උස, බර, දුර හා කාලය අනුව ක්‍රීඩා පිටියේ දී වාර්තා පිහිටුවිය හැකි ය. එම වාර්තාවන් ද වයස් කාණ්ඩ වශයෙන් තරගාවලි වශයෙන් ජාතික වශයෙන් හා ලෝක වශයෙන් බෙදා වෙන් කර දැක්වීම සාමාන්‍ය සිරිතය.
කුමන මට්ටමක හෝ වාර්තාවක් ගොඩනැඟෙන්නට උපරිම දක්ෂතාවක් අත්‍යාවශ්‍යය. එසේ වුවත් මෙම වාර්තාවන් අතර ඉහළම වටිනාකම හිමිවන්නේ ලෝක වාර්තාවන්ටය.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් සෑම අවස්ථාවක ම වාගේ උත්සාහ කරන්නේ උපරිම දස්කම් දැක්වීමට බැවින් වාර්තා පිහිටුවීමට සමාන වේගයකින් වාර්තා බිඳ වැටීමක් ද දක්නට ඇත.
ක්‍රීඩා පිටිය තුළ වාර්තාවල ආයු කාලය එවන් පසුබිමක් තුළ නිර්මාණය වී තිබිය දී රිදී ජුබිලියක් සපුරන ලෝක වාර්තාවක් පිළිබඳව සඳහන් කිරීම අගනේය.
රිදී ජුබිලය සැමරීමට හැකියාව ලැබෙන්නේ පුරා වසර 25 ක් නොබිඳී පවතින ලෝක වාර්තාවකට ය. ඒ අනුව පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා පිහිටුවා ඇති ලෝක වාර්තාවට මේ වන විට රිදී ජුබිලිය සැමරීමට අවකාශ හිමිව තිබේ.
චෙක් ජනරජයේ ජාන් සෙලෙස්ති නම් ක්‍රීඩකයා 1996 වසරේ පිරිමි හෙල්ල විසි කිරීම ඉසව්ව වෙනුවෙන් එකී වාර්තාව සටහන් කර ඇත්තේ මීටර් 98. 48 ක් දුරක් හෙල්ලය විසි කිරීමෙනි.
මේ වන විට මීටර් 90 ඉක්මවා හෙල්ල විසි කරමින් දස්කම් පෙන්වා ඇති අවස්ථා 20 ක් වාර්තා පොතට ඇතුළත්ව තිබේ. එහි දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ පසුගිය වසරේ මීටර් 97.76 ක දුරක් සටහන් කරන ලද ජර්මන් ක්‍රීඩක ජොහැන්නස් වෙටර්ටය.
හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගී වන ක්‍රීඩකයන් අතර ජාන්ට අද්විතීය ස්ථානයක් හිමි විය යුතු බවට දිය හැකි හොඳම සහතිකය වන්නේ මේ ඉසව්වේ 03 වැනි 04 වැනි හා 05 වැනි දක්ෂතාද ඔහුගේ වීම නිසාවෙන්ය.
ඒ හැරුණු විට ඔහු 1997 වසරේ දකුණු අප්‍රිකාවේ පැවැති තරගාවලියක හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගී වී ඔහුගේ උත්සාහයන් පහක්ම 90 සීමාව ඉක්මාව වාර්තා කර තිබීම ද අගය කළ යුතු දක්ෂතාවයකි.
පළමු වරට 1988 ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සහභාගී වී රිදී පක්කමක් දිනාගෙන ජාන් 1992, 1996 හා 2000 යන ඔලිම්පික් ක්‍රීඩා උලෙළවල දී රන් පදක්කම් දිනා ගන්නට සමත්ව සිටි අතර 1993, 1995 හා 2001 යන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරග මාලාවන් හි දී රන් පදක්කම් දිනා ගෙන ඇත.
ජාන් සෙලෙන්සි සටහන් කර ඇති එම ලෝක වාර්තාව කිසිවෙකුටත් බිඳ හෙළිය නොහැකි එකක් ලෙස සඳහන් කළ නොහැකි සේම එම වාර්තාවේ මීළඟ හිමිකරුවා කවුරුන් වේ දැයි හෝ කවදා බිහි වේ දැයි කියා හෝ අනුමාන කිරීමද කළ නොහැකි ය.
සීවලී එදිරිවීර










