ශ්‍රී ලංකා ක්‍රිකට් සල්ලි එපා කිව්වේ උදච්ඡකමට නොවෙයි | සිළුමිණ

ශ්‍රී ලංකා ක්‍රිකට් සල්ලි එපා කිව්වේ උදච්ඡකමට නොවෙයි

 

 

බැරි දේ බෑ කියනවා මිසක් බලමු කියන්න මේ මැක්සිගේ දිව නැවෙන්නේ නෑ

මට ඉස්සර සිංහල බැරි නිසා සමහරු මා ගැන වැරදි අවබෝධයක හිටියා

ඇමැතිවරු අනුව ක්‍රීඩා ප්‍රතිපත්ති මාරු නොවිය යුතුයි

මම ජාත්‍යන්තරයට කේලම් කියන්නෙ නෑ

ඔහු ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම්වරයා ය. එහි සභාපති ධුරයේ සිට විවිධ තනතුරු ලාභී ප්‍රතාපවත් පෞරුෂ සමඟ ඍජුව හා අනභියෝගීව ගනුදෙනු කරන්නට ඔහු සමත් විය. පසු කලෙක විවිධ ක්‍රීඩා ඇමැතිවරුන් සමඟ ගැටලු ඇති කර ගත් ඔලිම්පික් පරිපාලනය වෙනුවෙන් ජාත්‍යන්තරයට ගතු කියූ පුද්ගලයා වූයේ ඔහු බවට ද සමාජය තුළ දැඩි මතයක් නිර්මාණය වුණේ ය. ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ජපානයේ සංවිධානය වීමට ආසන්නව තිබිය දී ‘ක්‍රීඩා’ ජාතික ඔලිම්පික් කමිටු මහලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා මුණගැසුණේ ක්‍රීඩාවේ සුවිශේෂී කරුණු කීපයක් පිළිබඳ එම කමිටුවේ මතය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණ පෙරදැරිව ය.

ජාතික ඔලිම්පික් කමිටුවට දැන් සල්ලි වැඩි වෙලා ද?

සල්ලි වැඩි වෙලා නෑ. අපිට වැඩ කරන්න අවශ්‍ය සල්ලි අපි සොයාගන්නවා. අපිට සල්ලි වැඩියි කියලා අපි කවදාවත් කියලා නෑනෙ. ඇයි ඔබ එහෙම අහන්නෙ.

නෑ, ඔලිම්පික් යන ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය සියලු මූල්‍ය අවශ්‍යතා ඉටුකරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කැමැත්ත ප්‍රකාශ කරලා තියෙද්දී එවැන්නක් අනවශ්‍යයි කියලා ජාතික ඔලිම්පික් කමිටුව කියනවානෙ. ඉතින් එහෙම කතා කරන්නේ සල්ලි වැඩි නිසා මිසක් වෙන කුමන කාරණයකට ද?

අපිට ශ්‍රී ලංකා ක්‍රිකට් සල්ලි අවශ්‍ය නෑ. අනික ඔලිම්පික් යන්න ඒ ගොල්ලන්ගෙන් සල්ලි දෙන්න කියලා ඉල්ලලාත් නෑ. ඔලිම්පික් යවන්න වැය වන මුදල්වලින් කොටසක් අපි දරාගන්නවා. සාමාන්‍යයෙන් මේ වගේ තරගාවලියකට යන්න අවශ්‍ය මුදල් වසර කීපයකට පෙරම වෙන් කර ගන්න අපි කටයුතු කරලා තියෙනවා. උදාහණයකට ක්‍රීඩා අමාත්‍යාංශය මේ වෙනුවෙන් සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ලබා දෙනවා. එහෙම තිබිය දී අපිට මොකට ද ක්‍රිකට් ආයතනයෙන් සල්ලි අවශ්‍ය වෙන්නේ.

