
'ඈ චෙස් ක්‍රීඩාවේ නියැලෙන්නේ පිය උරුමයෙනි. ඇගේ පියා කලක් මෙරට ඉදිරි පෙළ චෙස් ක්‍රීඩකයකු වූ අතර වෘත්තීමය වශයෙන් චෙස් පුහුණුකරුවකු ලෙස ද කටයුතු කරයි. ඒ උරුමය අනුව යමින් ජාත්‍යන්තරයේ පදක්කම් දිනන්නියක බවට පත්ව සිටින ඇය ගැන ඇගේ මව 'ක්‍රීඩා' හා කළ සංවාදයකි මේ.'
ලෝක චෙස් සම්මේලනයේ කාන්තා කොමිෂන් සභාව විසින් පවත්වනු ලැබූ රැජිණ (QUEENS) අධිවේගී විවෘත චෙස් තරගාවලියේ 1500 සිට 1699 දක්වා ශ්‍රේණිගත කිරීමේ කාණ්ඩයේ රිදී පදක්කම දිනා ගැනීමට කොළඹ මියුසියස් විද්‍යාලයේ 14 හැවිරිදි කේ.එම්. දහම්දි සනුදුලා පසුගියදා සමත්වූවා ය.
මාර්ගගත ක්‍රමයට පැවැති මෙම තරගාවලියේ දී අදාළ තරග කාණ්ඩය යටතේ ලොව හොඳම 12 දෙනා සහභාගි වූ අතර, සනුදුලා ලකුණු 8 ½ක් හිමි කරගත්තේ තරග වට 11න් තරග 8 ක ජය හිමිකර ගනිමිනි. එක් තරග වටයක් ජය පැරදුමෙන් තොරව අවසන් වූ අතර, අනෙක් තරග 2 පරාජයට පත්වූවා ය. ආසියානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තරග වට 11 න් ලකුණු 8 1/2 ක් ලබාගනිමින් දෙවැනි ස්ථානය හිමිකර ගත් සනුදුලා ලෝක තරගාවලියට සුදුසුකම් ලබා තිබිණි.
මෙරට චෙස් ක්‍රීඩා ඉතිහාසයේ ක්‍රීඩිකාවක් ලෝක මට්ටමේ චෙස් තරගාවලියක දී ලැබූ ඉහළම ජයග්‍රහණයක් ලෙස මෙම ජයග්‍රහණය සැලකේ.
ශ්
රී ලංකාවට කීර්තියක් ගෙන දුන් දහම්දි සනුදුලා
ක්‍රීඩිකාවගේ මව වන නිසංසලා මුදලිගේ මහත්මිය එම ජයග්‍රහණයට පාර කැපුණු ආකාරය ගැන විස්තර කළා ය.
“සනුදුලා අපේ පවුලේ එකම දරුවා. මගේ සැමියා චෙස් ක්‍රීඩකයෙක් වගේම චෙස් පුහුණුකරුවෙක්. දුව පාසල් යන්නත් කලින් චෙස් බෝඩ් එකට හුරුවුණා. එහෙම වුණේ තාත්තා නිසා. මගේ සැමියා චෙස් ක්‍රීඩකයෙක් විධියටත් පුහුණුකරුවකු විධියටත් කාර්ය බහුල වුණා. සනුදුලා දුවටත් චෙස් බෝඩ් එක ආගන්තුක වුණේ නෑ. තාත්තා සමග චෙස් ක්‍රීඩා කරන්න පටන් ගත්තා. එයාට ඕනෑ වුණේ තාත්තාව පරාජය කරන්න.”
“එහෙම තමයි දුව චෙස්වලට එකතුවුණේ. දුවගේ මුල්ම පුහුණුකරු වුණේ තාත්තා අංජුල ක්‍රිෂාන්. 2012 අවුරුද්දෙ අග භාගයේ ඉඳලා තමයි පියා යටතේ චෙස් පුහුණු වෙන්න වුණේ. 2013 අවුරුද්දෙදි දුව නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයට ඇතුළත් කළා. 2013 සිට 2016 දක්වාත් තාත්තා යටතේ පුහුණු වුණා. දුව 2016 සිට 2018 දක්වා පුහුණුව ලැබුවේ රොමේෂ් වීරවර්ධන සර් යටතේයි.”
