![එවරස්ට් තරණය යනු ලොවපුරා කඳු නගින්නන්ගේ පමණක් නොව පෘථිවියේ සුන්දරත්වය ආශ්වාදය කරන්නන්ගේ විශාල බලාපොරොත්තුවකි. එය ඉටු කර ගැනීමට තම ජිවිත වුවද පරදුවට තැබීම බොහෝ දෙනා දෙවරක් සිතන්නේ නැත. ලොව පුරා පැතිර යන කොවිඩ් වසංගතයට එන්නත මඟින් මඳ විරාමයක් ලබා ගත් අවස්ථාවේදී හැකියාවක් ලැබුණු බොහෝ දෙනා එවරස්ට් තරණයට එක්වූයේ එබැවිනි. එහෙත් පසුගියදා එවැනි පිරිසකට මඟ පෙන්වමින් සිටි නේපාලයේ ෂර්පා ජාතික ජන්ග්බු ෂර්පා අතරමගදී උණ සහ කැස්සෙන් පීඩා විඳින්නට වූයේය. එය ගණනකට නොගත් ඔහු දිගටම ගමනේ නිරත වුවද අඩි 17,600 උසකදී ඔහුගේ රෝග ලක](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2021/07/02/00000.jpg?itok=E4pdJQnp)
එවරස්ට් තරණය යනු ලොවපුරා කඳු නගින්නන්ගේ පමණක් නොව පෘථිවියේ සුන්දරත්වය ආශ්වාදය කරන්නන්ගේ විශාල බලාපොරොත්තුවකි. එය ඉටු කර ගැනීමට තම ජිවිත වුවද පරදුවට තැබීම බොහෝ දෙනා දෙවරක් සිතන්නේ නැත. ලොව පුරා පැතිර යන කොවිඩ් වසංගතයට එන්නත මඟින් මඳ විරාමයක් ලබා ගත් අවස්ථාවේදී හැකියාවක් ලැබුණු බොහෝ දෙනා එවරස්ට් තරණයට එක්වූයේ එබැවිනි.
එහෙත් පසුගියදා එවැනි පිරිසකට මඟ පෙන්වමින් සිටි නේපාලයේ ෂර්පා ජාතික ජන්ග්බු ෂර්පා අතරමගදී උණ සහ කැස්සෙන් පීඩා විඳින්නට වූයේය. එය ගණනකට නොගත් ඔහු දිගටම ගමනේ නිරත වුවද අඩි 17,600 උසකදී ඔහුගේ රෝග ලක්ෂණ වඩාත් දරුණු වූයෙන් ඔහුව ගුවන් මඟින් කත්මණ්ඩු දක්වා ගෙන ඒමට කටයුතු යෙදිණි. කත්මන්ඩු නගරයේදී සොයා ගනු ලැබුවේ ජන්ග්බු ෂර්පා කොවිඩ් ආසාදිතයකු බවයි.
ඒ අනුව ලෝකයේ වැඩිම උසකදී වාර්තා වූ කෝවිඩ් ආසාදිතයා ලෙස ජන්ග්බු ෂර්පා ඉතිහාස ගත වූ නමුත් මේ වන විටත් ඔහු ඇතුළු ෂර්පාවරු පසුවන්නේ සතුටකින් නොවන බව නම් පැවසේ. එසේ වීඇත්තේ කොවිඩ් හේතුවෙන් එවරස්ට් තරණ සමය නිශ්ඵල වීමත්, ඒ අතර තමන්ද රෝගීන් බවට පත් වීමෙන් තමන් සතු කඳු නැගීමේ හැකියාවන්ට තදබල අවාසියක් සිදුවීමත්ය.
මේ සම්බන්ධව අවධානය යොමු කර ඇති නේපාල රජය සංචාරක කටයුතු සඳහා මැදිහචත් වන නේපාල ජාතිකයන් කොවිඩ් ආසාදිතයන් නොවන බවට සහතියක් ලබා දීමට කටයුතු කරන බවට ප්‍රකාශ කර තිබේ. එහෙත් මේ වන විට නේපාලය දැඩි ලෙස පැතිර යන කොවිඩ් වයිරසයෙන් පීඩා විඳිමින් සිටින අතර එන්නත් හිඟය හේතුවෙන්ද පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
ඉන්දියාවේ ඇරඹි කළු දිලීර රෝගය ආසාදනය වූ විශාල පිරිසක් මේ වන විට නේපාලයෙන්ද වාර්තා වී ඇති අතර මේ රෝගය ඇති වීමට හේතුව ලෙස සඳහන් වන්නේ කොවිඩ් ආසාදනය වැළැක්වීමට දැඩි ලෙස හුමාලය ආශ්වාස කිරීමයි. කත්මණ්ඩු ඇතුළු නගර කිහිපයකම රෝහල්වල ප්‍රමාණවත් ඖෂධ තොග නොමැති වීමේ ගැටලුවකටද නේපාල රජය මේ වන විට මුහුණ දෙමින් සිටී.
එවරස්ට් තරණය යනු නේපාලයේ ප්‍රධාන ආදායම් මාර්ග අතරින් එකක් වන අතර කොවිඩ් හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳ වැටීමෙන් එයටද දරුණු පහරක් එල්ල වී තිබේ. මේ වසරේ අප්‍රේල් මාසයේදී එවරස්ට් තරණය කිරීමට පැමිණි නෝර්වීජියානු ජාතිකයන් දෙදෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බව හෙළි විය.
සංචාරක කර්මාන්තයේ මෙන්ම තම රටේ ආර්ථිකයේද ඉදිරි පැවැත්ම හේතුවෙන් ෂර්පාවරුන්ට හැකි ඉක්මනින් කොවිඩ් එන්නත් ලබා දීමට නේපාල රජය අපේක්ෂාවෙන් සිටියද දැනට ඔවුන් මුහුණ දී සිටින එන්නත් හිඟය හේතුවෙන් එම උත්සාහය සාර්ථක වීමට තවත් කලක් බලා සිටීමට සිදු වනු ඇතැයි පැවසේ.