ඒ කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් සල්ලි ගන්න තරම් මානසික තත්ත්වයක් ජාතික ඔලිම්පික් කමිටුව ට නෑ. ඒ කියන්නේ ජාතික ඔලිම්පික් කමිටුව ඉන්නේ ඉහළින්. උද්දච්ඡ මානසික තත්ත්වයක ද?

නෑ. අපිට කිසිම උද්දච්ඡකමක් නෑ. හැබැයි අපි ඔලිම්පික්, පොදු රාජ්‍ය මණ්ඩලයීය, ආසියානු, දකුණු ආසියානු වැනි ප්‍රධාන පෙළේ තරගාවලි පැවැත්වීම වෙනුවෙන් සැම විටම අවබෝධයෙන් කටයුතු කරනවා. ජාතික ඔලිම්පික් කමිටුව වශයෙන් එය අපේ වගකීමක්. ඉතිං වසර හතරකට වරක් බොහෝ විට පැවැත්වෙන මෙවැනි තරගාවලි ගැන අපි වසර කීපයකට පෙරම සූදානම් වෙනවා. ඒ නිසා අපිට ඒ ගැන හදිස්සියක්, අර්බුදයක් නෑ. ඒක සැලසුම් සහගත භාවය විනා උද්දච්ඡකම නොවෙයි.

ක්‍රීඩා අමාත්‍යාංශය තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ක මේ ගැන කතා කරලා තිබුණේ?

වෙන්න ඇති. ඒත් ක්‍රීඩා අමාත්‍යාංශය කියන්නේ ජාතික ඔලිම්පික් කමිටුව නොවෙයිනෙ. කිසිම ක්‍රීඩා සංගමයක් ඒක්ක අපිට මූල්‍යමය සම්බන්ධතාවක් නෑ. අපෙන් දෙයක් ඔවුන්ට ලබා දෙනවා විනා අපි දේවල් දෙන්න කියලා ඔවුන්ගෙන් ඉල්ලන්නේ නෑ. ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සල්ලි තියෙනවා. නමුත් එහෙමයි කියලා අපි ඔවුන්ගෙන් මුදල් ගන්න හදලා නෑ. ක්‍රීඩාවලට උදවු කරනවා නම් ඔවුන්ට ඕනෑ තරම් ක්‍රීඩා සංගම් තියෙනවා උපකාර කරන්න.

මොනවද එහෙම උදවු කරන්න කියලා ඔබ නිර්දේශ කරන ක්‍රීඩා සංගම් වෙන්නේ?

මට නිර්දේශ කරන්න අවශ්‍ය නෑ. ඒක ඔවුන්ට තේරුම් ගන්න පිළිවන්. දැන් උදාහරණයකට ඒ අයගේ ක්‍රීඩකයෝ බර ඉසිලීම් කරනවා, පිහිනුම් ක්‍රීඩාව කරනවා, බැඩ්මින්ටන් ගහනවා. මෙන්න මේ ව‌ගේ ක්‍රීඩා සංගම්වලට උපකාර කරන්න ඔවුන්ට හැකියාව තිබෙනවා. මොකද රටක ක්‍රීඩාවේ ප්‍රගතියක් මතු වෙනකොට ඒ ක්‍රීඩාවලින් සහයෝගය ගන්න තවත් ක්‍රීඩාවකට එමඟින් විපුල ප්‍රයෝජන ගන්න පිළිවන්. හැබැයි එය තීරණය කරන්න ඔවුන්ට හැකියි.

දැන් ක්‍රීඩා අමාත්‍යාංශයයි ඔලිම්පික් කමිටුවයි අතර තිබුණු විරසකය අහවර ද?

අපිට පෞද්ගලික විරසකයක් තිබුණේ නෑ. තිබුණේ ජාත්‍යන්තර ඔලිම්පික් ප්‍රඥප්තියට ගැළපෙන ආකාරයට කිසිදු බලපෑමක් නොවෙන්න ජාතික ඔලිම්පික් කමිටු ව්‍යවස්ථාව පවත්වාගෙන යෑමට එරෙහිව ඇතිවන බලපෑම් නතර කර ගැනීම පමණයි. තවමත් ඒ ගැටලුව සියයට සියයක් නිරාකරණය වෙලා නෑ.

