
මිල්කාගේ අභාවයත් සමඟ අපට විශිෂ්ට ශ්‍රේණියේ ක්‍රීඩා චරිතයක් අහිමි වුණා. විශාල ඉන්දියානුවන් පිරිසකගේ ප්‍රසාදය ඔහුට හිමිව තිබුණේ දේශයේ උත්තමාචාරය සමඟයි.

විවාහය අවසන් වන්නේ මරණයෙනි. ජීවිතයේ එවැනි ගැඹුරු බැඳීම් ආසන්නම කාල වකවානු තුළ අවසන් වන අවස්ථා ද ඕනෑ තරම් අසන්නට ලැබේ. වසංගත හේතුවෙන් ද එවැනි සිදුවීම්වලට වේදිකාවක් නිර්මාණය වේ. මේ ඉන්දියාවේ සිදු වූ ක්‍රීඩාව හා ගැළපුණු එවන් සමුගැනීමකි.
ඉන්දියාවේ ඉපිද ආසියාවට මහත් අභිමානයක් වූ මලල ක්‍රීඩක මිල්කා සින්ග් එහෙමත් නැති නම් ‘පියාඹන ෂික්වරයා’ පසුගිය දා මෙලොවින් සමු ගත්තේ ය. මිය යන විට 91 හැවිරිදි වියේ පසුවුණු මිල්කා මෙලොවින් සමුගත්තේ ඔහුගේ බිරිය මෙන් ඔහුද කොවිඩ් වසංගතයට ගොදුරු වීමෙනි. මිල්කා මිය යන්නට දින පහකට කලින් ඔහුගේ බිරිය නිර්මාල් කවුර් මෙලොවින් සමුගත්තා ය.
මිල්කා මලල ක්‍රීඩාවෙන් ඉන්දියාවට මහත් අභිමානයක් ගෙනාවා සේම ඔහුගේ බිරිය නිර්මාල් ඉන්දීය කාන්තා වොලිබෝල් කණ්ඩායමේ නායකත්වය දරමින් සිය දේශයට මහත් අභිමානයක් වූවා ය. 1962 විවාහ දිවියට ඇතුළත් වුණ මිල්කා සහ නිර්මාල් දූවරුන් තිදෙනෙකු හා පුතකුගේ මාපියෝ වූහ.
මිල්කාගේ පුතා ජිව් මිල්කා සිං ඉන්දියාවේ ප්‍රකට ගෝල්ෆ් ක්‍රීඩකයෙකි. එලෙසම මිල්කා 2013 දී ‘රේස් ඔෆ් මයි ලයිෆ්’ නම් කෘතිය ලියා පළ කළ අතර ඊට ඔහුට සහය වූණේ සෝනියා සන්වල්කා නමැති ඇගේ දියණියයි.
මිල්කා සිංගේ වියෝව ගැන දැන ගත් විට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ද සිය සංවේගය පළ කරන්නට ඉදිරිපත් වූයේ ය. ඒ මිල්කා යනු ඉන්දියාවට එතරම් ම වැදගත් ක්‍රීඩකයකු වූ හෙයිනි. ඒ අනුව නරේන්ද්‍ර මෝදි මහතා විශේෂ ශෝක පණිවිඩයක් නිකුත් කරමින්, ‘’මිල්කාගේ අභාවයත් සමඟ අපට විශිෂ්ට ශ්‍රේණියේ ක්‍රීඩා චරිතයක් අහිමි වුණා. විශාල ඉන්දියානුවන් පිරිසකගේ ප්‍රසාදය ඔහුට හිමිව තිබුණේ දේශයේ උත්තමාචාරය සමඟයි. ඔහුගේ විධිමත් පෞරුෂය විශාල පිරිසකට ජීවය ලබා දුන්නා‘.’ අගමැතිවරයා සිය ශෝක පණිවුඩයෙන් එලෙස පවසා තිබුණේ ය.
මිල්කාගේ වියෝව සැල වූ විට දැනට එංගලන්තයේ සංචාරයක නිරත ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තමන් සහභාගී වූ ඊළඟ තරගයේ දී කළු අත්පටි පැලඳ ක්‍රීඩා කළේ ය. ඒ මේ විශිෂ්ට ඉන්දීය ක්‍රීඩා ශුරයාට ගෞරවය පුද කරමිනි. ‘ඔහු අපේ මුළු ඉන්දියාවටම ධෛර්යය ගෙන දුන්නා. ඔහු අපට පෙන්වා දුන්නේ කිසිවිටෙකත් බලාපොරොත්තු සහ සිහින අත් නොහරින ලෙසයි. මිල්කා සිං ඔබට සදා සාමය ලැබේවා. ඔබව අපට කිසිදා අමතක වන්නේ නැහැ. ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි ශෝක පණිවිඩයක් මඟින් කියා සිටියේ ය.
මෙලෙස මුළු මහත් භාරත දේශයම වැලඳ ගත් මිල්කා සිං උපත ලැබුවේ 1929 නොවැම්බර් 20 වැනි දා පන්ජාබ් ප්‍රාන්තයේ ගෝවින්ද්පුර ගම්මානයේ ය. ඔහු ෂික් පවුලක දරුවන් 15 දෙනෙකුගෙන් කෙනෙකි. 1947 දී දිල්ලි නුවරට පැමිණි මිල්කා සිය සොහොයුරියක් සමඟ වාසය කරමින් ඉන්දීය හමුදාවට බැඳීමට කටයුතු කළේ ය.
