අපේක්ෂාවට අවැසි නම් අහස මත වුව ඇවිද යා හැකිය | සිළුමිණ

අපේක්ෂාවට අවැසි නම් අහස මත වුව ඇවිද යා හැකිය

 

මම කුඩා කාලයේ ඉඳන් දැකපු සිහිනයක් තමයි 'වයර් වෝකර්' කෙනෙක් වෙන එක. ඒ වෙනුවෙන් මම උපරිම කැපකිරීම් කළා.

ඔබ පිළිගන්නවා හැමෝටම හීන තියෙන බව. ඒ හීන වෙනුවෙන් හැමෝම කැප වෙනවා. ඉතින් මාත් ඒ වෙනුවෙන් කැප වෙනවා.

මම ඔබටත් කියන්නේ ඔබට යමක් කිරීමට ඇත්නම් කලබල වෙන්න එපා. ඔබ කලබල වෙනවා කියන්නෙම ඔබ ඒ දේ හරියට කරන්නේ නෑ කියන එක.

 

මේ ලෝකයේ සිටින මිනිසුන් විවිධාකාර යි. ඔවුන්ට විවිධ විවිධ අදහස් තිබෙනවා. ඒ සමහර අදහස් හරි සුන්දර යි. ඒ වගේ ම තවත් සමහර අදහස් බොහෝ බියජනක යි. ඔබට හිතුනොත් කවදා හරි දිනෙක අඩි දහසකට වඩා උස ගොඩනැගිලි දෙකක් යා කරමින් කඹයක් බඳින්න ඒක විසුළුවක් වගේ. එසේ ගොඩනැගිලි දෙක බැඳලා නිකං ඉන්නේ නැතිව ඒ කඹය දිගේ සමබරව ඇවිද යන්න සිතුණොත් ඒක උමතුවක් කියලාත් කියන්න පිළිවන්.

එය කරන්න පුළුවන් දෙයක් ද? එකවරම ඒ කියන ගැටලුව එනවා. වෘත්තියෙන් ක්‍රීඩාවක් හා රඟදැක්වීමක් ලෙස කම්බි මත ඇවිදයන්නකු වුවත් ඒ සිතුවිල්ල සම්බන්ධයෙන් දෙපාරක් හිතන්න පෙළඹෙනවා නිසැකයි. නමුත් එක්තරා පුද්ගලයෙක් මේ කියන අරුමැසි හා භයංකර ක්‍රියාව සිදු කළා.

ඒ කාර්යය කරන්න ඔහු තෝරාගෙන තිබුණේ අමෙරිකා එක්සත් ජනපදයේ ගොඩනැගිලි ද්විත්වයක්. එවකට ඒ ගොඩනැගිලි අඩි 1350 කට වඩා උසින් අධිකයි. ඒවා තමයි අමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි ද්විත්වය. ඒ හරහා කම්බියක් බැඳ විනාඩි 45 කට ආසන්න කාලයක් ඒ මත දෙපැත්තට ඇවිද යන්න අපේ කතානායකයා කටයුතු කළා.

සමහර අයකුට හිතෙන්න පුළුවන් මෙය ක්‍රීඩාවක් ද කියා. වෘත්තිමය වශයෙන් ක්‍රීඩාවක් නොවූවත් එය ක්‍රීඩාවක් ලෙස සලකමින් එවැනි අභියෝගාත්මක ව්‍යායාමයේ නියැළෙන පුද්ගලයන් මේ ලෝකයේ සිටිනවා. අප රට තුළ දක්නට නොලැබුණත් විදෙස් රටවල සර්කස් කණ්ඩායම්වල මෙවැනි ක්‍රීඩකයන්, රඟදක්-වන්නන් සිටිනවා. එවැනි පුද්ගලයකු ගේ චරිතය වටා නිර්මාණය වූ චිත්‍රපටියක් ලෙස The Walk (2015) හැඳින්විය හැකි යි.

“මිනිස්සු මගෙන් අහනවා ඇයි ඔබ වයර් එකක් උඩ ඇවිදින්නේ කියලා. ඒ වගේම මගෙන් අහනවා විශාල උසකින් යුත් ස්ථානයක බඳින ලද වයර් එකක් උඩ ඇවිදීම ජීවිත අවදානමක් නැද්ද කියලා. ඇයි මම මැරෙන්න දඟලන්නේ කියලාත් ඔවුන් ඒ එක්කම අහනවා. හැබැයි ඒ මිනිස්සු නොදැක්ක දෙයක් තියෙනවා. මම කුඩා කාලයේ ඉඳන් දැකපු සිහිනයක් තමයි 'වයර් වෝකර්' කෙනෙක් වෙන එක. ඒ වෙනුවෙන් මම උපරිම කැපකිරීම් කළා. ඔබ පිළිගන්නවා හැමෝටම හීන තියෙන බව. ඒ හීන වෙනුවෙන් හැමෝම කැප වෙනවා. ඉතින් මාත් ඒ වෙනුවෙන් කැප වෙනවා. හීන දැක්කට වැඩක් නැහැ සැබෑ කර ගන්න උත්සාහ කරන්නේ නැතිනම්.”

