ජස්වර් පාපන්දු සටන දිනුම් | Page 2 | සිළුමිණ

ජස්වර් පාපන්දු සටන දිනුම්

 

මිනිත්තු 90 ක් පුරා ක්‍රියාත්මක කෙරෙන සංවිධානාත්මක පාපන්දු තරගයක තීරණය ලබා ගැනීම සඳහා දෙපිල ලබා ගන්නා ගෝල සංඛ්‍යාව වැදගත් ය. ප්‍රධාන තීරක ගේ සංඥාවට අනුව ක්‍රියාත්මක කෙරෙන අදාළ කාල සීමාව තුළ දී වැඩිම ගෝල රැස් කර ගන්නා කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය හිමි වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරියට යෑමේ හැකියාව ද එම කණ්ඩායම සතු වේ.

එවන් ඉදිරියට යෑමේ වරම් දිනා ගත් කණ්ඩායමක් පසුගිය සතියේ දී මෙරට පාපන්දු කෙළිබිමෙන් ඔබ්බෙහි දී දැක ගැනීමට හැකි විය. ඒ 2021 - 2022 කාල සීමාව සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට නිලධාරීන් පත් කර ගැනීම සඳහා ක්‍රියාත්මක කෙරුණු තියුණු නිලවරණය සමඟ ය.

හිටපු ලේකම් ජස්වර් උමාර් ගේ නායකත්වයෙන් සැදුම් ලත් කණ්ඩායම සහ හිටපු වෛද්‍ය අංශ ප්‍රධානී වෛද්‍ය මනිල් ප්‍රනාන්දු ගේ නායකත්වයෙන් සමන්විත කණ්ඩායම අතර පැවැති මෙම සටනින් වැඩි ඡන්ද 06 ක ජයග්‍රහණයක් හිමි කර ගැනීමට ජස්වර් උමාර් පාර්ශ්වයට හැකි විය.

ජස්වර් උමාර් මහතා සහ මනිල් ප්‍රනාන්දු මහතා අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති ධුරය සඳහා පැවැති ද්වන්ධ සටන ආරම්භයේ සිට අවසානය දක්වාම අතිශය තියුණු මුහුණුවරක් ඉසිලීම කැපී පෙනුණි. එහි දී ප්‍රබල මනිල් ප්‍රනාන්දු මහතාගෙන් එල්ල වූ අභියෝගයට අසීරුවෙන් මුහුණ දුන් ජස්වර් උමාර් මහතා ඡන්ද 96 - 90 ක උණුසුම් ජයග්‍රහණයක් සටහන් කර ගත්තේ මෙරට පාපන්දුව හැසිරවීමේ බලය අත්පත් කර ගනිමිනි.

මෙම ඡන්ද විමසීමේ දී එකදු ඡන්දයක් හෝ අපතේ නොයෑම ද කැපී පෙනුණි. ඒ අනුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජික ප්‍රාදේශීය සංගම් 64 ක සාමාජිකයන් නිවැරැදිව ඡන්දය ප්‍රකාශ කර තිබුණේ ය. එක් ප්‍රාදේශීය සංගමයකට ඡන්ද 03 බැගින් හිමි වූ අතර එය දෙපිල වෙත ප්‍රකාශයට පත් කර තිබීම පාපන්දු සාක්ෂරතාව පිළිබඳ ව මොනවට පැහැදිලි වුණු අවස්ථාවක් ලෙස සඳහන් කළ ද වරදක් නොමැත. අධ්‍යාපන අමාත්‍යාංශයේ එකඟතාවය මත ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය මැද මාවතේ සිට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි අතර, සම්ප්‍රදායට අනුව ශ්‍රී ලංකා පාපන්දු විනිසුරුවරුන්ගේ සංගමයට ඡන්ද බලය හිමි නොවීම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ව්‍යවස්ථාවේ දක්නට ඇති විශේෂත්වයකි.

ජස්වර් උමාර් මහතා සභාපති ධුරය ජය ගැනීමත් සමඟ ම ඔහුගේ පාර්ශ්වය වෙනුවෙන් තරග වැදුණු සියලු නිලධාරීහු නිතරගයෙන්ම අදාළ ධුර සඳහා තේරී පත්වූහ.

මෙවර ලේකම් ධුරය උපාලි හේවගේ මහතාට හිමි වන අතර වාරයේ ඒ සඳහා තරග වැදුණු හිටපු සභාපති අනුර ද සිල්වා මහතාගේ බලාපොරොත්තුව සුන් විය.

භාණ්ඩාගාරික ධුරය සඳහා ඒ.එෆ්. සෙල්ලර් මහතා පත් කෙරුණි. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතාගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා පාපන්දු නිලවරණ කමිටුව මඟින් මෙවර නිලධාරීන් පත් කර ගැනීම සිදු කළ අතර, ඒ සඳහා ඡන්ද මධ්‍යස්ථාන තුනක් භාවිතයට ගැනීම ද කැපී පෙනුණි. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ව්‍යවස්ථාවට අනුව නිලධාරීන් පත් කර ගැනීම රහස් ඡන්දයක් මඟින් සිදු කිරීමට තිබූ හෙයින් එවන් තීරණයක් ගැනීමට සිදු විය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගාරය, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගාරය සහ පොලොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණ ක්‍රීඩාගාරය කේන්ද්‍ර කර ගනිමින් මෙවර නිලවරණයේ රහස්‍ය ඡන්දය පැවැත්වුණේ ය.

අවස්ථා 05 ක දී ම කල් දමන්නට යෙදුණු මෙවර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලවරණය පැවතුණේ ඉකුත් 29 වැනි දා ය.

 

නව නිල මඬුල්ල

සභාපති

ජස්වර් උමාර් (ශ්‍රී ලංකා පාපන්දු විනිසුරු සංගමය)

සම උපසභාපති

රංජිත් රුද්‍රිගු මහතා ( මීගමුව ලීගය )

කේ.පී.පී. පතිරණ මහතා ( ශ්‍රී ජයවර්ධනපුර - කෝට්ටේ ලීගය)

ආර්නෝල්ඩ් එම්මානුවෙල් මහතා (යාපනය ලීගය)

සමන් ඩිල්ෂාන් නාගහවත්ත මහතා (ගාල්ල ලීගය)

ලේකම්

උපාලි හේවගේ මහතා (සීතාවක ලීගය)

නියෝජ්‍ය ලේකම් (පරිපාලන)

ටී.වරදරාසන් මහතා ( වඩමාරච්චි ලීගය)

නියෝජ්‍ය ලේකම් (තාක්ෂණික)

එම්.අයි.එම්.අබ්දූල් මනාෆ් මහතා (අම්පාර ලීගය)

භාණ්ඩාගාරික

ඒ.එෆ්. සෙල්ලර් මහතා (දිවුලපිටිය ලීගය)

උපභාණ්ඩාගාරික

ඒ. නාගරාජන් මහතා (වවුනියාව ලීගය)

 

කාන්ති ජයසිංහ

Comments