කඩුල්ල මුවා කර දැවී යන තෙවැනි විනිසුරු ගලවා ගන්න එම්.සී.සී. එකට බැරි ද? | සිළුමිණ

කඩුල්ල මුවා කර දැවී යන තෙවැනි විනිසුරු ගලවා ගන්න එම්.සී.සී. එකට බැරි ද?

 

‘ක්‍රිකට් නීති හදන්නේ එම්.සී.සී. නැතහොත් මාර්ලිබෝර්න් ක්‍රිකට් සමාජයේ මූලිකත්වයෙනි. එහි වත්මන් සභාපති වන්නේ කුමාර සංගක්කාර ය. වර්තමානය වන විට ලෝකය තුළ සංශෝධනය විය යුතු නීති රැසක් ඇති අතර ඒ අතරින් තෙවැනි විනිසුරුගේ දැවීයෑමෙන් ඔහු ගලවා ගැනීමට නීතියක් සම්පාදනය කිරීමට අවශ්‍යව ඇත. මේ ඒ සම්බන්ධයෙන් තැබෙන සටහනකි.’

සෑම ක්‍රීඩාවක් ම පවත්වනු ලබන්නේ දෙපාර්ශ්වයක හෝ පාර්ශ්ව කිහිපයක සහභාගිත්වය ඇතිවය. එම තරග ජාත්‍යන්තර, ජාතික හෝ ක්‍රීඩා සමාජ වශයෙන් වර්ගීකරණය කළ හැකි නමුත් ජයග්‍රහණ ලබා දිය යුත්තේ සැබෑ දක්ෂතාවන් ප්‍රදර්ශනය කළ අයවලුන්ටය.

මේ නිසා ජයග්‍රහණය සඳහා ක්‍රීඩක,

ක්‍රීඩිකාවන් දක්වන දක්ෂතා තරමටම විනිසුරුවන්ගේ තීරණ ද එකසේ වැදගත් ය.

ක්‍රිකට් ක්‍රීඩාව දෙස විපරම් කර බැලීමේ දී මුල් කාලයේ තරග විනිශ්චය සිදුකර තිබුණේ අදාළ තරග සඳහා සත්කාරය ලබාදෙන රටේ විනිසුරුවන් විසිනි. මේ නිසා පක්ෂග්‍රාහී තීරණ ලබා දුන් බවට මෙම විනිසුරුවන් බොහෝ විට චෝදනාවට ලක්වුණේ ය.

අපක්ෂපාතීව ජයග්‍රාහකයා තෝරා ගැනීමට ජගත් ක්‍රිකට් සමුළුව ගත් ඊළඟ පියවර වූයේ සත්කාරක රටේ විනිසුරුවකු සමඟ මධ්‍යස්ථ විනිසුරුවකු යෙදවීම ය. මෙම උපක්‍රමය පෙරට වඩා සාර්ථකත්වයක් ඉසුලුවද පක්ෂග්‍රාහී බව එමඟින් සම්පූර්ණයෙන් බැහැර කළ හැක්කක් නොවී ය.

ඇත්ත වශයෙන්ම පියවි ඇසින් බලා ක්ෂණයකින් තීරණය ලබා දිය යුතු බැවින් පිටියේ විනිසුරුවන් අතින් අතපසුවීම් බරපතළ තත්ත්වයක් ලෙස සැලකීම සිදු නොකළ යුත්තක් යැයි සැලකිය හැකි වුව ද ඇතැම් තීන්දු අතිශය පක්ෂග්‍රාහී බව පැහැදිලිව පෙනෙන්ට තිබිණි.

එහෙයින් ක්‍රීඩාවේ උද්යෝගය පවත්වාගෙන යෑමත් සැබෑ දක්ෂයාට ජයග්‍රහණය ලබා දීමත් වෙනුවෙන් ජගත් ක්‍රිකට් සමුළුවට අවශ්‍ය වී තිබුණේ වඩාත් සාධාරණ තීරණ ලබාගැනීම ය. ඊට පිළියමක් වශයෙන් රූපවාහිනි විනිසුරුවරයා හඳුන්වා දෙන්නට ජගත් ක්‍රිකට් සමුළුව කටයුතු කරනු ලැබිණි.

