දැල්පන්දුව බිඳිලා හෝ බෙදිලා නෑ | සිළුමිණ

දැල්පන්දුව බිඳිලා හෝ බෙදිලා නෑ

 

දැල්පන්දුවට වසර සියයයි මගේ පරිපාලනයෙන් පොතක් මුද්‍රණය කරනවා

කවුරු දිනුවත් මට කමක් නෑ

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට මම හැමදාම සහය වෙනවා

වසංගතයක් නොතිබුණානම් අපි තවත් බොහෝ දේ කරලා

  

‘මෙවර දැල්පන්දු නිලවරණයට තරග නොවදින්නට හිටපු දැල්පන්දු සභාපතිනී ලක්ෂ්මී වික්ටෝරියා තීරණය කර තිබුණා ය. මේ වන විට නිලවරණය සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගෙන තිබිය දී මෙරට දැල්පන්දු ක්‍රීඩාව සම්බන්ධව ‘ක්‍රීඩා’ ඈ සමඟ සුහද සංවාදයකට එළඹුණේ මේ අතර වාරයේ ය.’

 

“ක්‍රීඩාවේ සුළු සුළු මත ගැටුම් ඇති වෙන්න පිළිවන්. ඒත් මම නම් ඒ සියලු මත ගැටුම් අමතක කරලා ක්‍රීඩාවේ අනාගතය ගැන යහපත් අපේක්ෂාවෙන් ඉදිරියට යන කෙනෙක්. අපිට විවිධ ජය පරාජයන්ට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ සෑම මොහොතක දී ම අපි ඒවා අමතක කරලා බෙදුණු සියලු දෙනා එකට එකතු කරලා රටේ අරමුණ කරා රැගන ගියා“ ලක්ෂ්මී වික්ටෝරියා මහත්මිය ප්‍රකාශ කළා ය.

‘නෛතික ගැටුමක් පවතින නිසා මට ඇතැම් වෙලාවට විවෘතව දේවල් කතා කරන්න බෑ. මොකද ඒක අධිකරණමය වශයෙන් ගටලුකාරී වන නිසා. නමුත් මම කියන්නේ මේ සියලු පාර්ශ්ව අතර තියෙන එකම අරමුණ ශ්‍රී ලංකාවේ දැල්පන්දු ක්‍රීඩාව දිනවන එකයි. මම අපේක්ෂා කළෙත් ඒ දෙය පමණයි. එය යම් පමණකට සාර්ථක වූ බව හැමෝම පිළිගන්නවා. නමුත් අවාසනාවකට මට වැඩ කරන්න ලැබුණේ වසංගතයක් එක්ක. ඒ වසංගත තත්ත්වය අපේ සැලසුම්වලට දැඩි බාධාවන් ඇති කළා.’ යැයි පැවසීය.

කෙසේ නමුත් ඇතැමුන් උත්සාහ ගන්නේ මේ ක්ෂේත්‍රයේ ඇතැම් කණ්ඩායම් තුළ භේද බින්න වීමේ තත්ත්වයක් පවතින බව හුවා දැක්වීමට බවක් තමන්ට හැඟෙමින් ඇතැයි ද ඇය පැවසුවා ය. ‘ඒක වැරදි මතයක්. මම දන්න තරමට මෙතැන ඉන්න කිසිම කෙනෙක් පාර්ශ්වවලට බෙදිලා වැඩ කරන්න කැමති නෑ. ඒ හැමෝටම උවමනා රටේ දැල්පන්දුව ලෝකය තුළ ඉහළින්ම තියන්න. අපි උත්සාහ ගන්නේ ඒ වෙනුවෙන්. ඒ නිසා යමෙක් හිතනවනම් මෙතැන බෙදීමක් තිබෙනවා කියලා ඒක සපුරා වැරදි අදහසක්. ඉඳලා හිටලා දැල්පන්දු පරිපාලනය බිඳින්න ඇතැමුන් සිතන්න පිළිවන්. නමුත් එවැනි සිතිවිල්ලක් ආවත් ඒක ඉටු කරන්න අමාරුයි. මොකද අපි පිළිගන්න ඕනෑ ලෝකය තුළ සැම විටම දිනන්නේ යහපත මිස අයහපත නොවන බව.’ යැයි ඈ පැවසී ය.

