
රංගන හේරත් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය සලකුණක් තැබූ ක්‍රීඩකයෙකි. දැනට වසර තුනකට පමණ පෙර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ආයුබෝවන් කී හේරත් ගැන පසුගිය දා නැවතත් කතාබහක් ඇති වුණා. බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ගේ පුහුණුකරු තෝරා ගැනීමේ දී හේරත් නමත් ඊට යෝජනා වී තිබුණා.
එහිදී ඔහු සමඟ නවසීලන්ත කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන්නකු වන ඩැනියෙල් විටෝරි ගැනත් කතාබහට ලක් වුණා. පුහුණුකරු තෝරා ගැනීමේ දී බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් මෙන් ම රංගන හේරත් පාර්ශ්වයෙන් ද කොන්දේසි කිහිපයක් ඉදිරිපත්ව තිබූ බව ප්‍රසිද්ධ කාරණයක්. ආරම්භයේ දී රංගන හේරත් ඉදිරිපත් කරපු කොන්දේසිවලට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පැත්තෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නෑ.
ඒ තමාට සේවය ලබාදිය හැක්කේ කෙටිකාලීන පුහුණුකරුවෙක් ලෙස පමණක් බව රංගන හේරත් බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන්ට පැහැදිලිව දැන්වූවා. මුලින්ම බංග්ලාදේශ ක්‍රිකට් පාලකයින් එම කොන්දේසියට එකඟ නොවුණත් පසුව දඟ පන්දු පුහුණුකරු වශයෙන් හේරත්ට කැමැත්ත දක්වන්න ඔවුන් තීරණය කළා. ඒ අනුව රංගන හේරත් එළැඹෙන අයි.සී.සී විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය දක්වා බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති.
රංගන හේරත් මෙන්ම ඩැනියෙල් විටෝරිත් ලෝක ක්‍රිකට් පිටියේ වමතින් දඟ පන්දු යැවූ ක්‍රීඩකයන්වීමත් මෙහිදී විශේෂත්වයක්. එපමණක් නොව දෙදෙනාම ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ කණ්ඩායම් නායකත්වය ද උසුලා තිබෙනවා. විටෝරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වුණත් හේරත් වඩාත් දස්කම් පෑවේ දඟ පන්දුවෙන්. ඒත් ඒකෙන් කියැවෙන්නේ නෑ රංගන හේරත්ට පිතිකරණය බැහැ කියලා.
1999 වසරේදී ගාලු ක්‍රීඩාංගණයේදී ඕස්ට්‍රේලියානු-වන්ට එරෙහිව ටෙස්ට් ක්‍රීඩාවට අත්පොත් තබන හේරත් 2004 වසරේ සිම්බාබ්වේට එරෙහිව පළමු එක්දින තරගයත් 2011 වසරේ ඕස්ට්‍රේලියාවට එරෙහිව පළමු විස්සයි විස්සයි තරගයටත් ක්‍රීඩා කර තිබෙනවා. ටෙස්ට් තරග 93 ඉනිම් 170 ක දී හේරත් කඩුලු 433 ක් දවාගෙන තිබෙනවා. තරගයක කඩුලු 5 සීමාව 34 වතාවකුත් කඩුලු 10 සීමාව 9 වතාවකුත් පසුකරන්න ඔහුට හැකිවෙලා තිබීමත් විශේෂයි. ටෙස්ට් පිතිකරුවකු ලෙස ලකුණු 1699 ක් රැස් කර ඇති හේරත් 2010 වසරේ දී ඉන්දියානු කණ්ඩායම ට එරෙහිව ඉනිමක නොදැවී ලකුණු 80 ක් ලබා ගැනීම ද සුවිශේෂීයි.
එක්දින තරග 71 ක දී කඩුලු74 ක් ද විස්සයි විස්ස තරග 17 ක දී කඩුලු 18 ක් ද හේරත් දවාගෙන තිබෙනවා.
ටෙස්ට් තරගවලට සාපේක්ෂව එක්දින සහ විස්සයි විස්ස පිටියේ හේරත්ට හිමිවුණේ අඩු අවස්ථාවක්. එපමණක් නොවෙයි, ඔහු 2000 සිට 2004 දක්වා වසර 4 ක කාලයක් පුරා ජාත්‍යන්තර පිටියේ කිසිදු තරගයක් ක්‍රීඩා නොකිරීම ද විශේෂත්වයක්.
එම නිසාම ජාත්‍යන්තර පිටිය තුළ හේරත්ට සාපේක්ෂව විටෝරිට වැඩි අවස්ථාවක් හිමි වෙනවා. 1997 වසරේ දී එංගලන්තයට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් පිටියට පිවිසෙන විටෝරි එම වසරේ දී ම ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින වරම් දිනා ගන්නවා. 2007 වසරේ දී පළමු විස්සයි විස්ස තරගය ක්‍රීඩා කරන විටෝරි විස්සයි විස්ස තරග 34 ක ට ක්‍රීඩා කරමින් කඩුලු 38 ක් දවා ගන්නට සමත් වුණා. එසේම එක්දින තරග 295 ක දී කඩුලු 305 ක් සහ ටෙස්ට් තරග 113 ක දී කඩුලු 362 ක් විටෝරිගේ කඩුලු පැස තුළ තිබෙනවා.
