සුදු ඇඳුමෙන් නිදහස් වුණු විමලේ කාකි ඇඳුමට මාරු වෙයි | සිළුමිණ

සුදු ඇඳුමෙන් නිදහස් වුණු විමලේ කාකි ඇඳුමට මාරු වෙයි

 

එදා මට කිසිම ඉස්පාසුවක් නැති දවසක්. මොකද මගේ යහළුවෝ වගේම අවට බොහෝ දෙනෙක් අපේ ගෙදරට ඇවිත් මට සුබ පැතුවා.

තමන්ගේ ජීවිතය ක්‍රීඩාව ඔස්සේ විහිදී යන්නට තතනන ආකාරයක් ඔහුට පැහැදිලි ව දැනෙමින්, හැඟෙමින් තිබුණේ ය. අහඹු ලෙස සිය ජීවිතය තුළට ආ මලල ක්‍රීඩාව ඔහුට නව මාවතක් පෙන්වා දෙමින් තිබිණි.

'විමලසේන පෙරේරා ධර්මාලෝක විදුහල හැරපියා යෑමට තීරණය කළේ ය. විදුහල්පතිවරයාගේ කැමැත්ත අභිබවා සිය කැමැත්ත පෙරදැරිව ඔහු විදුහලත්, උසස් අධ්‍යාපනයත් අතහැර දියතලාවේ හමුදා පුහුණු පාසලට බැඳුණේ ය. මේ ඒ විමලේ ගේ සිවිල් ජීවිතයේ අවසානය සනිටුහන් වූ ආකාරය ය.'

විමලේ යාපනයේ මැරතන් තරගයේ දෙවැනියා වී යළි කොළඹට ආවේ ය. ඒ ගමන සිදුවූයේ රාත්‍රී තැපැල් දුම්රියෙනි. එසේ කොළඹ පැමිණෙද් දී අයියා නින්දකට වැටුණු මුත් විමලේ ගේ දෙනෙත් කෙවණි වසමින් නින්ද පැමිණියේ නැත. එහෙයින් ඔහු කොළඹ තෙක්ම ආවේ නිදි වර්ජිතව ය. ගතේ තෙහෙට්ටුව තිබුණ ද ඔහුගේ දෙනෙතට නින්ද ළඟා වූයේ ම නැත.

ඒ, අවට ගණ අඳුර මැදින් ලතාවකට පැද්දෙමින් වේගයෙන් ඉදිරියට ඇ දී යන දුම්රියෙන් නැඟෙන හඬ හේතුවෙනි. ඒ හඬ විටින් විට විවිධත්වයක් ගත්තේ ය. විටෙක සුළං කපා ගෙන එන්නේ සිවුරුහන් හඬකි. තවත් විටෙක පාලම් උඩින් යද් දී නැඟෙන අපූරු හඬ තරංගාවලියකි. එය ධර්මාලෝක විද්‍යාලයේ සංගීත කාමරය අසලින් යන විට නැඟෙන හඬක් බඳු ය.

ඒ ශබ්ද මාලා සමඟ සිය අනාගතය පිළිබඳ ව නිශ්චිත මඟකට පිවිසීමේ කාලය එළඹෙමින් පවතින බව විමලේට හැඟුණේ ය. තමන්ගේ ජීවිතය ක්‍රීඩාව ඔස්සේ විහි දී යන්නට තතනන ආකාරයක් ඔහුට පැහැදිලි ව දැනෙමින්, හැඟෙමින් තිබුණේ ය. වරෙක අහඹු ලෙස සිය ජීවිතය තුළට ආ මලල ක්‍රීඩාව ඔහුට නව මාවතක් පෙන්වා දෙමින් තිබුණේ විය.

එමඟින් සාර්ථක මිනිසකු ලෙස රටට හා මාපියනට බරක් නොවී ශක්තිමත්ව නැඟී සිටීමට ඔහු තුළ දැඩි විශ්වාසයක් පහළ වෙමින් තිබිණි. ඒ විශ්වාසය මහා අධිෂ්ඨානයක් වශයෙන් නැඟ එන අයුරු ඔහුට දැනුණේ ය. එය ප්‍රතික්ෂේප කරන්නට තමන්ට හැකියාවක් නොමැති බව ද ඔහුට වැටහිණි.

