
පදක්කම් හා දක්ෂතාවයන් සසඳද්දී ඔවුන් තිදෙනා නූතන යුගයේ දිය කිඳුරු, කිඳුරියන් මිස අන්කිසිවකු නොවේයැයි කිවහැකි ය.
'දිය කිඳුරු, කිඳුරියන් ගැන අප කියවා ඇත්තේ සුරංගනා කතාවල ය. එහෙත් එවැනි දියකිඳුරු, කිඳුරියන් සියැසින් දැකීමට අප කිසිවකුටත් වරම් හිමිව නැත. එහෙයින් ඒවා කල්පිත කතායැයි සිතින් බැහැර කිරීමට දින ලොකු මහත් වද්දී අපට සිදුවිය. එහෙත් කාය්ලි මැක්වින්,බෙනෙඩෙට්ටා පිලාටෝ, ක්ලෙයිමෙන්ට් කොලෙන්ස්නිකොව් අප යළි සුරඟන කිඳුරු ලෝකයට රැගෙන යාමට සමත්ව සිටිති.'
කාය්ලි මැක්වින්
කාය්ලි මැක්වින් යනු යන්තමින් ළමා අවදිය පසු කළ තැනැත්තියකි. ඈ ඕස්ට්‍රේලියාව නියෝජනය කරන අතර හරියටම උප්පැන්න සහතිකයේ දැක්වෙන ආකාරයට නම් වයස කියැවෙන්නේ තවමත් අවුරුදු 19 ක් ලෙස ය. එහෙත් ඈ දිය තලය කපා ඉදිරියට පිහිනා යන්නේ සුරඟන කතාවක දැක්වෙන කිඳුරඟනක් මෙනි.
එහෙයින් ඈ පුංචි වයස පසු කරත්ම තමන්ගේ නම ඉදිරියේ ලෝක වාර්තාවක් ලියා ගැනීමට සමත් විය. පසුගියදා ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගිවන ඔස්ට්‍රේලියානු පිහිනුම් කණ්ඩායමේ පුහුණු තරග අතරතුරදී ඇය නව පිහිනුම් වාර්තාවක් පිහිටුවීමට සමත් වුණේ තම කිඳුරු හැකියාව ලෝකයට විදහා දක්වමිනි. ඒ මීටර් 100 පසුපස ආර පිහිනුම් ඉසව්වෙනි. ඒ තරගය නිමා කිරීම සඳහා ඇයට ගත ව තිබුණේ තප්පර 57 දශම 45 ක කාලයකි. මැක්වින් මේ වන විටත් ජාත්‍යන්තර මට්ටමේ පදක්කම් 8 ක් දිනා අවසන්ය.
2017 ලෝක පිහිනුම් ශූරතා තරගාවලියේ දී රිදී පදක්කමක් දිනා ගන්නා විට ඇගේ වයස අවුරුදු 17 ක් විය. ඉන්පසුව 2018 ගිම්හාන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම ක් දිනා ගන්නට ඇය සමත් වූවා ය. 2019 වසරේ ලෝක ශූරතා තරගාවලියේ ද ඇය රිදී පදක්කම් දෙකකට හිමිකම් කියනු ලැබිණි.
මැක්වින් තරග කරන්නේ පිහිනුම් ඉසව්වේ පසුපස ආර තරග රටාව වෙනුවෙන් ය. මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය ඇයගේ පළමු ඔලිම්පික් අත්දැකීමය. තමාටත් වඩා තමාගේ මංගල ඔලිම්පික් ගමන පිළිබඳ සිහින දුටුවේ තම පියා බව පුංචි කිඳුරඟන පවසන්නී ය. ඒ සමඟ ඈ කනගාටුවෙන් කඳුළු සලන්නේ තම ඔලිම්පික් සිහිනය යතාර්ථයක් වීමට පෙර පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී ඇගේ පියා හදිසියේ මෙලොව හැර ගිය හෙයිනි.
බෙනෙඩෙට්ටා පිලාටෝ
බෙනෙඩෙට්ටා පිලාටෝ ද මේ වසරේ පිහිනුම් ලෝක වාර්තා පොත අලුත් කළ යොවුන් ශූරියකි. 2005 ජනවාරි 28 වැනි දා උපන් ඇගේ වයස අවුරුදු 16 කි. ඈ පසුගිය දා ඉතාලිය වෙනුවෙන් යුරෝපීය ශූරතා තරගාවලියට සහභාගී වූවා ය. ඒහිදී මීටර් 50 පිහිනුම් ඉසව්වේ පසුපස ආර තරග රටාවේ හොඳම කාලය වාර්තා කරමින් ලෝක වාර්අතාවක් පිහිටුවන්නට ද සමත් විණි.