සාපේක්ෂව ගත් කල ටෙස්ට් තරගවල දී පන්දු යැවීමෙන් විටෝරි ඉක්මවා ඉදිරියෙන් සිටින්නේ හේරත්. හේරත් තරග 93 ක දී කඩුලු 433 ක් දවා ගන්නා අතර විටෝරි තරග 113 ක දී ලබා ගෙන තිබෙන්නේ කඩුලු 362 ක් පමණයි. ටෙස්ට් දිවියේ කඩුලු පහේ සීමාව 20 වතාවකුත් 10 සීමාව 3 වතාවකුත් පසුකර ඇති විටෝරි එම දස්කම් තුළින් ද සිටින්නේ හේරත්ට වඩා බොහෝ පිටුපසින්. පිතිකරුවෙක් ලෙස විටෝරි ටෙස්ට් පිටියේ ලකුණු 4531 කුත් එක්දින පිටියේ තරග 295 ක දී ලකුණු 2253 කුත් විස්සයි විස්ස පිටියේ තරග 34 ක දී ලකුණු 205 කුත් ලබාගෙන තිබෙනවා. තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස විටෝරි පිතිකරණ අංශයෙන් හේරත් ට වඩා ඉදිරියෙන් සිටින බව පිළිගත යුතුයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් පිටියේ කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් දෙවැනි ක්‍රීඩකයා රංගන හේරත් යැයි කිව යුතුයි. එහෙත් විටෝරි ටෙස්ට් පිටියේ එවන් දස්කමක් දක්වා නැහැ. ඉනිමක කඩුලු 5 අවස්ථාවක් ලබා ගත් වයස්ගතම ක්‍රීඩකයන් අතර හේරත් 12 වැනි තැන පසුවෙද්දී ඉනිමක කඩුලු 5 අවස්ථාවක් ලබාගත් තරුණම ක්‍රීඩකයන් අතර 5 වැනි ස්ථානය හිමිව ඇත්තේ විටෝරිට යි.
එසේම කණ්ඩායම් නායකත්වය දරමින් ටෙස්ට් තරගයක වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයන් අතර පළමු ස්ථානයේ ඉන්නේ රංගන හේරත්. එම දස්කම පෑ ක්‍රීඩකයන් අතර විටෝරි ට හිමිව ඇත්තේ 21 වැනි ස්ථානය යි. නායකයෙක් ලෙස ටෙස්ට් ඉනිමක ලබා ගත් දෙවැනි ඉහළම දස්කම දක්වා ඇත්තේ ද හේරත් විසින්. විටෝරිට එම ලැයිස්තුවේ 16 වැනි තැන හිමිව තිබෙනවා.
ජාත්‍යන්තර පිටියේ පන්දු යවන්නකු ලෙස පන්දු 43661 ක් යවා ඇති විටෝරි ලොව වැඩිම පන්දු සංඛ්‍යාවක් යැවූ ක්‍රීඩකයන් අතර 5 වැනි තැන රැඳී සිටිනවා. හේරත් එම ලැයිස්තුවේ රැඳී ඇත්තේ 22 වැනි ස්ථානයේ යි. ඒ පන්දු 29600 යවමින්. විස්සයි විස්ස පිටියේ හොඳම පන්දු යැවීමේ සාමාන්‍යයට හිමිකම් කියන්නට විටෝරි සමත් වෙද්දි හේරත් විස්සයි විස්ස පිටියේ තරගයක වැඩිම නිලකුණු පන්දුවාර යැවූ ක්‍රීඩකයන් අතර පළමු තැන රැදී සිටිනවා.
ඒ අනුව බලන විට දඟ පන්දු යවන්නන් අතර විටෝරිට වඩා හේරත් බොහෝ තැන්වලදී ඉදිරියෙන් ඉන්නවා. නමුත් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස විටෝරි සිටින්නේ හේරත්ට වඩා බොහෝ ඉදිරියෙන් යැයි අපට පිළිගන්න සිදුවෙනවා. අනෙත් අතට ඩැනියෙල් විටෝරි උප මහාද්වීපික තණතීරු මත ක්‍රීඩා කරන්නෙක් වුණා නම් ඔහු ලබාගන්න කඩුලු සංඛ්‍යාව සාපේක්ෂව තවත් ඉහළ අගයක් ගත හැකිව තිබුණේ යැයි කෙනෙකුට තර්කයක් මතුකරන්නත් හැකි බව පිළිගත යුතුයි.
පසිඳු මිහිරාන් රැටියල