මේ පිලිප් පෙටී. 1949 අගෝස්තු 13 වැනි දා ප්‍රංශයේ උපත ලබන සර්කස්වලට දැඩි ලෙස ඇලුම් කරන්නෙක්. තම ගමට පැමිණි වයිට් ඩෙවිල්ස් සර්කස් කණ්ඩායමේ 'වයර් වෝකර්' දැකපු ඔහු එය උගන්වන ලෙස එම කණ්ඩායමේ ප්‍රධානියා වන රූඩි ගෙන් ඉල්ලා සිටිනවා. නමුත් මේ මුරණ්ඩු, හික්මීමක් නැති තරුණයාව අඩි 20 ක් පමණ උස වයර් එකක් මත නැග්ගවීමට සුදුසු නැති බවයි කණ්ඩායම් ප්‍රධානියා නිගමනය කරන්නේ.

“තමුන් වයර් වෝකර් කෙනෙක් වෙන්න සුදුසු නැහැ. ඒකට දැඩි හික්මීමක් තියෙන්න ඕනැ. ඒ වගේ ම තමන්ගේ දස්කම් දිහා බලා සිටින ප්‍රේක්ෂකයන්ට ගෞරවාචාර කරන්න ඕනැ. ඒක හදවතින් ම විය යුතු දෙයක්.”

වයිට් ඩෙවිල්ස් කණ්ඩායමේ නායකයාගේ ප්‍රතික්ෂේප කිරීම හමුවේ අපේ කතා නායකයා තම නිවසේ ගස් දෙකක බඳින ලද කඹයක් මත ඇවිද තමන්ගේ සිහිනය වෙනුවෙන් පුරුදු පුහුණු වෙන්න පටන් ගන්නවා. නමුත් ඔහුගේ මේ උත්සාහයට ඔහුගේ පියාගේ විරෝධය දිගින් දිගටම එල්ල වෙන්න පටන් ගන්නවා.

“තමුසේ මහා පිස්සෙක්. විහිළුකාරයෙක්. තමුසෙ හරියන්නෙ ම සර්කස්වලට. ඒ නිසා අපිට අවනම්බු නොකර මේ ගෙදරින් යනවා.” ඔහු කියනවා. අවසානයේ ඔහුට සිය නිවස ද අහිමි වෙනවා. නමුත් කවදාහරි වෘත්තියෙන් වයර් වෝකර් කෙනෙක් වන බවට දැඩි අධිෂ්ඨානය මත ඔහු නගරය බලා පිටත් වෙනවා. ප්‍රංශයේ නගරයේ වීථි මත වයර් වෝකර් කෙනෙක් ලෙස සිටියත් අහඹු ලෙස ඔහු අරුමැසි පුවතක් දකිනවා. ඒ තමයි අමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ වැඩ අවසන් වී ඇති බව සඳහන් කළ පුවත්පත් වාර්තාවක්. අඩි 1350 කට වඩා උස ගොඩනැගිලි දෙකක් හරහා බඳින ලද කම්බියක ඇවිදීමේ සිහිනය ඔහු තුළ පහළ වන්නේ එය දැකීමෙනුයි. ඒ පුවතින් කුළු ගැන්වෙන ඔහු නැවතත් 'වයිට් ඩෙවිල්ස්' කණ්ඩායමේ ප්‍රධානී රූඩි හමුවෙනවා. ඔහුට මුදල් ලබා දී වයර් වෝකර් කෙනෙක් ලෙස වෘත්තිමය පුහුණුවක් ලබාගන්න මේ අනුව පෙටීට අවස්ථාව හිමිවෙනවා. එහිදී ඇවිදින වයරය ගැටගසන ක්‍රමයේ සිට අධික සුළඟ හමුවේ සමබරතාව පවත්වා ගැනීම ආදී සෑම දෙයක් ම ඔහු ඉගෙන ගන්නවා.

එහි පළමු අත්හදා බැලීම ලෙස නොට්‍රඩෑම් පල්ලියේ කුළුණු දෙක මැද වයර් එක බැඳ ප්‍රසිද්ධියේ ඇවිදීම සිදු කරනවා. එය සාර්ථක වුවත් පෙටීට සිදුවන්නේ පොලිස් අත්අඩංගුවට පත්වීමටයි. ඒ එය නීති විරෝධී ක්‍රියාවක් බව පවසමින්. එම සාර්ථකත්වයත් සමඟ ඔහු තම කණ්ඩායම එක්ක එකතුවෙලා අමෙරිකාවට එනවා. එහෙම එන්නේ ලොකු ඉලක්කයක් සම්පූර්ණ කරගන්න අපේක්ෂාවෙනුයි.

