සුද්දෙක්ම ගොඩනැංවූ අමෙරිකාවේ වේගේ ජෙසි ඔවන්ස් | සිළුමිණ

සුද්දෙක්ම ගොඩනැංවූ අමෙරිකාවේ වේගේ ජෙසි ඔවන්ස්

 

ජෙසි ඔවන්ස් ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසය තුළ අමතක නොවන නමකි. ඒ 1936 බර්ලින් ඔලිම්පික් උළෙලේ දී ජර්මන් ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් අසීරුතාවට හා අසහනය පත්කරමින් ඔහුගේ නාසි සැලසුම් වලට අතුල් පහරක් එල්ල කිරීම හේතුවෙනි. බර්ලින් ඔලිම්පික් උළෙලේ දී ජෙසි මලල ක්‍රිඩා ඉසව් මගින් රන් පදක්කම් හතරක් දිනා ගනු ලැබිණි. එය බර්ලිනය සතුව ගොඩනගා ගෙන තිබූ අමිශ්‍ර, ආර්ය යැයි කියාගන්නා අභිමානවත් ජාතියේ අභිමානය දවාලීමක් විය. මේ එවන් වීරක්‍රියාවක් කළ ජෙසී ඔවන්ස්ගේ ඇරැඹුම සිදුවූ අයුරුයි.

දිළිදුකමින් පිරි ගිය ජෙසිගේ ජීවිතයට ආලෝකයක් ලැබුණේ ය. ඒ ඔහු මලල ක්‍රීඩාවට යොමු වීමත් සමඟිනි. ඊට ඔහුට අවස්ථාව උදා වූයේ ඔහු අධ්‍යාපනය ලැබු පාසල නිසා ය. විශේෂයෙන් පාසලේ ශාරිරීක සුවතා ගුරුවරයා හේතුවෙනි. හේ සුදු ජාතිකයකු වූ අතර ඔහුගේ නම චාල්ස් රයිලි ය.

මේ සුදු ජාතිකයා තමාට හමු වූ හොඳම සුදු ජාතිකයා බවත්, රයිලි මහතා නොසිටින්නට තමා මලල ක්‍රීඩාවට අවතීර්ණ නොවන බවත් ජෙසි පසුකලෙක ප්‍රකාශ කළේ ය. ඔහු ඒ බව තමාගේ ‘බ්ලැක් තින්ක්’ නම් කෘතියේ සඳහන් කර ඇත.

පාසලේ මලල ක්‍රීඩා කණ්ඩායමට එකතු වන්නැයි රයිලි ගුරුවරයාගෙන් ඔවන්ස් ට ඇරැයුමක් ලැබුණේ ඔහු පස්වැනි ශ්‍රේණියේ උගෙනිමින් සිටිය දී ය. රයිලි ගුරුතුමා තමා තුළ අනාගත ක්‍රීඩා ශුරයකු දැක්කා විය යුතු ය. ඒ අනුව ආරම්භයේ දී අකමැත්තෙන් වුව ද පුහුණුවීම් සඳහා එක්වීමට ජෙසි ක්‍රියා කළේ ය.

‘හැමදාම ඉස්කෝලේ පටන් ගන්න කලින් රයිලි ගුරුතුමා අපිට පුහුණුව ලබාදුන්නා. ඔහු විනාඩි 45 ක කාලයක් අපව පුහුණු වීම වල යෙදෙව්වා. සමහර දවස් වලට ඔහු මට කෑම පවා ගෙනත් දුන්නා. ජෙසි හොඳට කාල ඇඟ හදා ගන්න ඕනෑ කියලත් කිව්වා.’ යැයි ජෙසි පසුකලෙක සඳහන් කොට තිබුණේ ය.

රයිලි ගුරුවරයා සැබැවින්ම ජෙසිට පියෙකු බදු විය. ඔහු තුළ කලු ජාතිකයකු ලෙස තිබූ බය නැති කළේ ද තම ක්‍රීඩා ගුරුතුමා ය. එලෙසම ඔහු ජාතින් අතර තිබූ බැඳියාව සම්බන්ධව සිසුන් තුළ අවබෝධයක් ඇතිකළේ ය. ඔහු නිසා ජෙසි පිරිපුන් මලල ක්‍රිඩකයකු බවටත්, මනුෂ්‍යත්වයෙන් පිරුණු මිනිසකු බවටත් පත් විය. අවසන මේ සුදු ජාතික ගුරුවරයා නිසා ලෝක පූජිත මලල ක්‍රිඩකයකු බිහි වුණේ ය.

ක්‍රිස්ටෝපර් රණසිංහ

Comments