“දුවගේ සමස්ත ලංකා මට්ටමේ පළමු ජයග්‍රහණය තමයි යොවුන් කාන්තා චෙස් තරගාවලියේ දී අවුරුදු 6 න් පහළ ශූරතාව දිනා ගැනීම. ඒ 2013 අවුරුද්දේ දි. ඒ අවුරුද්දෙදිම පැවැති ආසියානු යොවුන් චෙස් තරගාවලියේදී අවුරුදු 6 න් පහළ කණ්ඩායම් රන් පදක්කම දිනා දීමට දායක වුණා. එතැන් සිට මේ දක්වා සමස්ත ලංකා මට්ටමේ පමණක් නොව ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රාශියක් ලැබුවා.”
ඒ ඒ වයස් මට්ටම්වලදී සමස්ත ලංකා මට්ටමේදී ශූරතාවන් සහ අනු ශූරතා රාශියක් දිනාගත් සනුදුලා ලෝක පාසල්, ලෝක යොවුන්, පොදුරාජ්‍ය මණ්ඩල, ආසියානු පාසල් සහ ආසියානු යොවුන් ආදි ජාත්‍යන්තර තරගාවලි රාශියක් නියෝජනය කරමින් තායිවානය, උස්බෙකිස්තානය, ඉන්දියාව, ග්‍රීසිය සහ ඉන්දියාව යන රටවල් වල සංචාරය කිරීමට ද සමත්වූවා ය.
“දුව 2015 අවුරුද්දේ ඉන්දියාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩල චෙස් තරගාවලියේදී අවුරුදු 8 න් පහළ ලෝකඩ පදක්කම දිනාගත්තා. 2016 දී ග්‍රීසියේ පැවැති ලෝක යොවුන් චෙස් තරගාවලියේ දී දැක්වූ දස්කම් නිසා අවුරුදු 8 න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 15 වැනි ස්ථානය හිමිවුණා. දුව 2017 අවුරුද්දේ උස්බෙකිස්තානයේ පැවැති ආසියානු යොවුන් චෙස් තරගාවලියේ දී අවුරුදු 10 න් පහළ අධිවේගී ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තා. ශ්‍රී ලංකාව දිනාගත් එකම පදක්කම හිමිකරගත්තේ මගේ දුව තමයි.”
“දුව 2017 අවුරද්දේම මෙරට පැවැති බටහිර ආසියානු චෙස් තරගාවලියේ දී සම්මත, වේගී සහ අධිවේගී ඉසව් 3 දී ම රිදී පදක්කම් දිනාගත්තා. එහිදී දැක්වූ දස්කම් අනුව දුවට “වුමන් කැන්ඩිඩේට් මාස්ටර්” නාමය හිමි වුණා. ශ්‍රී ලංකා කාන්තා ‘බී’ කණ්ඩායමට එක්වුණේ සංචිතයේ ළාබාලම ක්‍රීඩිකාව ලෙස.”
“2018 වසරේ සිට මේ දක්වා අකිල කාවින්ද සර් යටතේ තමයි පුහුණුව ලබන්නේ. 2018 අවුරුද්දේ ආසියානු පාසල් තරගාවලියේ දී රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා 12 න් පහළ කණ්ඩායම නියෝජනය කළා. එම තරගාවලියේ දී ම වේගී ඉසව්වවෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමටත් ඇයට පුළුවන් වුණා.”
“2019 වසරේ අග භාගයේ දී කොළඹ මියුසියස් විද්‍යාලයට ඇතුළත් වෙනවා.”