එහෙම ඇවිත් මාස ගණනාවක් පුරා මේ කුළුණු දෙක අතර ඇවිදීමට අවශ්‍ය සැලසුම් සකස් කරනවා. එය ලේසි පහසු කටයුත්තක් වන්නේ නෑ. මොකද අඩි 1350 කට වඩා උස කුළුණු දෙක මැදට අත්ලන්තික් සයුරා හරහා අධික වේගයෙන් හමන සුළඟට පවා සිය සමබරතාව නැති විය හැකි බැවින් ඔහු ඒ වෙනුවෙන් ද විශේෂ පුහුණුවක් ලබනවා.

අවසානයේ ඔහු තම ජීවිතය තුළ සැලසුම් කළ ඒ අපූරු දිනය උදා වෙනවා. එම දිනය තමයි 1974 අගෝස්තු 7 වැනිදා. ඔහු ඊට පසු දින රාත්‍රියේ රහසේම කුළුණු දෙක මැදින් වානේ කේබල් එකක් සවි කරනවා. විශාල බාධක මැද අගෝස්තු 6 වැනිදා හිරු උදා වෙනවාත් සමඟ ම ඔහු ගොඩනැගිලි දෙක අතර ඇවිද යාම සිදු කරනවා. මෙහි ඇති තවත් සුවිශේෂත්වයක් වන්නේ සාමාන්‍ය වයර් වෝකර් කෙනෙක් ඇවිදීම සිදු කරන විට යටින් දැලක් යෙදීම සහ ආරක්ෂිත උපකරණ පැලදීම කරන නමුත් පිලිප් පෙටී මේ කිසිවක් නොකිරීම. ඔහු එක් වරක් ඒ මත ඇවිද යනවා. නමුත් ඔහු එයින් තෘප්තියට පත් වන්නේ නැහැ. පෙටී නැවතත් කම්බිය මතට ගොඩ වෙනවා. ඔහු ඒ මත ඉදිරියට, පසුපසට ඇවිදිනවා, දෙපැත්තට මාරු වෙනවා, ඒ මත වාඩි වී සිටිනවා, නිදා සිටිනවා. විනාඩි 45කට අධික කාලයක් ඔහුගේ මේ දස්කම පහළ සිටින විශාල පිරිසක් නරඹනවා. ප්‍රීති ඝෝෂා කරනවා. වසර ගණනාවක් තිස්සේ තමන් කළ මහා කැපවීම ඒ ආකාරයෙන් සාර්ථක වෙනවා. නමුත් ඒ සාර්ථකත්වයට ඔහුට ලැබෙන ත්‍යාගය තමයි පොලිස් අත්අඩංගුවට පත්වීමට සිදුවීම. නමුත් වැඩි වේලාවක් ඔහුට එසේ සිටීමට හැකි වන්නේ නැහැ. ඔහු අත්අඩංගුවට පත්වුවත් ඔහු වෘත්තියෙන් වයර් වෝකර් කෙනෙක් ලෙස අධිකරණයෙන් පිළිගෙන නිදහස් කරනවා.

“මා අත්අඩංගුවට පත් වුණත් මගේ සිහිනය මා ජය ගත්තා. ඒ නිසා මම ඔබටත් කියන්නේ ඔබට යමක් කිරීමට ඇත්නම් කලබල වෙන්න එපා. ඔබ කලබල වෙනවා කියන්නෙම ඔබ ඒ දේ හරියට කරන්නේ නෑ කියන එක. වයර් එකක් මත ඇවිදීමට සේම ඕනෑ ම ක්‍රීඩාවකට ද මෙය පොදු යි. මානසික සංයමය අත්‍යාවශ්‍ය කරුණක්.”

පිලිප් පෙටීගේ මෙම වීර ක්‍රියාව සම්බන්ධයෙන් චිත්‍රපටි 15 ක් නිර්මාණය වෙනවා. 1983 සිට 2015 දක්වා එම චිත්‍රපටි 15 නිර්මාණය වන අතර 15 වැනි චිත්‍රපටිය ලෙස 'The Walk' යනුවෙන් ගොඩනැංවූ සිනමා සිතුවම හැඳින්විය හැකියි.

එය ඔහු විසින් රචිත 'The Reach the Clouds' නම් ග්‍රන්ථය ආශ්‍රයෙන් Robert Zemeckis විසින් නිර්මාණය කර තිබෙනවා. එසේ ම මෙම චිත්‍රපටිය තිරගත වූ පළමු සතියේ ම ආදායම් වාර්තා බිඳ දැමීමට එයට හැකිවීමත් විශේෂයක්. මෙහි පිලිප් පෙටීගේ චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය නළු Josph Gordon Levitt විසිනුයි. ඊට අමතරව මෙම චිත්‍රපටිය Best Visual Effect කොටස යටතේ සම්මාන කිහිපයක් ද ලබා ගැනීමට සමත්වීම විශේෂත්වයක්.

දිනුක මලින්ද හේරත්

Comments