ඒ කියන්නේ ඇතැමුන් ප්‍රකාශ කරන ආකාරයට තවමත් ඔබට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට කේලම් කියන්න තිබෙනවා කියන එකනෙ?

කවුද කේලම් කිව්වෙ. අපි කොයි වෙලාවකවත් කේලම් කියලා නෑ. එහෙම කියන අයට තේරෙන්නෙ නැති වුණාට කරන්න දෙයක් නෑ. අපි කරන්නේ ක්‍රීඩාවේ උත්තරීතර බව ආරක්ෂා කරගන්න විශ්වීය ක්‍රීඩා ප්‍රඥප්ති ලෙස සැලකෙන ඔලිම්පික් ප්‍රඥප්ති ආරක්ෂා කර ගන්න උත්සාහ කරනවා කියන එකයි. දේශපාලන අතපෙවීම්වලින් තොරව ක්‍රීඩාවේ උතුම් අරමුණු ආරක්ෂා කර ගැනීම තමයි ඔලිම්පික් ප්‍රඥප්තිවලින් අපේක්ෂා කරන්නේ. අපි කළ හැම දෙයක්ම කළේ මේ කියන උත්තුංග ගුණාංග ආරක්ෂා කර ගන්න අපි බැඳිලා සිටින ඔලිම්පික් ප්‍රඥප්තියට අනුකූලව කටයුතු කිරීම පමණයි. ඒක කේලම් කිවීමක් ලෙස සඳහන් කරන්න කාටවත් බෑ.

තවම ක්‍රීඩා අමාත්‍යාංශය හා ජාතික ඔලිම්පික් කමිටුව අතර පවතින ගැටලුව විසඳිලා නැත්නම් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඒ ගැන සංවේදී වෙන්නේ නැද් ද?

අපි ඔවුන්ට ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ යුතුයි. ඔවුන් ඒ සම්බන්ධයෙන් නිර්ණායක රාශියක් අප වෙත ඉදිරිපත් කර තිබුණා. අපි ඒ හැමදෙයක්ම ක්‍රීඩා අමාත්‍යාංශයට ලබා දුන්නා. වෙනකක් තබා ඔබ දන්නවා කාලයක් මෙරට ක්‍රීඩා ඇමැතිවරු ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වෙත ගොස් අප සමඟ සාකච්ඡා කළේ ක්‍රීඩා පනත සහ ජාතික ඔලිම්පික් කමිටුව අනුගමනය කරන ඔලිම්පික් ප්‍රඥප්තිය අතර ගැටුම් ඇති නොවන ආකාරයෙන් කටයුතු කරන්නේ කෙසේ ද යන්න ගැනයි. ඒ නිසා අපේ ක්‍රීඩා පනත මඟින් ඔලිම්පික් ප්‍රඥප්තියට බලපෑමක් සිදුවෙනවාද යන්න ගැන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සංවේදි භාවයෙන් ඉන්නේ. එය මඟ හරින්න අපට බෑ.

දැන් ඉන්දියාව වැනි ඔලිම්පික් පදක්කම් වැඩි වශයෙන් දිනූ අසල්වැසි රටවල්වලට පවා ඔලිම්පික් තහනමක් පැනවුණා. එවැනි තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කමිටුව තහනමෙන් බේරිලා ඉන්නේ කොහොම ද?

අපි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව එක්ක ඉතා මැනවින් අපේ සබඳතා පවත්වාගෙන යනවා. ඒ නිසා තහනමකට මුහුණ නොදී කෙසේ හෝ මේ තත්ත්වය විසඳා ගන්නකම් සාවධානව කටයුතු කරන්න අපිට හැකි වෙලා තිබෙනවා.

ඒ කියන්නේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තිබෙන්නේ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සාක්කුවේ කියන එකනෙ. එහෙම නැත්නම් අපේ අය ඉන්නේ ඒ ගොල්ලන්ගේ සාක්කුවේ වෙන්න ඇති නේ ද?

