
අම්මලා කොහොමත් රත්තරං ය. සියයට සියයක් රත්තරං නොවූවත් සියයට අනූ නවයයි දශම නවයක් අම්මලා රත්තරං ය. ඉඳහිට ඊට ව්‍යතිරේකයන් ද තිබෙන්නට පිළිවන් නිසා අප එය එසේ යැයි පවසන්නට මැළි වන්නේ නැත. අම්මලාට දරුවන්ට එහා ගිය වටිනාකමක් නැති තරම් ය. එහෙත් තම දරුවන්ට අමතරව ලෝකයේ අසිරිමත්ම ක්‍රීඩා උලෙළ වන ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ වාර්තා තැබූ අම්මලා සුළුතරයක් ද සිටී. මේ එවැනි අම්මලා ගැන තැබෙන කෙටි සහනකි. එය සියලු අම්මාවරුනට ගෞරවයක් පිණිස තබන්නකි.

ඉගිළෙන ගෘහණිය
මේ ඔලිම්පික් ගිය අම්මලා අතර විශිෂ්ටතම ශූරියකි. ඇය නෙදර්ලන්තයේ ෆැනි බ්ලැන්කර්ස් කොයින් ය. ෆැනි 1948 ලන්ඩන් ඔලිම්පික් උලෙළේ දී රන් පදක්කම් හතරක් දිනා ක්‍රීඩා ඉතිහාසයට නමක් තැබූවා ය.
තනි ඔලිම්පික් උලෙළක දී වැඩිම රන් පදක්කම් දිනූ මලල ක්‍රීඩිකාව වන්නේ ඇයයි. එම රන් පදක්කම් මීටර් 100, මීටර් 200, කඩුලු පැනීම සහ මීටර් 100 සහය දිවීමේ ඉසව්වලින් වාර්තා විය.
ෆැනි ඔලිම්පික් පදක්කම් දිනන විට 30 හැවිරිදි දෙදරු මවක් වූවා ය. 1999 දී ලෝක මලල ක්‍රීඩා සංගමය 20 වන සියවසේ “ශුරතම මලල ක්‍රීඩිකාව” ලෙස සම්මානයට පාත්‍රවිය. ඈ මෙලොවින් සමුගත්තේ 2004 වසරේදී ය.
විස්මිත කළු දුවන්නිය
කුඩා කල පෝලියෝ රෝගයට ගොදුරුව පසුව ඉන් සුවය ලබා වයස 16 දී එක්සත් ජනපද මලල ක්‍රීඩා කණ්ඩායමට සුදුසුකම් ලැබූ ඇය විල්මා රුඩොල්ෆ්ය. 1956 දී ප්‍රථම වතාවට ඔලිම්පික් ගිය ඇය සහය දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම් දිනුවා ය. ඇයගේ විශිෂ්ටතම ජයග්‍රහණය වාර්තා වුණේ 1960 ඔලිම්පික් උලෙළේ දී ය. ඒ මීටර් 100, මීටර් 200 සහ සහය දිවීමෙන් රන් පදක්කම් තුනක් හිමි කර ගනිමිනි. එවිට ඇය කුඩා දියණියකගේ මවක් වුවාය. විල්මා 1994 දී මෙලොවින් සමු ගත්තා ය.
පියාසලන ඔස්ට්‍රේලියාවේ කිරිල්ලිය
ඇය ඔස්ට්‍රේලියාවේ ෂර්ලි ඩිලාහන්ටි ය. 1948 සහ 1956 ඔලිම්පික් තරගවලදී ෂර්ලි රන් පදක්කම් තුනක් දිනා ගනු ලැබිණි. 1956 මෙල්බර්න් ඔලිම්පික් උලෙළට තරග වදින විට ඇය වයස අවුරුදු දෙකක පුතකුගේ මවක් වූවා ය.
31 හැවිරිදි වියේ පසුවුණ ඇය එහි දී කඩුලු පැනීම සහ සහය දිවීමෙන් රන් පදක්කම් දිනුවා ය. ඇය ද මෙලොවින් සමුගත්තේ 2004 වසරේ ය.
පෝලන්ත ඔලිම්පික් ශූරිය
ඇය නමින් අයිරිනා සිසිවින්ක්ස්කා ය. 1964 සහ 1980 අතර කාලයේ දී ඇය ඔලිම්පික් උලෙළ පහකට තරග වැදුණා ය. එම තරග වලදී රන් පදක්කම් පහක් සමඟ පදක්කම් හතක් දිනා ගැනීමට ඈට හැකිවිණි.
1970 දී ඇය පුතකුගේ මවක් වූවා ය. 1976 දී මිටර් 400 ඉසව්වේ ලෝක වාර්තාවත්, 1974 දී මීටර් 400 තත්පර 50 අඩුවෙන් දිවූ ප්‍රථම ක්‍රීඩිකාව ලෙසත් ඇගේ විශේෂ වාර්තා කීපයකි.
වැලරි ගේ විශිෂ්ට වාර්තාව
එක්සත් ජනපදයේ වැලරි බ්‍රිස්කෝ හුක්ස් 1982 දී පුතකුගේ මවක වූවා ය. ඇගේ විශිෂ්ටතම දස්කම වාර්තා වුණේ 1984 දී ය. ඒ ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උලෙළේ දී ය. එහි දී ඇය මීටර් 200 සහ මීටර් 400 ඉසව් වෙනුවෙන් රන් පදක්කම් දිනා ගත් අතර එම දස්කම වාර්තා කළ ප්‍රථම ක්‍රීඩියාව ඇය යි.
රුසියානු මැදි දුර ශූරිය
ස්වේට්ලානා මාස්ටර් කෝවා 1994 හා 1996 අතර කාලයේ දී තරග පිටියෙන් ඉවත් වුණේ තමාගේ දියණියගේ උපත වෙනුවෙනි. 1996 දී ඇය ඇට්ලැන්ටා ඔලිම්පික් උලෙළට ගියා ය. එහි දී ඇය කවුරුත් පුදුමයට පත් කරමින් මීටර් 800 හා මීටර 1500 ඉසව් සඳහා රන් පදක්කම් දිනා ගන්නට සමත් විය.
ඉතියෝපියානු ගොවි කෙල්ල
ඉතියෝපියාවේ ඩිරාටු ටූලූ ඔලිම්පික් පදක්කමක් දිනූ ප්‍රථම අප්‍රිකානු කළු ජාතික ක්‍රීඩිකාව ය. 1992 දී ඇය මීටර් 10,000 ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා ය. පසුව ආබාධයක් නිසාත් ඇගේ දියණියගේ උපත නිසාත් 1996 ඔලිම්පික් උලෙළේ දී ඇය දිනා ගත්තේ 4 වැනි ස්ථානය යි. නමුත් 2000 සිඩ්නි ඔලිම්පික් හි දී ඇය මීටර් 10,000 ඉසව්වට රන් පදක්කම දිනා ගත්තා ය. ඩිරාටු යනු ඉතියෝපියානු ගොවි පවුලකින් බිහි වූ ක්‍රීඩිකාවකි.
ක්‍රිස්ටෝපර් රණසිංහ