පසුගිය මැයි 22 දා පැවති එම තරගය නිම කරන්නට ඇයට ගත ව තිබුණේ තත්පර 29.30 ක කාලයකි. එය ඇය නියෝජනය කළ පළමු යුරෝපීය ශූරතා තරගාවලිය නොවූයේ 2019 යුරෝපිය ශුරතාවයේ පමණක් නොව 2019 ලෝක ශූරතා තරගාවලිය සඳහා ද ඈ සහභාගිවී ඇති බැවිණි.
ඒ වන විට ඇගේ වයස අවුරුදු 15 නොඉක්මවී ය.
එම තරගාවලියේ දී ඇය රන්, රිදී පදක්කම්වලින් සිය මව්බිම සරසන්නට ද සමත් වූවා ය. මේ වන විටත් පිලාටෝ ජාත්‍යන්තර මට්ටමේ පදක්කම් රැසක්ම දිනාගෙන තිබේ. ඒ් අතර 2019 ලෝක ශූරතා තරගාවලිය නියෝජනය කරමින් රිදී පදක්කමක්, 2019 යුරෝපීය ශූරතා තරගාවලියේ දී රන් පදක්කමක්, 2019 යුරෝපීය ශූරතා තරගාවලියේ දී රන් සහ රිදී පදක්කමක් ආදි වශයෙනි. එසේම ඇය 2019 කනිෂ්ඨ ලෝක ශූරතා තරගාවලියේ දී රන් පදක්කමක් මෙන්ම 2019 කනිෂ්ඨ යුරෝපීය ශූරතා තරගාවලියේ දී රන් සහ රිදී පදක්කමක් දිනා ඇත.
ක්ලෙයිමෙන්ට් කොලෙන්ස්නිකොව්
2021 වසර තුළ මේ වන විට පිහිනුම් ලෝක වාර්තා පොත් අලුත් කළ එකම දිය කිඳුරා වන්නේ රුසියන් ජාතික ක්ලෙයිමෙන්ට් කොලෙන්ස්නිකොව්ය. 2000 වසරේ උපන් කොලෙන්ස්නිකොව් තවමත් විසිවන විය පසු කර ඇත්තෙකි.
පසුගිය මැයි මාසයේ පැවති යුරෝපීය ශූරතා තරගාවලියේ දී මීටර් 50 පසුපස ආර පිරිමි ඉසව්වේ හොඳම කාලයට හිමිකම් කීවේ ද ඔහුය. තප්පර 23.80 ක කාලයකින් ඔහු තරගය නිම කළේ ය. මේ වන විටත් ජාත්‍යන්තර තරගවලදී පදක්කම් 50 ක් පමණ ප්‍රමාණයක් දිනා ගන්නට සමත්ව ඇත.
2019 ලෝක ශූරතා තරගාවලියේ දී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2 ක්, 2018 ලෝක ශූරතා තරගාවලියේ දී පිළිවෙලින් රන්, රිදී පදක්කම් 2 හා 3 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනා ගන්නට කොලෙන්ස්නිකොව් සමත් වූයේ ය. 2018 යුරෝපීය ශූරතා තරගාවලියේ දී රන් පදක්කම් 6 ක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත් ඔහු 2017 යුරෝපීය ශූරතා තරගාවලියේ දී රන් 10 ක් සහ රිදී 2 ක් වශෙන් පදක්කම් දිනා ගත්තේ ය. 2018 යොවුන් ගිම්හාන ඔලිම්පික් උලෙළෙහි රන් 6 ක් සහ රිදී පදක්කමක් කොලෙන්ස්නිකොව් විසින් දිනා ගෙන තිබුණි.
මේ සියලු පදක්කම් හා දක්ෂතාවයන් සසඳද්දී ඔවුන් තිදෙනා නූතන යුගයේ දිය කිඳුරු, කිඳුරියන් මිස අන්කිසිවකු නොවේයැයි කිවහැකි ය.
පසිඳු මිහිරාන් රැටියල