ඔවුන් කොළඹ පැමිණියේ ඉරිදා හිමිදිරියේ ය. තම නිවෙසට පැමිණි විමලසේනට එහි දී ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. එය එසේ වූයේ පෙර දින රාත්‍රීයේ ගුවන් විදුලියේ ප්‍රවෘත්ති මඟින් විමලසේනගේ ජයග්‍රහණය පිළිබඳ ප්‍රචාරය වී තිබීම ය. අම්මා කිරිබත් උයා සිය සතුට පළ කළාය. විමලසේනගේ පියා ඔහුගේ නිහඬ දිරිගන්වන්නාය. හැගීම් බරව පියා පවසන වචන කිහිපය විමලසේනගේ දිවියට සැමදා ආශිර්වාදයක් වූයේ ය.

'එදා මට කිසිම ඉස්පාසුවක් නැති දවසක්. මොකද මගේ යහළුවෝ වගේම අවට බොහෝ දෙනෙක් අපේ ගෙදරට ඇවිත් මට සුබ පැතුවා. පසුව දා මම උදෙන්ම පාසලට ගිහින් විදුහල්පතිතුමාට මගේ ජයග්‍රහණයේ සහතිකයත් ලැබුණු කුසලානයත් පිරිනැමුවා. එතුමාටත් හරිම සතුටුයි.' විමලේ ජයග්‍රහණයෙන් අනතුරුව ගම්රට පැමිණීමෙන් පසු ලැබූ අත්දැකීම් විස්තර කළේ සතුටු සිනා මුව පුරා විසුරවමිනි.

'එදා උදේ රැස්වීමේ දී මගේ ජයග්‍රහණය ගැන විශේෂ සඳහනක් කරලා සියලු දෙනාගෙම අත්පොලසන් නාදය මධ්‍යයේ විදුහල්පතිතුමා අතින් මට ඒ සහතිකය හා කුසලාන පිරිනැමුවා. රේස් එකෙන් පස්සේ පැවතුන අඩුව එදා පාසලෙන් මට පිරිමැහුනා.' ඔහු කීවේ ය.