‘මම ගෙදර යන්නේ සතුටින්. මගේ රටේ දැල්පන්දුව වෙනුවෙන් මම බොහෝ දේ කරලා තිබෙනවා. ඒක සම්බන්ධතාවලින්, පරිපාලනයෙන් වගේම මගේ පෞද්ගලික ධනයෙන් මම කරලා තිබෙනවා. ඒ නිසා සමුගෙන යන විට මට ඇත්තේ නිහතමානී ආඩම්බරයක්. මම බලය භාර දෙන්නේ බොහෝම ලොකු ආදරයකින්, ගෞරවයකින්. මම කියන්නේ ඒ බලය නිවැරැදි විදිහට කවුරුන් හෝ ලබා ගෙන මේ ක්‍රීඩාව තවත් ඉදිරියට ප්‍රවර්ධනය කරන්න කියලයි.’ ඈ පවසන්නී ය.

‘මමත් ගමෙන් ආවේ තරුණියක් විදිහට යි. නගරයට ඇවිත් දැල්පන්දු ක්‍රීඩාවේ නිරත වෙලා රට ඇතුළේ නමක් දිනා ගත්තා. මගේ ගම කුරුණෑගල. දැන් ඉන්නේ කොළඹ. මගේ පාසල මලියදේව මහා විද්‍යාලය. උසස් පෙළ සමත් වුණාම මම යුද හමුදාවට බැඳුණා. එතැන වසර 15 ක් සේවය කර විශ්‍රාම ගියා. එහි දී ඉලක්කයට වෙඩි තැබීමෙන් මා වර්ණලාභියෙකු වුණා. නිකම් දැල්පන්දු විතරක් ක්‍රීඩා කරලා මම ක්‍රීඩාව නතර කළේ නෑ. ඇත්තටම කියනවා නම් මට මගේ ක්‍රීඩා ජීවිතය කියන්නේ සුන්දර මතකයක්. ඒ සුන්දර මතකයේ ගොඩක් අය මට සිටිනවා.’ ඈ පැවසුවා ය.

‘මම මහජන බැංකුවට ඇතුළත් වුණේ ඊට පස්සෙයි. එතැන දී මම දැල්පන්දු ක්‍රීඩාවට සම්බන්ධ වුණා. එහි දී ක්‍රීඩා අමාත්‍යාංශයේ දැල්පන්දු පුහුණුකාරිනියක් ලෙස මාස 06 කට මාව බැංකුවෙන් මුදා හැරියා. ඇත්තටම කියනවා නම් දැල්පන්දු ක්‍රීඩාව කියන්නේ කාන්තාවන්ට ඇති ඉතාමත් වටිනා හා සුන්දර ක්‍රීඩාවක්. ඒ බව මා විශේෂයෙන් සඳහන් කළ යුතුයි. කෙල්ලෙක් නම් දැල්පන්දු ක්‍රීඩා කරන්නම ඕනෑ කියලා මම හිතන්නේ ඒ නිසයි.’ ලක්ෂ්මී වික්ටෝරියා පවසන්නී ය.

ඈ ක්‍රීඩා පරිපාලනය සමඟ එක්වූ ආකරය සම්බන්ධයෙන් ද ඈ පැවසීමට අමතක නොකළේ ය. ‘ 2013 ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපති ලෙස තරග කළා. ඒ තරගයෙන් මට සභාපති වෙන්න පුළුවන් වුණා. එහෙම ඇවිත් 2015 දක්වා එම තනතුරේ සේවය කළා. නැවත 2019 දී සභාපති ලෙස තේරී පත්වුණා.’

මේ අනුව වසර දෙකක පරිපාලන කාලයකින් අනතුරුව 2021 තමන් ධුරයෙන් සමු ගැනීමට තීරණය කළ බව ඈ පැවසී ය.