ඔවුන් අපේ සාක්කුවේ වත් අපි ඔවුන්ගේ සාක්කුවේ වත් නෑ. නමුත් ආසියාවේ ඔලිම්පික් කමිටු අතරින් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවට විශාල පිළිගැනීමක් තිබෙනවා. ඒක නිසා මේ විදිහට අපිට හැකියාව ලැබිලා තිබෙනවා තහනමක් පනවා නොගෙන ඔලිම්පික් ව්‍යාපාරය පවත්වාගෙන යන්න.

ඒ තත්ත්වය කොහොම ද ජාතික ඔලිම්පික් කමිටුවට හිමිවුණේ?

අපේ හිටපු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතාට ඉතා ඉහළ පිළිගැනීමක් තිබුණා. ඔහු සමඟ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ගිහිල්ලා මටත් යහපත් සම්බන්ධතාවන් ගොඩනඟා ගන්න පිළිවන් වුණා. ඇත්තම කියනවා නම් ඔහුට ඇති ගෞරවය හා ඔහුගේ පරිපාලන පෞරුෂය ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවට ජාත්‍යන්තර වශයෙන් සුවිශාල බලයක් හා පිළිගැනීමක් නිර්මාණය කරලා තිබෙනවා.

හේමසිරි ප්‍රනාන්දු මහතා සමඟ ඔබ ඔලිම්පික් කමිටු මහලේකම්වරයා වශයෙන් සැලකිය යුතු කාලයක් කටයුතු කළා. දැන් සුරේෂ් සුබ්‍රමනියම් මහතා සමඟ ඒ කටයුත්තේ නියැළෙනවා. කොහොමද ඔබට ඔවුන් දෙදෙනා අතර ඇති පරිපාලන වෙනස දැනෙන්නේ ?

හේමසිරි ප්‍රනාන්දු මහතා ගැන කතා කරද්දී මම ඉස්සෙල්ලා කිව්වා වගේම මහා පෞරුෂයක්. එතුමා එක්ක කටයුතු කරලා මම බොහෝ දේ ඉගෙන ගත්තා. සැබැවින්ම ඔහු අසිරිමත් නායකත්වයක් දැක්වූවෙක්. ඒ වගේම වත්මන් සභාපතිවරයාටත් විශාල ජාත්‍යන්තර සම්බන්ධතා රාශියක් පවතිනවා. ඔහු සමඟ ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලනය තුළ මම කටයුතු කර අත්දැකීම් ලබා තිබෙනවා. ඒ නිසා වර්තමානයේ ඔහුගේ පරිපාලන ව්‍යූහයට අනුකූල වන ආකාරයට කටයුතු කිරීම මට පහසුයි. අනෙක ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් අපේක්ෂා කරන පරිපාලන ව්‍යූහයක් අපිට තිබෙනවා. ඒ අනුව කටයුතු කරද් දී මේ සභාපතිවරු දෙදෙනාම පරිපාලන කටයුතු සඳහා මට විශාල සහයෝගයක් හා පෙරටුගාමී ක්‍රියාත්මක වීමක් ප්‍රකට කරපු නායකයෝ දෙදෙනෙක්.

පසුගිය ඔලිම්පික් කමිටු නිලවරණයේ දී රට ඇතුළේ තිබෙන ඔලිම්පික් කමිටුවට අනුබද්ධ සංගම් දෙකට බෙදුණා. එක් පාර්ශ්වයක් රොහාන් ප්‍රනාන්දු මහතාටත් අනෙක් පාර්ශ්වය සුරේෂ් සුබ්‍රමනියම් මහතාට පක්ෂවත් කටයුතු කළා. දැන් බලයට ආවට පස්සේ ඔබලාට සහය නොදුන් පාර්ශ්වවලට කුඩම්මාගේ සැලකිලි දක්වනවා කියලා චෝදනාවක් තිබුණා?

