත.
අභියෝගවලට ඉතිහාසය පුරාම සාර්ථකව මුහුණදී සිටින රාජපක්ෂවරුන් ඉදිරියටත් බලා සිටින්නේ අභියෝග පැමිණෙන තුරුයි. ඒ රට සහ ජනතාව වෙනුවෙන්. අභියෝගවලට මුහුණදෙමින් ගමන් කරන දේශපාලනය හැමදාමත් ජනතාවගේ හදවත් තුළ පවතිනු ඇත.