‘තව සති කිහිපයකින් නිලවරණය තියනවා.’ ඈ පවසන්නී ය. මේ අනුව මෙවර නිලවරණයට කණ්ඩායම් දෙකක් තරග වැද සිටී. එක් කණ්ඩායමක් නියෝජනය කරන්නේ හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරියක වන රංජනී ජයකොඩි මහත්මිය ය. අනෙක් පාර්ශ්වය පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන විසින් මෙහෙයවනු ලබයි.

‘මම නම් කියන්නේ මෙතැන දී කවුරු පත් වුණත් කවුරු පැරදුණත් ක්‍රීඩාව පරදින්න බෑ. මොකද අපි හැමෝම දුවන්නේ මේ ක්‍රීඩාව දිනවන්න. ඒ නිසා දිනන අයට දිනලා වැඩ කරන්න අපි ඉඩ දෙන්න ඕනෑ. අධිකරණයට යන්න, කකුලෙන් අදින්න කටයුතු නොකළ යුතුයි. මගෙන් අවශ්‍ය සහයෝගයක් ඇතොත් මා නොපිරිහෙළා ඉටු කර දෙනවා. ඒක අපේ යුතුකමක්. මේක අපේ ක්‍රීඩාවක් නිසා අපි පිටතින් සිට එදෙස බලා ආශිර්වාද කළ යුතුයි.’ ඈ පවසන්නේ බලලෝභීත්වයෙන් තොරව ය.

තමන් දැල්පන්දු ජාතික සංචිතයට එක්වුණේ ට්‍රික්සි නානායක්කාර මහත්මියගේ අවශ්‍යතාව හා පෙලඹවීම මත බව ද මෙහි දී ඈ සිහිපත් කළා ය. ‘එදා මාව ජාතික සංචිතයට ගන්න ට්‍රික්සි මහත්මිය තරම් උනන්දු වුණු කිසිම කෙනෙක් නැහැ. ඈ ඉතා දක්ෂ පරිපාලන නිලධාරිනියක්. එතුමියට මගේ ගෞරවයක් තිබෙන්නේ ඒ නිසයි.’ යැයි ඈ ප්‍රකාශ කළා ය.

‘ඇත්තම කියනවා නම් මගේ පෞද්ගලික ජීවිතයෙන් වැඩි ඉඩක් ලබා දුන්නේ දැල්පන්දුව වෙනුවෙනුයි. බොහෝ අවස්ථාවන්වල තනතුරු නිසා මගේ දරුවන්ගේ දෛනික කටයුතු පවා මට අතපසු වී තිබෙනවා. ඒ වගේ කවුරු ඉදිරියේ දී සභාපතිත්වයට පත් වුණත් දැල්පන්දුව ඔසවා තබන්න ක්‍රියා කළ යුතුයි. ඒ වෙනුවෙන් තම කාලය, ශ්‍රමය සහ පෞද්ගලික ධනය පවා කැප කරන්න වෙනවා. මා තුළත් ඒ හැඟීම තිබුණ නිසා මා උපන් රටට උපරිම දායකත්වයක් ලබා දුන්නා. අද ඒ අතීතය මට සිහිපත් කර සතුටු විය හැකියි.’ ඈ පවසන්නී ය.

දිස්ත්‍රික් සංගම්වල සහය ලබා ගනිමින් ඉහළ කළමනාකාරිත්වයක් පත්කිරීම තුළින් වර්තමානය වන විට ජව සම්පන්න දැල්පන්දු ක්‍රීඩිකාවන් 54 ක් ජාතික සංචිතයට ඇතුළත් කර ගැනීමට හැකිවූ බව ඈ පවසන්නී ය.