මේ අතර හදිසියේම නෙත ගැටුණු පුවත්පත් දැන්වීමකට අනුව ඔහු යොමු කර තිබූ ඉල්ලුම්පතකට ශ්‍රී ලංකා යුද හමුදාවෙන් සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවීමක් ලැබුණේ ය. ඒ 1964 වසරේ ජූලි මාසයේ කොළඹ බාලදක්ෂ මාවතේ පිහිටි යුද හමුදා මූලස්ථානයෙන් ය. ඊට සහභාගි වීම සඳහා ගිය විමලේට එහි දී පවත්වන ලද සම්මුඛ පරීක්ෂණ තුනෙන්ම ඉහළින්ම සමත් වීමට හැකි විය. ඒ අනුව ආධුනික සෙබළෙකු ලෙස පත්වීමක් ලබා 1964 අගෝස්තු 08 දා දියතලාව යුද හමුදා පුහුණුවීම් කඳවුර වෙත පිවිසෙන්නට ඔහුට අවසර උදාවිණි. ඒ කාලයක සිට ඔහු සිත තුළ පැවැති සිහිනයක් සැබෑ කර ගැනීමකි. ඉන් විමලේ උපරිම තෘප්තියෙන් යුක්ත වූයේ ය. 'මාව යුද හමුදාවෙන් තෝරා ගත් බවට ලැබුන ලිපියත් අරගෙන තාත්තත් එක්ක ගිහින් මුලින්ම මුණ ගැසුණේ මගේ විදුහල්පතිතුමාවයි. ඒ වෙනකොට අපේ විදුහල්පති ලෙස කටයුතු කළේ ඩී. ටී. එම්. ගුණරත්න මහතායි. මගේ විස්තරය අහගෙන හිටියත් විදුහල්පතිතුමා එතරම් සතුටක් දැක්වූයේ නැහැ. මමයි තාත්තයි ඔහු දිහා බලාගෙන සිටියා. එතුමා උපැස් යුවළ පසෙකින් තබලා තාත්තා දිහා බලලා මට ඒ තීරණය වෙනස් කරන්න හිතක් නැද්ද කියලා ඇහුවා. මම නෑ කියලා හිස වැනුවා. එතකොට විදුහල්පතිතුමා කීවේ වැඩිදුර අධ්‍යාපනයට යොමු වෙන්නේ නැතුව හමුදාවට බැඳෙන එක ගැන තමන්ගෙ කැමැත්තක් නැති බවයි. නමුත් මගේ දැඩි කැමැත්ත නිසාම එතුමා මට ආශිර්වාද කරනවා කියලා කිව්වා. එදා මට අද වගේ මතක දවසක්. දිනය 1964 අගෝස්තු 04 දා. දෙවැනි වාරයේ පාසල් නිවාඩුවට කලින් දවස තමයි එදා. එදින මම පාසලේ සියලු දෙනාගෙන්ම සමුගත්තා. එහෙම අරගෙන මගේ ජීවිතයට පාර පෙන්නලා දුන්න ධර්මාලෝක මෑණියන්ට වැඳ නමස්කාර කරලා පාසල් දිවියෙන් සමුගත්තා. ඇත්තෙන්ම එදා හරිම සංවේ දී දවසක්. ගුරු පියවරු වගේම මෑණිවරු හැම කෙනෙක්ම වගේ මට ඉත සිතින් සුබ පැතුවා. ‘‘පුතා ඔයා ජීවිතේ කිසිම දවසක පරාද වෙන්නේ නැහැ. හමුදාවෙන් ඔයාගේ ජීවිතේට තවත් අලුත් දේවල් එකතු කර ගන්න පුළුවන් වේවි.’’ කවදත් මගේ ක්‍රීඩා ජීවිතේට හයියක් ලබා දුන්න උපාලි සර් වගේම ආර්. එම්. ඩී. කොටුවැල්ල සර් මගේ හිතට හයියක් දුන්නා.' ඔහු කීවේ දුක, සතුට මිශ්‍රිත හැඟීමකිනි.

' අගෝස්තු 08 දා මා සමඟ තෝරා ගත් කණ්ඩායම කොළඹ කොටුවට ඇවිත් උඩරට මැණිකේ දුම්රියෙන් දියතලාවට යන්න පිටත් වුණා. අපිට වෙනම පෙට්ටි දෙකක් වෙන් කරලයි තිබුණේ. දුම්රිය පිටත් වන තුරු අපි හැම දෙනාගෙම මව්පියන් දුම්රිය පළ වේදිකාවේ රැඳී සිටියා. කුඩා කාලයේ සිට මව් පිය උණුසුමේ ඉඳලා ජීවිතේ පළමු වතාවට ඒ උණුසුමෙන් බැහැරව යන මොහොත හැම කෙනෙකුටම හැඟීම්බර අවස්ථාවක් වෙලා තිබෙන බව දැනුණා.

දියතලාව කඳවුර හමුදා ගම්මානයක් වගේ. මෙහෙ හැම දෙයක්ම කරන්ඩ තියෙන්නේ වෙලාවට. ඒ වගේම පිළිවෙළකට. එය නිවැරැදිවම කළ යුතු වෙනවා. ඇත්තෙන්ම හමුදා සොල්දාදුවා කියන්නේ පරිපූර්ණ මිනිහෙක් කිව්වොත් නිවැරැදියි. කඳවුරට ඇතුළු වෙලා හරියටම දින හතරකට පස්සේ 1964 අගෝස්තු 12 දා අපේ පුහුණුවීම් පටන් ගත්තා. මගේ මලල ක්‍රීඩා දක්ෂතා පිළිබඳ ව අපට පුහුණුවීම් කළ නිලධාරීන් වැඩි අවධානයක් යොමු කළ බව මට එහි දී වැටහී ගියා.' ඔහු දියතලාවේ ජීවිතය ගැන කතා කරන්නට වුණා.

විමලසේන දියතලාවෙන් ජයගනී ?

 

අතුල රංජිත් වේදමිස්ත්‍රිගේ

 

Comments