ක්‍රීඩක අධ්‍යාපනයක වැදගත්කම | සිළුමිණ

ක්‍රීඩක අධ්‍යාපනයක වැදගත්කම

 

නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවේ. නොදැන වැරදි සිදුවුවද නීතිය අනුව ඊට හිමි දඬුවමක් ඇත. ඒ දඬුවමෙන් නිදහස්වීමට කිසිවකුටත් නොහැකි ය. එය ක්‍රීඩාව විෂයේ ද වෙනසක් නොවිය යුතු ය. එහෙත් ක්‍රීඩකයනට දඬුවම් පැමිණවීමෙන් පමණක් ඔවුන් අතින් සිදුවන වැරදි අවසන් කළ හැකි ද යන්න විමසා බැලිය යුතු ය. අප එසේ කියන්නේ පසුගිය කාල වකවානුවේ අසන්නට ලැබුණු විනය විරෝධී හැසිරීම් සම්බන්ධයෙන් සමාලෝචනය කරන විට ය.

විනය කඩමින්, ජීව බුබුළෙන් මිදී රස්තියාදුවේ ගිය ක්‍රිකට් ක්‍රීඩකයෝ ගැන කතාකළ සතිය ගෙවෙන්නට මත්තෙන් මධුපානෝත්සවයක් පැවැත්වූයේ යැයි කියන මලල ක්‍රීඩකයෝ රොත්තක් ගැන අසන්නට ලැබුණේ නිරෝධායන නිවස්නයක දී ය. එකී නිරෝධායන කොළඹ සුගතදා හෝටලයේ පවත්වාගෙන යමින් තිබුණේ ය. එහි නිරෝධානයන වෙමින් සිටියේ ඉන්දියාවේ පටියාලා නුවර පැවැති මලල ක්‍රීඩා ශූරතාවට සහභිගි වූ ක්‍රීඩකයින් පිරිසකි. එතැන පාසල් ළමුන් ද සිටි හෙයින් මධුපැන් සාදය සංවිධානය කිරීම මගින් සිදුවූ බලපෑම වඩාත් ප්‍රබල සමාජ කතාබහට ලක්ව තිබුණේ ය.

මේ අතර පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක තේරීම් ක්‍රමවේදය මෙන්ම, පුහුණුකරුවන්ගේ හැසිරීම විවේචනයට ලක්කළ තවත් ක්‍රිකට් තරුවක් වූ භානුක රාජපක්ෂට වසර දෙකක අත්හිට වූ තරග තහනමක් සමඟ රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක දඩයක් නියම කෙරිණි. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් විනය කමිටුව විසිනි. මේ අනුව පසුගිය දින කීපය මෙරට ක්‍රීඩාවේ ක්‍රීඩක හැසිරීම්, ක්‍රීඩක වගකීම් හා ක්‍රීඩක වගවීම් සම්බන්ධයෙන් පුළුල් කතිකාවක් නිර්මාණය කරන්නට වේදිකාවක් තනා දුන් බව පිළිගත යුතු ය.

කෙසේ නමුත් මෙලෙසින් විනය විරෝධී හැසිරීම් වාර්තා වූ පළමු අවස්ථාව මෙය නොවේ. විවිධ ක්‍රීඩා ඇමැතිවරුන් යටතේ, විවිධ ක්‍රීඩා සංගම් පරිපාලකයන් ගේ පාලන කාලය තුළ මෙලෙස විනය අමතක කළ ක්‍රීඩකයෝ දේශීය ක්‍රීඩා පිටියේ වාර්තා වුණේ ය. ටොරින්ටන් මලල ක්‍රීඩා සංචිතයේ මධු පානෝත්සව පවත්වා විදුලි පහන් කුඩු කර සංචිතයේ ගොඩනැගිල්ලට අලාභ හානි සිදුකළ නම ගිය ක්‍රීඩිකාවෝ ද ඒ අතර වූහ. එවැනි සිදුවීම් වාර්තාවද්දී ඔවුන්ගේ තරාතිරම නොබලා දඬුවම් පැමිණවීමට එවකට බලධාරීහු කටයුතු කළ හ.

මේ අනුව මෙවර විනය විරෝධී හැසිරිම් ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයන්ට දඬුවම් ලබාදීම ගැටලුවක් නැතැයි පැවසිය යුතු ය. එහෙත් ඒ දඬුවම් පැනවීමකට පමණක් සීමාවිය යුතු නැතැයි විශේෂයෙන් පැවසිය යුතු ය. එසේ දඬුවම් ලබාදෙනවාට වඩා සැලකිලිමත් විය යුත්තේ ක්‍රීඩකයන් විෂයේ අවශ්‍ය සාමාජයීය අධ්‍යාපනය ලබාදීම කෙරෙහි ය. සමාජයක් තුළ විශේෂ කණ්ඩායමක් වශයෙන් සැලකෙන ක්‍රීඩකයන් ගෝලීය සමාජය තුළ ජීවත්වීමේ දී අතින් ඉටුවිය යුතු යුතුකම් සම්බන්ධයෙන් මෙම අධ්‍යාපනයට ඇතුළත් විය යුතු ය.