මෙම රූපවාහිනී විනිසුරුවරයා ඔහුගේ තීරණ ලබාදීමට අධිතාක්ෂණික උපකරණයන්හි උපකාර ලබා ගන්නා බැවින් ඔහුට වඩාත් නිවැරැදි තීරණ ලබා දීමේ අවස්ථාව හිමි ව ඇත. පිටියේ විනිසුරුවන් ලබා දෙන තීරණයක් අභියෝගයට ලක්කිරීමේ අවස්ථාව ක්‍රීඩකයන්ට ලැබී ඇත්තේ මේ නිසාය.

එසේ වුවද විශේෂයෙන් ම කඩුල්ල මුවා කිරීමේ වරදට අවසන් තීරණය ලබා දීමට රූපවාහිනි විනිසුරුවරයාට අවසර හිමිව ඇත්තේ පිටියේ විනිසුරුවරයාට යටත්ව වීම මතු කරන්නේ ගැටලු සහගත තත්ත්වයකි. මේ නිසාම කඩුල්ල මුවා කිරීමේ නීතියේ ද දක්නට ලැබෙන්නේ විකෘති බවකි.

මේ සඳහා ආසන්නතම උදාහරණය සපයන්නේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැති පළමු එක්දින තරගයෙනි.

එම තරගයේදී රමේෂ් මෙන්ඩිස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී දැවී යන්නේ මොයින් අලී එවන ලද පන්දුවකිනි. එම පන්දුව රමේෂ්ගේ පිත්තේ නොගැටී පා ආවරණයේ ගැටෙන බව පැහැදිලි ය. එහෙත් එම පන්දුව පිට ඉන්න දෙසින් පතිත වි පා ඉන්න දෙසට ඇදී යන අයුරුද සියුම්ව නිරීක්ෂණය කරද්දී දක්නට ලැබිණි.

මේ අවස්ථාවේ රමේෂ් මෙන්ඩිස් පිටියේ විනිසුරුවරයා ලබා දුන් තීරණය අභියෝගයට ලක් කරනු ලැබීය. මෙම තරගයේ රූපවාහිනී විනිසුරුවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ රිචඩ් කෙට්ල්බ්‍රෝ ය.

ඔහු සියලු අධිතාක්ෂණ උපකරණ භාවිත කරමින් මන්දගාමී පුනරූපණ දසුන් නරඹමින් පන්දුවේ ගමන් මඟ පරීක්ෂා කරනු ලැබීය. ඒ අනුව අදාළ පන්දුව පා ඉන්න පැත්තේ කඩුල්ලේ දැවටෙන්නේ ගෑවී නොගෑවී යන අයුරින් බව ඔහුට පැහැදිලිව දැක ගත හැකි විය. නමුත් පිටියේ විනිසුරුවරයා දැවී ගිය බවට සංඥා කර තිබූ බැවින් රූපවාහිනී විනිසුරුවරයාටද සිදුවුණේ ඒ අනුමානය සාධාරණීකරණය කිරීම ය.

යම් හෙයකින් පිටියේ විනිසුරුවරයා එය දැවීයාමක් නොවන බවට තීරණය ලබා දී තිබිය දී එම තීරණය පන්දු රකින කණ්ඩායම අභියෝගයට ලක් කළේ නම් රූපවාහිනී විනිසුරුවරයා ද කරන්නේ එය දැවීයාමක් නොවන බව පැවසීම යි. ඊට හේතුව එම පන්දුවේ හරි අඩක් කඩුල්ලේ නොගැටීම ය.

එබැවින් කඩුල්ල මුවා කිරීමේ වරදට තීරණයට ලබා දීමේදී පන්දුව යාන්තමින් දැවටීම ප්‍රමාණවත් වීම හෝ පන්දුවේ හරි අඩක් කඩුල්ලේ ගැටීම යන දෙකම එක නීතිය බවට පත් කොට පිටියේ විනිසුරුවරයාගේ ග්‍රහණයෙන් රූපවාහිනී විනිසුරුවරයා නිදහස් කළ යුතුව ඇත.

සංවාදයට විවෘතයි

 

සීවලී එදිරිවීර 

Comments