ක්‍රිකට් විනය හදන්න පරාජයේ ලෝක වාර්තාව බිඳින්න | සිළුමිණ

ක්‍රිකට් විනය හදන්න පරාජයේ ලෝක වාර්තාව බිඳින්න

 

සියල්ල හරි කියමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නෑසූ කන් ඇතිව වැඩ

'ලෝක වාර්තා තබන්නට ශ්‍රී ලාංකිකයෝ රුසියෝ ය. ක්‍රිකට් ක්‍රීඩාවේ දී ඔවුහු තබා ඇති ලෝක වාර්තා ප්‍රමාණය විශාල ය. ඇතැම් අවස්ථාවන් හි දී ලෝක වාර්තා අසලට ගොස් නවතින්නට සිදු වූ අවස්ථා ද එමට ය. එහෙත් ක්‍රිකට් ක්‍රීඩාවේ දී මෑතක දී තැබූ ලෝක වාර්තාව ආඩම්බර විය හැකි වර්ගයේ වාර්තාවක් නොවේ. මේ ඒ වාර්තාව ගැන ය.'

මේ ලෝක වාර්තාව පිහිටවූයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 8 කින් පරාජය වීමත් සමඟ ය. ඒ එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ වැඩිම තරග ගණනක් පරාජය වූ කණ්ඩායම ලෙසිනි.

එකී පරාජයත් සමඟ එතෙක් මෙතෙක් එනම් 1975-2021 (ශ්‍රී ලංකා එංගලන්ත දෙවැනි තරගය දක්වා) අතර කාලයේ දී ශ්‍රී ලංකාව එක්දින ජාත්‍යන්තර තරග 860 ක් ක්‍රීඩා කර ඉන් තරග 428 ක් පරාජය වී තිබේ. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ක්‍රිකට් ලෝකයේ ලොකු අයියා ඉන්දියාව ය. ඉන්දියාව 1974-2021අතර කාලයේ දී තරග 993 ක් ක්‍රීඩා කර ඉන් තරග 427ක් පරාජය වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව සමඟ මෙරට පැවැත්වෙන එක්දින සහ විස්සයි20 තරගාවලියට එක්වන්නේ තවත් තරගාවලියක පරාජිත අත්දැකීම් සමඟ ය.

දැනට ලොව වැඩිම එක්දින ජාත්‍යන්තර තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇත්තේ ඉන්දියාවයි. එය පෙර දැක්වූවාක් මෙන් 1974-2021 දී එක්දින ජාත්‍යන්තර තරග 993 කි. ඉන් ජය 516 කි. පරාජයන් 427කි. එක්දින ලොව වැඩිම ජයග්‍රහණ ඔස්ට්‍රේලියානුවන් සතු වන අතර එම සංඛ්‍යාව 579 කි. ඔවුන් 1971-2020 අතර කාලයේ දී තරග 955 කට ක්‍රීඩා කර තිබේ. පාකිස්තානය 1973-2021 කාල පරාසය තුළ ක්‍රීඩා කර ඇති තරග සංඛ්‍යාව 933 කි. ඉන් තරග 490 ක් ජය ගෙන ඇති අතර, පරාජය වී ඇති තරග ගණන 414 කි. එංගලන්තය තරග 758 ක් ක්‍රීඩා කර ඉන් තරග 381 ක් ජය ලබා තරග 339 ක් පරාජය වී තිබේ.

ජ්‍යෙෂ්ඨයන් එපා ද?

මේ අතර බංග්ලාදේශය සහ එංගලන්තය සමඟ පැවැති එක්දින අන්තර්ජාතික තරගවලට ක්‍රීඩා නොකළ දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස් ඉන්දියාව සමඟ පැවැත්වෙන තරගාවලියට එක් කර ගන්නවා ද නැද්ද යන්න මෙතෙක් තීරණය කර නොමැති බව තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පැවැසී ය.

එක්දින තරග 3 ක් සහ විස්සයි20 තරග 3 කින් සමන්විත ඉන්දු ලංකා තරගාවලියට සහභාගි වීමට නියමිත ව ඇත්තේ ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුතු ඉන්දීය කණ්ඩායමකි. එංගලන්ත තරග සංචාරය අතරතුර විනය විරෝධීව හැසිරුණේ යැයි චෝදනාවට ලක් වූ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ඉන්දීය තරගාවලියට ද ක්‍රීඩා නොකරන අතර, ඉන්දු - ලංකා එක්දින තරගාවලියේ පළමු තරගය ලබන 13 වැනිදා ආරම්භ වේ.