උදාහරණයකට ජීව බුබුළ කඩා ක්‍රිකට් ක්‍රීඩකයෝ රස්තියාදු ගසන්නේ තමන්ගේ සුවිශේෂී වගකීම නොදන්නා හෙයිනි. සහෝදර ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව, තමන්ගේ පවුල් සමාජිකයන්ගේ සුරක්ෂාව ගැන ඔවුහු නොදන්නා නිසා ය. ක්‍රිඩකත්වය පසෙකලා මධු විතෙන් සුවපත්වීමට උත්සුක වන්නේ ක්‍රීඩාවේ පැවැත්මට මත්පැන්, දුම්වැටි වද්දා නොගත යුතු බැව් නිසි පරිදි තමන් තුළ අවධාරණය කරගත් දැනුමක් නොමැති හෙයිනි.

ක්‍රිඩකයෝ යනු රටක ප්‍රතිරූපය ලෝකය වෙත රැගෙන යන කණ්ඩායමක් බවත් එය අතහැරිය නොහැකි වගකීමක් බවත් ක්‍රීඩක ප්‍රජාවට අවබෝධ කරදෙන්නට අවශ්‍යව ඇත්තේ එවැනි පසුබිමක් තුළ ය. එසේ නොමැතිව තරග තහනමකින්, විනය පරික්ෂණ තබා යම් දඬුවමක් පැනවීමකින් සිදුවන ප්‍රතිලාභයක් නැත. සමාජ විද්‍යාත්මක වශයෙන් ක්‍රීඩක දැනුවත් කිරීම සේම විද්‍යාත්මක වශයෙන් ද ක්‍රීඩකයන්ගේ දැනුම ඉහළ නැංවිය හැකි විශේෂ අධ්‍යාපන ක්‍රමයක් ක්‍රීඩාවට අවශ්‍යව තිබේ.

උදාහරණයකට තමන් වෙත වේගයෙන් ඇදී එන පන්දුව හරවා යැවිය යුත්තේ කවර දිශාවකට ද? පිටියේ පන්දු යවන්නන්ගේ සැකැස්මේ සිතියමක් මනස තුළ ඇඳ ගන්නේ කෙසේ ද? පිතිකරු යුගලයක් පිටිය තුළ දී ක්‍රියා කළ යුත්තේ කෙතරම් ගැඹුරු අන්‍යෝන්‍ය අවබෝධයක් සහිතව ද යන්න පවා එලෙස ලබාදෙන අධ්‍යාපනයට ඇතුළත් විය යුතු ය.

සමාජය සම්බන්ධයෙන්, අවස්ථා කළමනාකරණය පිළිබඳ, දත්ත සංගණනය හා ඊට අනුකූලව සැලසුම් දියත් කිරීම පිළිබඳ නිර්මාණාත්මක චින්තනයක් සහිත ක්‍රීඩකයන් බිහිකරන්නට අවශ්‍ය අධ්‍යාපනයක් එලෙස ක්‍රීඩකයනට ලබාදිය යුතුව ඇත.

එමගින් සිදුවන්නේ විවිධ නොපනත්කම් සිදුකරන, විදේශීය සංචාරවලදී සාප්පුවලින් බඩු සොරා නොගන්නා, සංක්‍රමණ නීති බිඳ දමා ඒ ඒ රටවල අතුරුදන්වන, තරග පාවාදෙන, රාත්‍රී සමාජ ශාලාවලට ගොස් උදාසන වනතුරු මඟ වැරදෙන ක්‍රීඩකයන් වෙනුවට සබුද්ධිමත් ක්‍රීඩකයන් පිරිසක් බිහිවීම ය. රටක් නියෝජනය කරමින් ඒ රට ප්‍රවර්ධනය කරන නිලනොලත් තානාපතිවරුවන් බිහිවීම ය.

විශේෂයෙන් මෙහිදී ක්‍රීඩකයා යනු ජයග්‍රහණය පමණක් අපේක්ෂාවෙන් රටක් විසින් නිර්මාණය කරන්නකු නොවන බවත් ඔහු සතුව සුවිශාල සමාජ වගකීමක් පවතින බවත් එම ක්‍රීඩකයා තුළ ඒත්තු ගැන්විය හැකි අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කිරීමට වහා වහා මූලිකත්වය ගත යුතු ය. එය එසේ නොවන තාක්කල් අපට සිදුවන්නේ රටක් වශයෙන් විනය විරෝධී හැසිරීම් සම්බන්ධව තළු මරමින් ප්‍රකාශ කරන්නට පමණ ය. එය තේරුම් ගෙන කටයුතු කරන්නට ජාතික ඔලිම්පික් කමිටුවේ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ත් සෙසු ක්‍රීඩා සංගම්වලත් අතනොහැරිය යුතු වගකීමක් බව සිහිපත් කළ යුතු ය.

 

 

Comments