“2020 වසරේදී ජාතික ආධුනික කාන්තා තරගාවලියේ ශූරිය වෙන්නේ දුවමයි. ඒ වසරේ දී ම වයස අවුරුදු 14 න් පහළ කාන්තා ග්‍රෝන් ප්‍රී තරගාවලියේ දී ශූරිය වෙන්නෙත් ඇය යි. මෙම 2021 වසරේ දී ද වයස අවුරුදු 14 න් පහළ කාන්තා ග්‍රොන් ප්‍රී තරගාවලියේ ද ශූරිය වෙනවා වාගේම ජාතික කාන්තා ග්‍රෝන් ප්‍රී තරගාවලියේත් ශූරිය වෙනවා. අවුරුදු 14 න් පහළ ආසියානු බාලිකා චෙස් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරමින් 3 වැනි පුවරුව වෙනුවෙන් රන් පදක්කම දිනාගන්නවා. සනුදුලා දුවට වයස අවුරුදු 14 න් පහළ බාලිකා අංශයේ ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම් අනුව අංක 1 ස්ථානය හිමිව තිබෙනවා. ඒ වගේම ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 1717 හිමිවෙලා තියෙන්නේ.”
“දුව ලෝක මට්ටමේ මෙම ජයග්‍රහණ ලබා ගැනීමට සමත්වීම අපේ පවුලට විශාල සතුටක්. මම රැකියාවක් කළා ඩයලොග් සමාගමේ. දුවගෙ දෙස් විදෙස් තරග සංචාර සඳහා මෙන් ම පුහුණුවීම් කටයුතු නිසා මම 2019 වසරේ දී රැකියාවෙන් ඉවත්වුණා. දුව චෙස් ක්‍රීඩාව වගේම අධ්‍යාපන කටයුතු වලටත් කැමැත්තක් දක්වන නිසා ඇයගේ ඉගෙනීම් කටයුතු ගැන බයක් නෑ.”
“දුවට මේ දක්වා දස්කම් දැක්වීමට සහයෝගය දුන් සුජාතා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ආර්.පී. විජේසිංහ මහත්මිය, මියුසියස් විද්‍යාලයේ විදුහල්පතිනි නෙළුම් සේනාධීර මහත්මිය, චෙස් භාර ආචාරිනී කළණි මහත්මිය, විද්‍යාලයේ පුහුණුකරුවන් වන චන්දන විජේකෝන් මහතා සහ සචිනි රණසිංහ මෙනෙවිය, පෞද්ගලික පුහුණුකරුවකු
වූ රොමේෂ් වීරවර්ධන මහතා, වත්මන් පුහුණුකරු වන අකිල කාවින්ද මහතා වගේම ලක්මාල් අමරසේකර මහතා, ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපති ලක්ෂ්මන් විජේ-සූරිය මහතා ඇතුළු නිල-ධාරීන්ටත් පාසලේ චෙස් ක්‍රීඩිකාවන්ට සහ ඔවුන්ගේ දෙමව්පියන්ටත් අපගේ ස්තූතිය පිරිනමනවා.”
“දුව සුජාතා බාලිකා විද්‍යාලයේදී චෙස් කණ්ඩායමේ නායිකාව වුණා. කුඩා මිතුරි කණ්ඩායමේ සාමාජිකයකු වුණා. ඉගෙනීමේ කටයුතු චෙස් ක්‍රීඩාවත් සමගින් සමබරව කරගෙන යනවා. දුව ගණිත විෂයට වැඩි කැමැත්තක් දක්වනවා. අවුරුද්දකට තරගාවලි රාශියකට සහභාගි වුණාම මඟහැරෙන පාඩම් වැඩ ඉතාමත් ඉක්මනින් උනන්දු වෙලා ඉගෙන ගන්නවා. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත්වෙලා ඉංජිනේරුවෙක් වෙන්න තමයි දුවගේ අපේක්ෂාව. ඒ වගේම චෙස් ක්‍රීඩාවෙන් වුමන් ෆිඩේ මාස්ටර්, වුමන් ඉන්ටර්නැෂනල් මාස්ටර් සහ වුමන් ග්‍රෑන්ඩ් මාස්ටර් කෙනෙක් වෙන්නත් දුවට විශාල උවමනාවක් තිබෙනවා.”
ඉෂානි යද්දෙහි
 