හිටපු නායකයකු වන ඇන්ජලෝ මැතිව්ස් එක්දින තරග 218 ක දී ලකුණු 5835 ක් සහ කඩුලු 120 ක් දවා ගෙන ඇත. කුසල් ජනිත් පෙරේරාට නායකත්වය ලබා දෙමින් තරුණ කණ්ඩායමක් බංග්ලාදේශ සංචාරයට නම් කරන තෙක් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය දැරූ තවමත් ටෙස්ට් කණ්ඩායමේ නායකයා වන දිමුත් කරුණාරත්න එක්දින තරග 34 ක දී ලකුණු 767 ක් රැස් කර ගෙන තිබේ.

කුසල් පෙරේරාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම බංග්ලාදේශය හමුවේ 2-1 ක් ලෙස එක්දින තරගාවලිය ද, එංගලන්තය හමුවේ 3-0 ක් ලෙස පන්දුවාර විස්සයි-20 තරගාවලිය ද පරාජයට පත් වූ අතර, එක්දින තරගාවලිය ද සම්පූර්ණයෙන්ම පරාජය වී තිබේ.

කොන්ත්‍රාත් අත්සන් නොකළ හොත් අමතර කණ්ඩායමක්

එංගලන්ත සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුමට අත්සන් නොකළ හොත් එම ක්‍රීඩකයන් වෙනුවට සංචිතයට ඇතුළත් කිරීමට ක්‍රීඩකයන් 13 ක් කොළඹ තරු පංතියේ හෝටලයක ‘ජෛව ආරක්‍ෂිත බුබුළක්’ ලෙස සංචිත ගත කර ඇතැයි මේ වන විට වාර්තා වෙයි.

‘දේශීය ජ්‍යෙෂ්ඨ’ කොන්ත්‍රාත්තුවට ඇතුළත් සඳුන් වීරක්කොඩි, මාලින්ද පුෂ්පකුමාර, ළහිරු මධුසංඛ, ජෙෆ්රි වැන්ඩසේ, අෂාන් ප්‍රියංජන්, අසේල ගුණරත්න, මිලින්ද සිරිවර්ධන, ළහිරු ගමගේ, ඩිල්ෂාන් මුණවීර, රොෂේන් සිල්වා, ඇන්ජලෝ පෙරේරා, ප්‍රභාත් ජයසූරිය, සහ චතුරංග ද සිල්වා යන ක්‍රීඩකයෝ එම සංචිතයේ සිටිති.

ඉන්දියාවට එරෙහි ව මේ මස 13 වැනිදා ශ්‍රී ලංකාවේ දී ආරම්භ වන එක්දින සහ විස්සයි20 තරගාවලියට සහභාගි කිරීමට මෙසේ සංචිත ගත කරන බව එම ක්‍රීඩකයන්ට පවසා ඇත.

මෙම සංචිතයට අමතර ව ‘දේශීය කනිෂ්ඨ’ කොන්ත්‍රාත්තුවට ඇතුළත් ක්‍රීඩකයන් 26 ක් දඹුල්ලේ පුහුණු සැසියකට සහභාගි කරවීමට ද කටයුතු කර ඇත.

අතුරු පාලක මණ්ඩලයකට මිස ක්‍රිකට් හදන්න බැරි ද?

ශ්‍රී ලංකාව සමඟින් තරග කිරීමට ඉන්දිය දෙවැනි පෙළක් පැමිණීම රටට අවමන් කිරීමක් බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසා තිබේ. අද කණ්ඩායමේ සිටින ක්‍රිඩකයන් ක්‍රිඩා කරන්නේ රටට නොව තමන්ට බවත් ඒ හේතුවෙන් දෙවැනි පෙළක් නිර්මාණය නොවූ බවත් 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනා දුන් හිටපු නායක රණතුංග පවසා තිබේ.

ඉන්දියාවේ ප්‍රබල ක්‍රිඩකයන් නොමැති ව දෙවැනි පෙළ කණ්ඩායමක් සංචාරයට පැමිණීම මඟින් ‌මෙරට ක්‍රිකට් වැටී ඇති අවමන් සහගත තත්ත්වය පැහැදිලි වන බව ඔහුගේ මතය වී තිබේ.

'දැන් ඉන්දීය කණ්ඩායමක් ඇවිත් ඉන්නවා. මම කියන්නේ නෑ ඒක ඉන්දියාවේ පළවෙනි කණ්ඩායම කියලා. අද ලංකාවේ ක්‍රිකට් පරිපාලනය ඉන්දියාවේ ඉන්න දෙවන කණ්ඩායමත් එක්ක සෙල්ලම් කරන්න අපේ කණ්ඩායමට අනුමැතිය දීලා තියනවා. සාමාන්‍යයෙන් මේ ප්‍රධාන රටවල් අතරින් අපේ ක්‍රිකට් තත්ත්වය පහළ බැහැලා තියෙන්නේ. නමුත් අපිට අනන්‍යතාවයක් තියනවා. අපිට ඉන්දියාවේ දෙවෙනි කණ්ඩායම මේ රටට එනකොට අඩුම ගාණේ පරිපාලනය කරන මිනිස්සුන්ට කියන්න බැරි වුණාද මේ කණ්ඩායම අපි ගන්නේ නෑ කියලා. මොකක්ද මේකේ යට තියෙන්නේ? යැයි ඔහු ප්‍රශ්න කළේ ය.