‘මෙපමණ සංඛ්‍යාවක් ජාතික සංචිතයට තෝරා ගත්තේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. ඒ අතර පසුගිය දා ආසියානු දැල්පන්දු ශූරතාව දිනපු ක්‍රීඩිකාවොත් සිටිනවා.ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව තවමත් හොඳින් පවත්වාගෙන ඒම සම්බන්ධයෙන් සතුටු විය හැකියි. කොහොම නමුත් දැල්පන්දු වෙනුවෙන් අද අපි ශක්තිමත් අත්තිවාරමක් දමා අවසන්. කොටින්ම කියනවා නම් අපි ආසියාවෙන් දැල්පන්දුවෙන් ඉදිරියෙන්ම සිටින්නේ, යස්මින් ධර්මරත්න, ඔලිවියා ගමගේ සහ යසා රාමචන්ද්‍ර යන ජ්‍යෙෂ්ඨයන්ගේ සේවය උපරිමයෙන් ලබාදුන් නිසයි. කනිෂ්ඨයන්ගේ සේවයත් දැල්පන්දුව ඉහළට ගන්න දායක වුණා. එහි ප්‍රතිඵල ලෙස තමයි මෙවර

දැල්පන්දු පුහුණුකාරිනියන්ගේ උසස් පරීක්ෂණ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ දැල්පන්දු පුහුණුකාරිනියක් වන හයසින්ත් විජේසිංහ අතින් සිදුකෙරුණේ. වෙනදා එය විදෙස් පුහුණුකාරිනියන් දෙදෙනකු මඟින් සිදු කරනු ලැබුවා.’ යැයි ඈ ප්‍රකාශ කළා ය.

‘ක්‍රීඩිකාවන්ගේ සංවර්ධන වැඩසටහන හිටපු ජාතික පුහුණුකාරිනි දීප්ති අල්විස් මහත්මියත් ඉතා ඕනෑකමින් භාරගත් අතර කෝවිඩ් 19 වසංගත තත්ත්වය නිසා 17න් පහළ හා 19න් පහළ පුහුණුවීම් කටයුතු 0nline හරහා ඇය සිදු කරනු ලැබුවා. අපේ දැල්පන්දු කණ්ඩායම හරි සාමකාමියි. අපට හොඳ කණ්ඩායම් කළමනාකරුවෙක්, පුහුණුකරුවෙක් සහ සහය පුහුණුකරුවෙක් සිටිනවා. දැල්පන්දුව ඉදිරියටත් ඔසවා තැබිය හැකි දක්ෂ ක්‍රීඩිකාවෝ දක්ෂ ක්‍රීඩිකාවෝ අපිට සිටිනවා. ඒ ගැන කිසිදු අවිශ්වාසයක් නැහැ. අපි මේ සතියේ යළි පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතයි. අප රටට දැල්පන්දුව හඳුන්වා දී වසර 100 පිරීම නිමිත්තෙන් දිවයිනේ දක්ෂ දැල්පන්දු කණ්ඩායම් 8 ක් සහභාගි වන තරගාවලියක් අපි සංවිධානය කරනවා. ඒ වගේම සුපර් ලීග් දැල්පන්දු තරගාවලියක් රත්නපුර නව නගර ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් රත්නපුර දිස්ත්‍රික් සංගමය ඒකාබද්ධ කරමින් පසුගිය දා පැවැත්වූවා. එහි දී ශුරතාව හැටන් නැෂනල් බැංකුව හා අනුශුරතාව ගුවන් හමුදා කණ්ඩායම ද තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම ද දිනා ගනු ලැබුණු බව ද ඈ පැවසී ය.

මෙරට දැල්පන්දු ක්‍රීඩාව ආරම්භ කර වසර 100 පිරීම නිමිත්තෙන් ක්‍රීඩාවටත්, දැල්පන්දු සම්මේලනයටත්, අනුබද්ධ සංගමයන්ට මෙන්ම ක්‍රීඩිකාවන්, විනිසුරුවරුන් හා පුහුණුකරුවන් ආදි වශයෙන් විශාල කැපවීමක් කළ කණ්ඩායම් සම්බන්ධයෙන් දත්ත රැස් කර පොතක් නිර්මාණයටද කටයුතු සැලසුම් කර ඇතැයි ද ‘ක්‍රීඩා’ වෙත අදහස් දක්වමින් ඈ වැඩිදුරටත් කියා සිටියා ය.

 

උදුලා පීරිස්

Comments