කිසිසේත්ම නෑ. බලය ගන්න දෙපාර්ශ්වයක් තරග කරද්දී ඒ වෙනුවෙන් යම් යම් විරුද්ධ මත ඉදිරිපත් කළත් බලය ලබා ගත් පසු අපි එක ඒකකයක් ලෙස කටයුතු කළ යුතුයි. ඒ බව අපි ඉතා හොඳට දන්නවා. බලයට පැමිණි සැණින් අපි කළේ ඒ සියලු කණ්ඩායම්වලට විවෘතව හා ලිඛිතව ආරාධනා කිරීමයි. ඇතැමුන් ඒ ආරාධනාව පිළිගත්තා. තවත් සමහරු එය පිළිගත්තේ නෑ. ඉතින් දැන් පන්දුව තිබෙන්නේ ඔවුන්ගේ පිටියේ. ඒකට ක්‍රීඩා කරනවා ද නැද්ද කියන එක තීරණය කළ යුත්තේ ඔවුනුයි.

ඒත් සමහර ක්‍රීඩා සංගම්වලට කුඩම්මාගේ සැලකිලි දක්වනවා කියන චෝදනාව ගැන මොකද කියන්නේ?

ඒක බොරුවක්. දැන් මම එක නිදර්ශනයක් දෙකක් ගන්නම්. බොක්සිං සංගමය අපට විරුද්ධ පැත්තේ හිටියේ. නමුත් අනාගත පදක්කම් අපේක්ෂා සහිත ක්‍රීඩකයන් බිහි කිරීම වෙනුවෙන් ක්‍රිස්බෝ ආයතනය සමඟ අපි ක්‍රියාත්මක කරන අනුග්‍රාහක වැඩසටහනේ දී බොක්සිං ක්‍රීඩකයන් දෙදෙනකුට ප්‍රතිලාභ ලබා දෙනවා. ඒ වගේම තමයි අපි මෑතක දී වොලිබෝල් සම්මේලනය උදෙසා විශාල අනුග්‍රාහකත්වයක් ලබා දෙන්න කටයුතු සැලසුම් කරලා තිබෙනවා. නමුත් ඔවුන් ඊට පෙර හිටියේ අපිට විරුද්ධ කඳවුර තුළයි. ඉතිං එහෙම වුණා කියලා අපිට විශේෂ ගැටලුවක් හෝ වෛරයක් තියාගන්න බෑ. මොකද අපි වැඩ කරන්නේ පුළුල් පරමාර්ථ පෙරදැරි ඔලිම්පික් සංකල්ප ආරක්ෂා කරමින් මිස පෞද්ගලික කාරණා ඉහළ දමාගෙන නොවෙයි.

මෙවර ඔලිම්පික් උලෙළ සඳහා අපිට ලැබෙන අවස්ථාවන් සම්බන්ධයෙන් කතා කරමු?

තවම ඒ ගැන නිශ්චිතව කියන්න බෑ. නමුත් දැනටමත් ක්‍රීඩකයන් කීපදෙනක් ටෝකියෝ ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබලා තිබෙනවා. ඔබ දන්නවා ඒ අතරින් බැඩ්මින්ටන් ක්‍රීඩකයා එය ලබා ගත්තේ පිනට නොවෙයි කියලා. ඉතිහාසයේ පළමුවැනි වතාවට අපේ ක්‍රීඩිකාවක් ජිම්නාස්ටික් වෙනුවෙන් ඔලිම්පික් යනවා. තවත් කීප දෙනෙකුට කෝටා ක්‍රමය යටතේ අවස්ථාව හිමි වේවි.

දැන් මේ අවස්ථාව ලැබුණු ක්‍රීඩකයන්ට ඔලිම්පික් කමිටුව ලබා දෙන හා ලබා දුන් සහයෝගය මොකක් ද?

