වේගයෙන් තරාතිරමෙන් වසංගතයට බාධාවක් නෑ | සිළුමිණ

වේගයෙන් තරාතිරමෙන් වසංගතයට බාධාවක් නෑ

 

මෙරට මෙන්ම ලොව පුරා යතුරුපැදි ධාවකයන් තමන්ගේ යතුරුපැදියට විවිධ හැඩතල, වර්ණයන් හා විවිධ මෝස්තරයන් එක්කර හැඩ ගන්වන්නට දැඩි රුචිකමක් දක්වති. යතුරුපැදියක් මිල දී ගත් සැණින් බොහෝ තරුණ පිරිසක් තමන්ගේ යතුරුපැදියට නානප්‍රකාර හැඩ තල මෙන්ම වර්ණ එකතු කරන්නේ ධාවන ශූරයකු අනුගමනය කරමිනි. ඉන් වැඩි දෙනෙකු අනුගමනය කරනුයේ ඔහුගේ යතුරුපැදියේ විලාසිතා ය.

ඒ අන් කිසිවකුත් නොව අංක 46 නියෝජනය කරමින් යතුරුපැදි ග්‍රෝන් ෆ්‍රී තරග නියෝජනය කරන ධාවකයා වන ඉතාලි ජාතික වැලන්ටිනෝ රොසි ය. හොන්ඩා, යමහා හා ඩුකාටි යන කණ්ඩායම් තුනම නියෝජනය කරමින් මේ වන විට ලෝක ශූරතා 7 ක් දිනා ඇති වැලැන්ටිනෝ රොසි වත්මනේද යතුරුපැදි ධාවන පථයේ දක්ෂතා අතර සිටින අති දක්ෂ ධාවන ශූරයෙකි.

රොසි සිය යතුරු පැදි දක්ෂතාව පිය උරුමයෙන් තමන් සතු කරගත් ක්‍රීඩකයෙකි. ඔහුගේ පියා ග්‍රාසියානෝ රොසි ද යතුරුපැදි ධාවකයෙකි. වැලැන්ටිනෝ ඉතාලියේ උර්බිනෝ මර්චේ නුවර දී උපන් අතර ඒ 1979 පෙබරවාරි 16 වැනි දා ය. පසුව රොසි පවුල උර්බිනෝ මර්චේ නුවර හැරදමා ටාවුලියා නුවරට සංක්‍රමණය විණි. ඒ් වනවිට රොසි ඉතා කුඩා දරුවකු විය.

වයස අවුරුදු 10 දී කාර්ටින් තරග වලට ප්‍රිය කළ ඔහු කාර්ටිං ධාවන පථයට පිවිසුණේ ය. පුතුගේ ආරක්ෂාව ගැන සැලැකිලිමත් වූ රොසිගේ මව ස්ටෙෆනියා 60 සී.සී. කාර්ටිං මෝටර් රථයක් ඔහුට ත්‍යාගයක් වශයෙන් ලබාදුන්නීය.

පියා විසින් එම රථය 100 සී.සී. දක්වා වැඩිදියුණු කර වේගය වැඩිකරනු ලැබිණි. කුඩා රොසි ඒ රථය උපයෝගී කරගනිමින් පුහුණුවීම් හි යෙදී දැඩි විනෝදාස්වාදයක් ලැබීය. ඒ අයුරින් ධාවන පථයට පිවිසෙන රොසි තම මුල්ම ජයග්‍රහණය වන කලාපීය කාර්ටිං ශුරතාව හිමි කර ගත්තේ 1990 දී ය. ඒ යන්තමින් ඔහුගේ වයස අවුරුදු 12 සම්පූර්ණ වන විට ය. එතැනින් නොනවතින රොසි 1991 වසර අවසානයට පෙර කාර්ටිං තරගාවලි ගණනාවක් ජය තමන් සන්තක කර ගත්තේ ය.

රොසි තම පියා හා එකට තරග වැදී 100 සී.සී. තරගාවලි නියෝජනය කරමින් ජයගෙන තිබීම විශේෂත්වයකි. තම පුතු 'ෆෝමියුලා වන්' තරග සඳහා යොමු කිරිමට උවමනා වුවත් ඒ සඳහා වැය වන අධික පිරිවැය ඊට හරස් විණි. එහෙත් රොසි මිනි මෝටෝ තරග සඳහා යොමු කරවීමට පියාට හැකි වන්නේ ඒ අතර ය.

කෙසේනමුත් රොසි හට 125 සී. සී. යතුරු පැදියක් පැදවීමේ පළමු අවස්ථාව හිටපු ලෝක ශූර පාවුලෝ පිලෙරි විසින් ලබා දුන්නේ ය. පසුව 13 න් හැවිරිදි වියේ පසුවූ රොසි පාවුලෝ ගේ පියා වන වර්ජිනියෝ ෆෙරාජී, ක්ලෝයෝ කැස්ටිග්ලියෝනි සහ කැගිවා කර්මාන්තශාලා ධාවන කණ්ඩායම් කළමනාකරු වෙත යොමු කරනු ලැබුණේ ය.

125 සී.සී.කාණ්ඩය නියෝජනය කරමින් කැගිවා මිටෝ හි දී තරගාවලියට එක්වන රොසි පළමු ධාවන වංගුවේ සිට මීටර් සියයකට වඩා වැඩි නොවූ දුරක දී අනතුරකට භාජනය වූ අතර එම අනතුරෙන් ඔහුගේ යතුරු පැදියටද දැඩි හානි සිදුවිය. එම තරගාවලියේ දී ඔහුට ප්‍රසාද ලකුණු සටහනේ 9 වැන්නා ලෙස ස්ථාන ගත වීමට සිදුවුණේ ය.

ඉතාලි ක්‍රීඩා නිෂ්පාදන ශූරතා තරගාවලියේ ඔහුගේ පළමු වාරය එතරම් විශිෂ්ට එකක් නොවූවත් ඔහු මිසානෝ හි පැවැති මෙම කාණ්ඩයේ අවසන් තරගයේ දී ඉදිරි ස්ථානයකට පැමිණියේ ය. දෙවැනි වසර වන විට වැලන්ටිනෝ රොසිට මිටෝ කර්මාන්ත ශාලාව හරහා ඉතාලි ශූරතාව දිනා ගැනීමේ අවස්ථාව උදාවිණි. එසේ ලෝක ශුරතා තරගාවලිය කරා පැමි-ණෙන වැලන්ටිනෝ රොසි ලෝක ශුරතා 7ට අමතරව 250 සී.සී. ලෝක ශූරතා අංශයෙන් ද 1998 -1999 වසරවලදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීය. 1996 – 1997 වසරවල දී 125 සී.සී. කාණ්ඩයෙන් ද ලෝක ශූරයා විමේ අවස්ථාව ද වැලන්ටිනෝ රොසි හිමි කර ගත්තේ ය.

ලොව මෙතෙක් බිහිව ඇති අතිදක්ෂ ධාවකයකු ලෙස සැලකෙන වැලන්ටිනෝ රොසි කොතරම් වේගවත් ධාවකයෙක් වුවද කොවිඩ් වසංගතයෙන් බේරීමට අසමත් වූයේ ය. කෙසේ නමුත් දැන් ඔහු සුවය ලබා ඇතැයි ඉතාලියෙන් ලැබෙන වාර්තා සඳහන් කළේ ය.

 

 

ගීෂා මුණසිංහ

Comments