අද වැනි දවසක.. | සිළුමිණ

අද වැනි දවසක..

 

ක්‍රීඩා පිටියේ සුවිශේෂ මතක සටහන් අතර නිදන්ව ඇති අමරණීය සිදුවීම් ප්‍රමාණය අතිවිශාල ය. ඒ අතරින් අද (11) වැනි දිනය තුළ ලෝක ක්‍රීඩා ඉතිහාසයට එක්ව තිබෙන සිදුවීම් ප්‍රමාණය අතිමහත් ය.

එහෙත් එම සිද්ධි අතරින් අසීරුම කාර්යය වන්නේ වඩාත්ම රසවත්ම සිදුවීම් මතුකර ගැනීම ය. ඒ අනුව සලකන කල්හි 1912 වසරේ ජූලි 11 වැනි දා ස්වීඩනයේ ස්ටොක්හෝම් නරගයේ පැවැති ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ට අයත් පිරිමි රිටි පැනීමේ ඉසව්ව ආශ්‍රයෙන් සටහන්ව ඇති සිදුවීම නැවත ආවර්ජනය කළ යුත්තකි.

සාමාන්‍ය‌ෙයන් ඔලිම්පික් ක්‍රීඩා උලෙළක ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගවල දී රන්, රිදී හා ලෝකඩ වශයෙන් පදක්කම් තුනක් පිරිනැමීම සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් එම සිරිත පළමු වරට වෙනස්කමකට භාජනය වූ වසර 1912 ලෙස දැක්විය හැකි ය.

එවර ඔලිම්පික් තරගාවලිය පැවැතුණේ ස්ටොක්හෝම් හි දී ය. එහි දී පිරිමි රිටි පැනීමේ ඉසව්ව සඳහා පදක්කම් 06 ක් ප්‍රදානය කිරීමට සංවිධායකයන්ට සිදුවී තිබීම කැපී පෙනෙන සිදුවීමකි. ඊට හේතු වී තිබුණේ රිදී පදක්කම වෙනුවෙන් අමෙරිකානු ක්‍රීඩකයන් දෙපළක් වන ෆ්‍රැන්ස් නෙල්සන් හා මාර්ක් රයිට් මීටර් 3.85 ක් ලෙස සම දක්ෂතා දක්වා තිබීම හා ලෝකඩ පදක්කම වෙනුවෙන් තවත් අමෙරිකානු ක්‍රීඩකයකු වන ග්‍රැන්ක් මර්ෆි, ස්වීඩන් ක්‍රීඩක බර්ටි උග්ලා හා කැනඩා ක්‍රීඩක විලියම් හෙල්වේන් යන ක්‍රීඩකයන් තිදෙනාම මීටර් 3.80 ක උපරිම දස්කම් දක්වා තිබීමය.

මෙම ඉසව්වේ රන් පදක්කම මීටර් 3.95 ක උසක් තරණය කොට දිනාගෙන තිබුණේ අමෙරිකානු ක්‍රීඩක හැරී බාබොන් ය. ඒ අනුව පදක්කම්ලාභීන් අතරට ඇමෙරිකානු ක්‍රීඩකයන් සිව්දෙනෙකුම ඇතුළත්ව සිටියේ ය.

එම ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සහභාගී කරවන අමෙරිකානු ක්‍රීඩකයන් තෝරා ගැනීම පිණිස පවත්වන ලද තේරීම් පරීක්ෂණයේ දී මාර්ක් වයිට් මීටර් 4.00 සීමාව ඉක්මවා දස්කම් දැක්වුව ද ඔලිම්පික් තරගයේ දී ඔහුට එම උස තරණය කිරීමට නොහැකි විය. එවර රන් පදක්කම දිනා ගන්නට අමෙරිකානු ක්‍රීඩක හැරී බාබොක්ට මීටර් 3.95 ක උසක් තරණය කිරීම ප්‍රමාණවත් වූ අතර එය ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ නව වාර්තාවක් ලෙසද සටහන් විණි.

ලෝකඩ පදක්කමේ එක් හිමිකරුවකු වූ ග්‍රැන්ක් මර්ෆිට එම සීමාවෙන් ඉදිරියට යන්නට උත්සාහ කිරීමට නොහැකි වූයේ ඔහුගේ අවසන් උත්සාහයේදී ඉල ඇට දෙකක් බිඳී යෑම හේතුවෙනි.

නමුත් බර්විල් උල්ගා මෙන්ම විලියම්හෙල්පෙනී ද ලෝකඩ පද්කම්ලාභීන් බවට පත්ව තිබුණේ ඔවුන් දෙදෙනාම මීටර් 3.85 තරණය කිරීමට අපොහොසත් වූ බැවිනි.

මීට අමතරව සෑම්, බෙල් (3.75) ෆ්‍රැන්ක් යන අමෙරිකානු ක්‍රීඩකයන් පදක්කම් දිනා නොගත් තරගකරුවන් අතර මුල් ස්ථාන හිමි කර ගෙන සිටීම ද විශේෂිත සිදුවීමක් ලෙස සටහන් වී තිබිණ.

ඔලිම්පික් රිටි පැනීමේ තරගයක දී පදක්කම් 6 ක් ප්‍රදානය කරන ලද පළමු අවස්ථාව ඉතිහාසයට එක් කෙරුණේ ජූලි 11 වැනිදාක, නැත හොත් අද වැනි දිනකය.

 

සීවලී එදිරිවීර 

Comments