බර ඉසිලීමේ ක්‍රීඩාව වෙනුවෙන් අපි දුන්නු සහයෝගය නිසා තමයි ඔවුන් අද පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලිය තුළ දක්ෂතා දක්වන්නේ. ආසියාව දිනා ගන්න ඔවුන් උත්සාහ කරනවා. ඒ වගේම ඔලිම්පික් යන්න හැකි ක්‍රීඩකයන් බිහි කරන්න ඔවුන් සමත් වුණා. ඒ වගේම තමයි අපි යුපුන් අබේකෝන්ට, උෂාන් තිවංකට මාසිකව දීමනාවක් ලබා දෙනවා. ඒ දීමනා ලබා දෙන්නේ ඔවුන් ඔලිම්පික් කමිටුවෙන් ඒ සඳහා සහයෝගය ඉල්ලූ නිසයි. මේ වගේ තවත් බොහෝ ක්‍රීඩකයන් හා ක්‍රීඩා වෙනුවෙන් අපි අපේ වගකීම ඉටු කරනවා. රටේ ක්‍රීඩා පරිපාලනය විධිමත් කරන්න අවශ්‍ය උසස් පාඨමාලා පවත්වන්න අපි කටයුතු කරන්නේ මේ වගකීමේ තවත් අදියරක් විදිහටයි.

මෙවර ඔලිම්පික් තරගාවලියට යන්න සුදුසුකම් ලැබූ ජිම්නාස්ටික් ක්‍රීඩිකාව පුහුණුව ලබමින් සිටිනේ ජපානය තුළයි. මේ අවස්ථාව කොහොම ද උදා වුණේ?

අපි මේ සම්බන්ධයෙන් ජපාන බලධාරීන් සමඟ කතා කළා. එමඟින් අපිට මේ අවස්ථාව දිනා ගන්න හැකි වුණා. තවත් බොහෝ ක්‍රීඩාවල ක්‍රීඩකයන් මේ ආකාරයෙන් ජාත්‍යන්තරයට යවන්න අපට හැකියාව ලැබිලා තිබෙනවා. ඒවා සඳහා වගකීමෙන් ඉදිරිපත් වෙන එක ජාතික ඔලිම්පික් කමිටුව හැටියට අපි සිදු කරනවා.

‍ අපි පෞද්ගලිකව ඔබ දෙසට හැරිලා කතා කරන්න කැමැතියි. මැක්ස්වල් ද සිල්වා කියන්නේ කිසිම මානවීය සහසම්බන්ධයක් නැති පුද්ගලයෙක් කියලයි ඉතිහාසය පුරා ක්‍රීඩා සංගම් නිලධාරීන් හඳුන්වා දුන්නේ? කෙළින්ම කියනවා නම් මූණේ ලේ කඳුළක් නැති කිසිම හැඟීමක් නැති පරිපාලකයෙක් වශයෙන් තමයි ඔවුන් ඔබව හැඳිනගෙන සිටියේ. ඒ ගැන මොකද කියන්නේ?

මගේ මූණේ ලේ තියෙනවා ද නැද්ද කියලා දන්නේ බලන අයනෙ. නමුත් මගේ හදවතේ කිසිම කහටක් නෑ. ඔය කියන කාලේ මට සිංහලෙන් වැඩ කරන්න බෑ. දන්නේ ඉංග්‍රීසියෙන් වැඩ කරන්න විතරයි. ඊළඟට මම එංගලන්තයේ මෙන්සා (Mensa) සංගමයේ සාමජිකයෙක්. එතකොට මම සමහර වෙලාවට කෙනෙක් එක්ක ගනුදෙනු කරද් දී ඔහුගේ සිතේ තියෙන්නේ මොකක් ද කියලා පරිකල්පනයෙන් දැනගන්න යම් හැකියාවක් ලබා තිබෙනවා. ඒ නිසා මම වචනයෙන් දෙකෙන් ඔවුන් එක්ක කතාව ඉවර කරන්න කටයුතු කරනවා. වෙන්න උවමනා වැඩේ කරලා දෙනවා. බැරිනම් බෑ කියනවා. ඉතින් ඒකට අපේ සමාජයේ සමහරු අකැමැති ඇති. නමුත් ඒ මගේ ජන්ම ගතිය. මට පුළුවන් නම් පුළුවන් කියනවා. බැරි නම් බෑ කියනවා. බොරු කිය කිය කාලය මර මර ඉන්න අවශ්‍ය නෑනෙ. බැරි දෙයක් කරන්නම්,බලන්නම් කියන එක මේ මැක්ස්වල්ගේ ගතිය නොවෙයි. ඉතිං ඒක සමාජ සම්බන්ධතාවයේ දුර්වලකමක් කියලා කවුරු හරි දකිනවා නම් ඒකට මට කරන්න දෙයක් නෑ. නමුත් මම හැම දෙයක්ම කරන්නේ හිතට එකඟවයි.