දැනුම තියන පරිපාලනයක් තිබුණ නම් කවදාවත් මේ වගේ කණ්ඩායමක් ලංකාවට ගේන්නේ නෑ. මේක අපිට කරන ලොකුම අගෞරවයක්. ශ්‍රී ලංකා කණ්ඩායමේ බාගයක් නැතුව එංගලන්තයට යන්න කියන්න, ඉන්දියාවට යන්න කියන්න ඒගොල්ල භාරගන්නේ නෑ.

අපේ කාලේ ක්‍රීඩකයන්ට තිබ්බ ලොකුම දේ තමයි තරග ජයග්‍රහණය කරන එක. මගේ කණ්ඩායමේ හිටියේ නෑ තමන් වෙනුවෙන් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ. හැබැයි අද ක්‍රීඩා කරන පහුගිය කාලවල්වල ක්‍රීඩා කරපු හුඟ දෙනෙක් කළේ තමන්ගේ වාර්තාවලට ගැහුවා මිස කණ්ඩායම් හැදුවේ නෑ. තරුණ පෙළක් හැදුවේ නෑ. ඒ ප්‍රතිඵල අපි විඳිනවා. අපිට තරග පැරදුනාම එළියට යන්න ලැජ්ජයි. එංගලන්තේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට මුහුණ දෙන්න බෑ. අද එහෙම දෙයක් නෑ.

මම දන්නවා මේ ක්‍රිකට් පරිපාලනයේ ඉන්න සමහර මපුද්ගලයෝ ඒගොල්ලන්ගේ ක්‍රීඩකයන්ව තහනම් කරලා අඩු කාලයකින් ඒගොල්ලන්ව නැවත ක්‍රීඩා කරන්න ගන්නවා. මේවයින් තමයි අපිට වැරදුණේ. හැම ක්‍රීඩකයම බැලුවා කොහොම ද කෙටි පාරෙන් ජාතික කණ්ඩායමට යන්නේ කියලා. දැනටත් පරක්කු නෑ. ඉක්මනින්ම අතුරු පාලක මණ්ඩලයක් දැම්මේ නැත්නම් මේ ක්‍රීඩාව නම් ගෙනියන්න හම්බවෙන්නේ නෑ’ යැයි වැඩිදුරටත් කියයි.

ලංකාවට ආවේ ඉන්දීය දෙවන පෙළ කණ්ඩායමක් ද?

මේ වන විට මෙරට තරග සංචාරයක නිරත වන ඉන්දීය කණ්ඩායම ඉතා ශක්තිමත් කණ්ඩායමක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

ඒ, ඉන්දීය දෙවන පෙළ කණ්ඩායමක් ශ්‍රී ලංකා සංචාරය සඳහා යොමු කර ඇති බවට සිදු කෙරෙන චෝදනාවලට ප්‍රතිචාර දක්වමිනි.

ඉන්දීය සංචිතයට ඇතුළත් ක්‍රීඩකයන් 20 දෙනාගෙන් 14 දෙනෙකු ම ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් බව ක්‍රිකට් ආයතනය පවසයි.

එබැවින් එම කණ්ඩායම ඇතැම් පාර්ශ්ව පවසන පරිදි දෙවන පෙළ කණ්ඩායමක් නොවන බව ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

ඉන්දීය සීමිත පන්දුවාර සංචිතය මෙරටට පැමිණ ඇත්තේ ඉන්දීය ටෙස්ට් කණ්ඩායම තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කිරීම සඳහා එංගලන්ත සංචාරයක නිරත ව සිටින අතරවාරයේ දී බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

මේ වන විට ලොව ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායම් ඒ ඒ තරග රටා සඳහා විශේෂ වූ සංචිත හා ක්‍රීඩකයන් බිහි කරමින් සිටින බවත් අදාළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙයි.

සෑම තරග රටාවකම තරගකාරීත්වය වෙනුවෙන් එවැනි ක්‍රියාමාර්ග ගනු ලබන බවත්, බාධාවකින් තොරව ජාත්‍යන්තර තරගාවලි සංවිධාන කිරීමට ද ඒ ඔස්සේ ක්‍රිකට් ආයතන සඳහා අවස්ථාව හිමි වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවදුරටත් නිවේදනය කර ඇත.

 

බන්ධුල ජයමාන්න

Comments