අමෙරිකාවේ ක්‍රිකට් ගහන්න ශ්‍රී ලංකා ක්‍රීඩක රොත්තක් | සිළුමිණ

අමෙරිකාවේ ක්‍රිකට් ගහන්න ශ්‍රී ලංකා ක්‍රීඩක රොත්තක්

අමිල අපෝන්සු

 

'අමිල අපෝන්සු අමෙරිකාවේ ක්‍රිකට් ක්‍රීඩා කරන්න යන බවට පසුගිය කාලයේ සුවිශාල කතාබහක් නිර්මාණය වී තිබුණා. ඒ අතර කියැවුණු ප්‍රධානම කාරණය වුණේ ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නැවතීමේ තිත තබා ඇති බව. 'ක්‍රීඩා' වෙත අදහස් දැක් වූ අපෝන්සු පාර්ශ්වය ප්‍රකාශ කළේ එවැනි ප්‍රවෘත්තියකට තටු ලැබුණේ කෙසේ දැයි තමන් නොදන්නා බවකුයි. අමෙරිකාවට ගියත් ඒ තාවකාලික පදනම යටතේ සිදුවන්නක් බවයි ඔහු සඳහන් කළේ. මේ ඔහුගේ අමෙරිකානු තරග සංචාරය හා ඒ සම්බන්ධයෙන් සඳහන් වන ප්‍රවෘත්ති විශේෂාංගයක්.'

ලොව බලවත්ම රාජ්‍යය අමෙරිකා එක්සත් ජනපදය බව ක්‍රීඩාවෙන් ද ඔවුන් තහවුරු කළත් ක්‍රිකට් ක්‍රීඩාව පාර්ශ්වයෙන් ගනිද් දී එය ඒ තරම්ම සාධාරණ ප්‍රකාශයක් නොවෙයි. ඒ ඔවුන් තවමත් ක්‍රිකට් ක්‍රීඩාව තුළ අංකුර අවධියේ පසුවන නිසයි. එය එසේ යැයි කියා ඔවුන් බලා සිටින්නේ නැති බවත් පැහැදිලි ව දැක්විය යුතුයි. ඒ වෙනුවට ඔවුහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ජය ගැනීම වෙනුවෙන් බෝහෝ සැලසුම් සහගත ව ඉදිරියට ගමන් කරමින් සිටියි.

ඉදිරි දිනවල දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ජය ගත් විදෙස් ක්‍රීඩකයන් රාශියකගේ මෙන්ම පළමු පෙළ ක්‍රිකට් පිටියේ දස්කම් දැක් වූ විදෙස් ක්‍රීඩකයන් සහ දේශීය ක්‍රිකට් පිටියේ දස්කම් දක්වන ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම් 27ක් සහභාගි වන අමෙරිකා මයිනර් ලීග් ක්‍රිකට් තරගාවලිය (America Minor League Cricket) පැවැත්වීමට සංවිධානය කොට ඇත්තේ ඒ අනුවයි.

මෙම පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියට එක්වන විදෙස් ක්‍රීඩකයන් අතරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ද ඇතුළත්. ඒ අතුරින් මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාව හැරගිය හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය වගේම පසුගිය දා අමෙරිකාවට සංක්‍රමණය වුණු අමිල අපෝන්සුත් ඇතුළත්.

ක්‍රීඩකයින් 2000 කට වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩකයින් 432 දෙනෙකු මෙම තරගාවලියේ කණ්ඩායම් 27 වෙනුවෙන් තෝරා ගෙන තිබුණා.

ෂෙහාන් ජයසූරිය මෙම තරගාවලියේ දී සිලිකන් වැලි ස්ට්‍රයිකර්ස් පිල නියෝජනය කිරීමට තෝර‍ගෙන ඇති අතර, අමිල අපෝන්සු ඇට්ලන්ටා ෆයර් පිලට තෝරා ගෙන තිබෙනවා.

රෝයි සිල්වා (ෆෝර්ට් ලෝඩර්ලේඩ් ලයන්ස්), ඉසුරු කුරුවිටගේ (ෆෝර්ට් ලෝඩර්ලේඩ් ලයන්ස්), රුවිඳු ගුණසේකර (නිව් ජර්සි සමර්සෙට් කැවිලීයර්ස්), ගයාන් ප්‍රනාන්දු (සොකැල් ලාෂින්ග්ස්), ෂෙහාන් ප්‍රනාන්දු (හොලිවුඩ් මාස්ටර් බ්ලාස්ටර්ස්) සහ ධ්‍යාන් රණතුංග (හොලිවුඩ් මාස්ටර් බ්ලාස්ටර්ස්) යන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ක්‍රීඩකයන් කිහිපදෙනෙක් ද මෙම තරගාවලියට තෝරා ගෙන සිටිනවා.

දක්ෂතා දුර්වල වීම නිසා ලෝකයේ බොහෝ ක්‍රිකට් ලීග්වලින් ආරාධනා නොලබන නිසා අමෙරිකාවේ පැවැත්වෙන තරගාවලියකට හරි මේ ආකාරයෙන් ආරාධනා ලැබීම සතුටට කරුණක් වුවත් මේ හැම දෙයකින්ම කියැවෙන අනාවැකි එතරම් සුබදායක නැති බව සිතන්න වෙනවා.

තරගාවලියට එක්වන කණ්ඩායම්

නිව් එංග්ලන්ඩ් ඊගල්ස්, නිව් ජර්සි සමර්සෙට් කැවිලීයර්ස් ක්‍රිකට් සමාජය, නිව් ජර්සි ස්ටැලියන්ස්, එම්පයර් ස්ටේට් ටයිටන්ස්, මෑන්හට්න් යෝකර්ස්, ද පිලඩෙල්පියන්ස්, ඩීසී හෝක්ස්, බේ බ්ලේසර්ස්, හොලිවුඩ් මාස්ටර් බ්ලාස්ටර්ස්, සොකැල් ලාෂින්ග්ස්, ගෝල්ඩන් ස්ටේට් ග්‍රිස්ලීස්, සැන් ඩීගෝ සර්ෆ් රයිඩර්ස්, සියැට්ල් තන්ඩර්බෝල්ට්ස්, ඔස්ටින් ඇත්ලටික්ස්, චිකාගෝ බ්ලාස්ටර්ස්, චිකාගෝ කැචර්ස්, අර්වින්ග් මස්ටෑන්ග්ස්, හූස්ටන් හරිකේන්, මිචිගන් ක්‍රිකට් ස්ටාර්ස්, සේන්ට් ලුයිස් ඇමෙරිකන්ස්, ඇට්ලන්ටා ෆයර්, ඇට්ලන්ටා පරම් වීර්ස්, ෆෝර්ට් ලෝඩර්ලේඩ් ලයන්ස්, ෆ්ලෝරිඩා බීමර්ස්, මොරිස්විල් කාර්ඩිනල්ස්, ඔර්ලන්ඩෝ ගැලැක්සි.

 

ඉෂානි යද්දෙහි

Comments