1951 දී හමුදාවේ රැකියාවක් ලැබෙ-න්නේ ඔහුගේ 4 වැනි උත්සාහයේ දී ය. ඔහුගේ ජීවිතය ඉහළට ඔසවා තැබුවේ ඉන්දීය හමුදාවයි. ඔහුව හමුදාවේ මලල ක්‍රීඩා කණ්ඩායමට තෝරා ගනු ලබන්නේ ආධුනිකයන් සඳහා පැවැති ගම හරහා දිවීමේ තරගයක දී හයවැනියා වූ නිසාය. සැතපුම් 10 ක් වූ මේ ධාවන දුර මිල්කාට අභියෝගයක් නොවුණේ පාසල් ගිය අවධියේ ඔහු බොහෝ විට මෙවැනිම දුරක් පාසලේ සිට ගෙදරට දිව ගිය නිසා ය.
‘මම දුප්පත් ගම්මානයකින් ආපු නිසා මුල ඉඳලම මා තුළ දිවීමේ හැකියාව තිබුණා. නමුත් ඔලිම්පික් ගැනවත් ක්‍රමානුකූලව දුවන හැටි ගැනවත් මම දැන සිටියේ නැහැ.’ යැයි මිල්කා වරක් පවසා තිබුණි.
මිල්කාගේ මලල ක්‍රීඩා දස්කම් සටහන ගැන විමසා බලන විට එහි වාර්තාගත දස්කම් මෙලෙසින් සිහිපත් කළ හැකි ය.
‘1958 දී ඉන්දීය ජාතික ක්‍රීඩා උලෙළේ මීටර් 200 හා 400 සඳහා රන් පදක්කම්, 1964 මීටර් 400 ඉසව්වේ ඉන්දීය රීදී පදක්කම, 1958 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ මීටර් 400 රන් පදක්කම, 1958 සහ 1962 ආසියානු ක්‍රීඩා තරගාවලියන්හි දී මීටර් 200, මීටර් 400 සහ මීටර් 400 සහය දිවීමෙන් රන් පදක්කම් 4, 1956, 1960 සහ 1964 ඔලිම්පික් උලෙළ තුනකට සහභාගීත්වය.
මිල්කා සිං ගේ මලල ක්‍රීඩා ජීවිතයේ අමතක නොවන සිහි-වටනමය අවස්ථාව වාර්තා වුණේ 1960 රෝම ඔලිම්පික් උලෙළේ දී ය. මීටර් 400 අවසාන තරගයේ දී මිල්කාට නිමේෂයකින් ලෝකඩ පදක්කම අහිමි වූයේ ය. හතරවැනියා ලෙස තරගය අවසන් කළේ ය. රෝම ඔලිම්පික් උලෙළේ දී ඔහු පිහිට වූ මීටර් 400 ඉන්දීය වාර්තාව බිඳ වැටුණේ 1998 දී ය. ඒ ප්‍රම්ජිට් සින්ග් නම් ධාවකයා අතිනි.
මිල්කා යනු අපූරු ක්‍රීඩකයෙක් වන්නේ ඔහු මිය යෑමට ප්‍රථම තමා දිනූ පදක්කම් සියල්ල ම ඉන්දීය රජයට භාර දුන් හෙයිනි. පළමුව එම පදක්කම් දිල්ලි නුවර ජවහර්ලාල් නේරු ක්‍රීඩාංගණ ක්‍රීඩාගාරයේ තබා තිබුණ අතර, අද ඒවා පතියාලා ක්‍රීඩා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තබා තිබේ. 1960 රෝම ඔලිම්පික් උලෙළේ මීටර 400 ඉසව්වට ඔහු පැලඳි අඩිඩාස් සපත්තු යුගලය 2012 දී චිත්‍රපට නළු රාහුල් බෝස් විසින් සංවිධනය කළ අරමුදලක වෙන්දේසිය වෙනුවෙන් බාර දුන්නේ ය.
විවාහ වන්නට පෙර මිල්කා වරක් නිහාර් බන්ධනාගාරයට ගියේ ය. ඒ ප්‍රවේශ පත්‍රයක් නොමැති දුම්රියේ ගමන් කිරීමෙනි. මේ සිදුවීම ඔහු ඉඳහිට මතක් කළේ සිනහ වෙමිනි.
මිල්කා සිං තමා ලියූ පොතේ කවරයේ පසුපස පිටුවට දමා තිබුණේ ප්‍රවීණ නළු අමිතාබ් බච්චන් සමඟ ගත් ඡායාරූපයකි. ඔහු මිය ගිය පුවතා අසා ශෝකයට පත් අමිතාබ් තමාගේ ට්විටර් පිටුවේ සටහනක් තැබුවේ මිල්කා යනු තම ජීවිතයට හමුවූ සුන්දර හා විශිෂ්ට පුද්ගලයකු කියාය.
‘කොතරම් දුෂ්කර වුණත් ඔහු සමස්ත ඉන්දියාවට මහත් අභිමානයක් ගෙන දුන්නා.’ යි අමිතාබ් එහි පවසා තිබුණේ ය.
ලොවෙන් සදහටම සමුගත් මිල්කාගේ අවසන් කටයුතු සිදුකෙරුණේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ය. ඒ චන්දිගාර් හි දී ය. ඉන්දීය ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ පන්ජාබ් ආණ්ඩුකාරවරයා ඊට සහභාගි විය. චන්දිගාර් පාලකවරයා සහ හර්යානා ක්‍රීඩා අමාත්‍යවරයා ද මෙම අවස්ථාවට එක්ව තිබිණි. සැබැවින්ම මිල්කා සිං යනු ඉන්දීය මලල ක්‍රීඩාවේ නාමය නොදිරන දැවැන්ත චරිතයකැයි කිව හැකි ය.
ක්‍රිස්ටෝපර් රණසිංහ