ඔබ හරිම කලබලකාරියි කියලා චෝදනාවක් තිබෙනවා. මැක්ස්වල් ද සිල්වා මහලේකම් කියන්නේ කඩදාසිය ළිපේ දාලා වැඩ කරනවා ව‌ගේ වැඩ කරන කෙනෙක් කියලා?

නෑ. මම වැඩ කරන ක්ෂේත්‍රයේ මේ මොහොතේම ක්‍රියාත්මක වෙන ක්ෂේත්‍රයක්. ඒ තමයි වෙළෙඳ නාවික ක්ෂේත්‍රය. එතැනදී අපිට අද බෑ හෙට නැත්නම් තව පැයකින් වගේ හිතලා තීරණ ගන්න බෑ. නැවක් සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා නම් ක්ෂණයෙන් ගත යුතුයි. ඉතින් මම එහෙම වැඩ කරන කෙනෙක්. ඒක ඇතැම් විට සංස්කෘතික කාරණා සමඟ ගැළපෙන්නේ නැතිව ඇති. නමුත් මම බහුතරයකින් වෙනස් කියලා ඇතැමුන් හිතනවා ඇත්තේ ඒ නිසයි.

ඔබට මුලදි දොස් නැඟුවත් දැන් දැන් බොහෝ සංගම් නිලධාරීන් සුබවාදී අදහස් දක්වනවා. ඔලිම්පික් සංගමය විශේෂයෙන් ඔලිම්පික් මහලේකම් අපිට හුඟාක් උපකාර කළා කියලා ඔවුන් කියනවා. ඔබට මේ දේවල් කරන්න භාෂාව උපයෝගී කර ගැනීමේ හැකියාව ඉවහල් වෙන්නේ කොහොම ද?

නාවික ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරියෙක් වශයෙන් මම දන්නවා සුද්දාගේ, චීනාගේ, ජපනාගේ එහෙමත් නැත්නම් අමෙරිකානුවාගේ සිතුම් පැතුම් වෙනස්වෙන ආකාරය. ඉතින් අපිට ඔවුන් හා ගනුදෙනු කරන්න ඒක පහසුවක් වෙනවා. අනික මම ජපන් භාෂාව කතා කරන්නත් සමත් වීම විශේෂ සුදුසුකමක් වෙලා තිබෙනවා. යමෙක් කියනවා නම් මම මහලේකම්වරයෙක් වශයෙන් සාර්ථකයි කියලා ඊට භාෂාමය හා සංස්කෘතිකමය ප්‍රාගුණ්‍යය විශේෂයෙන් ඉවහල් වෙනවා.

දැන් ඔබගේ පරිපාලන කාලය අවසන් වුණාට පස්සේ මොකද කරන්න බලාපොරොත්තු‌ වෙන්නේ. මේක අතහැරලා යන්න සැලසුමක් තියෙනවා ද?

තව කල් තියෙනවා. කොහොමත් මම මේක බදාගෙන ඉන්න සූදානමක් නෑ. වැඩ කරලා, වැඩ කරන්න පුළුවන් විදිහට අනිත් අයට පරිසරය සකස් කරලා යන එක තමයි මගේ අපේක්ෂාව. ඒකට සුදුසු කාලය ආවහම ඒක තීරණය කරනවා.

කසුන් ඉරුගල්බණ්ඩාර

Comments