“ශ්‍රී ලංකාව මෑතක සිට එක්දින තරගවල දී අමුතුම උපායක් යොදනවා. ඒ තමයි ප්‍රහාරක පිතිකරුවන් දෙදෙනකු යොදා ගෙන අවසන් පන්දු වාර 10 තුළ පන්දුවට පහර දෙන ආකාරයෙන් මුල් පන්දු වාර 15 තුළ වේගයෙන් ලකුණු රැස් කිරීම.
මෙම පිතිකරුවන් දෙදෙනා පළමු පන්දු වාර 15 තුළ දී උපරිම ලෙස ලකුණු රැස් කිරීමෙන් පසු අරවින්ද ද සිල්වා වැනි නම් දැරූ පිතිකරුවන් යොදා ගෙන ඔවුන් හෙමින් සීරුවේ තම ඉනිම ගොඩනංවනවා” මේ 1996 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයට පෙර එම තරගයේ දී එංගලන්තය මෙහෙය වූ මයිකල් ඇතර්ටන් පැවැසූ ආකාරය ය. ''ජයසුරියයි, කලුවිතාරණයි මෙල්ල කිරීමට අපි ළඟ උපක්‍රම තියෙනවා. අපි ශ්‍රී ලංකාවට බය නෑ.”මේ ඔහු එදා දැක් වූ තවත් අදහසකි.
එම ලෝක කුසලාන තරගාවලියට පෙර ඔස්ට්‍රේලියාවේ දී මෙන්ම ඉන් පසු එම ලෝක කුසලාන තරගාවලියේ මුල් වටයේ තරගවල දී ශ්‍රී ලංකා පිතිකරුවන් දැක් වූ දස්කම් දුටු එංගලන්ත නායකයා බෙහෙවින් විශ්මයට මෙන් ම මහත් භීතියට ද පත්ව තිබිණි. නමුත් එම තීරණාත්මක අර්ධ අවසන් පූර්ව තරගයේ දී ඔහුගේ උපක්‍රම වැඩ කළේ නැත. සනත් ජයසූරිය ඇතුළු ශ්‍රී ලංකා පිතිකරුවන් එදා එංගලන්ත ක්‍රිකට් අභිමානය බිමටම සමතලා කළේ ය. ඒ එදා ඇතර්ටන් දුටු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ය.
මෙදා ඇතර්ටන් දුටු ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ඔහු පළ කළේ මෙවැනි අදහසකි.
“ශ්‍රී ලංකා පිලේ පිතිහරඹය ගැන හරිම කනගාටුයි. ශ්‍රී ලංකාව කියන්නේ පිතිකරුවන් සම්බන්ධයෙන් නම් දැරූ කණ්ඩායමක්. එදා ඔවුන් සතුව දක්ෂ පිකරුවන් රැසක් සිටියා. ඒත් දැන් ඒක වෙනස් වෙලා. මේ තරගාවලිය පැරදීමට හේතුව ශ්‍රී ලංකා පිලේ පිතිහරඹය දුර්වල වීමයි. ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම තම පිතිහරඹය වැඩි දියුණු කර ගත යුතුයි.” මේ 1996 න් වසර 25 කට පසු මයිකල් ඇතර්ටන් ශ්‍රී ලංකා පිතිකරුවන් දුටු ආකාරය ය.
“ඇත්තෙන්ම මෙම තරගාවලිය එක කණ්ඩායමක දස්කම්වලට සීමා වූ තරගාවලියක්” ඔහු පැවසුවේ ය.
මෙම තරග තුන ජය ගැනීමත් සමඟ එංගලන්ත - ශ්‍රී ලංකා විස්සයි විස්ස සමස්ත තරගාවලියේ එංගලන්ත ජයග්‍රහණ ගණන අට දක්වා ඉහළ ගියේ ය. තව ද මෙම තරග තුන ද සමඟින් එංගලන්තය ශ්‍රී ලංකාවට එරෙහිව අඛණ්ඩව වාර්තා කළ සය වැනි ජයග්‍රහණය සනිටුහන් විය.
ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් තරග තුනේ දී වාර්තා වූ එකම අර්ධ ශතකය වාර්තා කළේ දසුන් ශානකය. ඒ මුල් තරගයේ දී ලකුණු 50 කි. එංගලන්තය වෙනුවෙන් ජෝස් බට්ලර් (68) ,ජොනි බෙයර්ස්ටෝ (51),ඩේවිඩ් මාලන් (76) ලෙස අර්ධ ශතක වාර්තා කළහ.
පළමු තරගයේ දී ශ්‍රී ලංකාව ලබා ගත්තේ ලකුණු 129 කි. ඒ කඩුලු හතකටය. දෙවැනි තරගයේ දී ද මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු හතක් දැවී ලබා ගත්තේ ලකුණු 111 කි.
මුල් තරගයේ පරාජයෙන් පසු දෙවැනි තරගය අබියස රුපවාහිනිය සමඟ සංවාදයට එක් වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකු වූ අනුෂ සමරනායක හා ඉන්දික ද සේරම් පැවැසුවේ ශ්‍රී ලංකා පිලේ විශේෂඥ පිතිකරුවන් ගණන වැඩි කළ යුතු බවයි. ඔවුන් දැක්වූ අදහසට අනුව තරගයක ජයග්‍රහණය කෙසේ වෙතත් සටනක් දීමට සමත් ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට පිතිකරුවන් අපොහොසත් වන්නේ නම් පන්දු යවන්නන්ට කළ හැක්කක් නැත.
තෙවැනි හා අවසන් තරගයේ දී ලකුණු 180 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 91 කට දැවී ගියේ එය විස්සයි විස්ස තරගයක දැවී ගිය සිව් වැනි අඩු ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් කර ගෙන ය.
පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙතින් දිස් වූ යම් ආලෝකයක් වූයේ නම් ඒ දුෂ්මන්ත චමීරගේ පන්දු යැවීම පමණි. ඔහු පසුගිය කොදෙව් දූපත් සංචාරයේ සිට තම දස්කම් දිනෙන් දින ඔපවත් කර ගැනීමට සමත් වන බැව් මෙම තරගාවලිය තුළින් ද ප්‍රදර්ශනය කළේ ය.
”ඔහු ශ්‍රී ලංකාව බිහි කළ හොඳ වේග පන්දු යවන්නෙක්.” හිටපු එංගලන්ත නායකයකු වූ නසාර් හුසේන් පවසන විට මයිකල් ඇතර්ටන් පැවැසුවේ දුෂ්මන්ත්ගේ පන්දු යැවීම විශිෂ්ට බවයි.
අවසන් තරගයේ දී චමීර 04/17 ලෙස සුපිරි පන්දු යැවීමක් සටහන් කළේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක තම හොඳම පන්දු යැවීම සටහන් කරමිනි. තරගාවලිය අවසන් වන විට ඔහු ලැබූ සමස්ත කඩුලු ගණන හයකි. මේ අනුව දෙපිලේ පන්දු යවන්නන් අතරින් වැඩිම කඩුලුලාභියා වූයේ ද ඔහු ය.
“ හොඳ පන්දු යැවීම ඉදිරියේ අප ප්‍රමාණවත් ලෙස ලකුණු රැස් කළේ නෑ. ඔවුන් අංක එකේ පසුවන කණ්ඩායම, අපි සිටින්නේ අංක නවයේ ඔබට මෙහි වෙනස දැක ගත හැකියි. අප තරුණ කණ්ඩායමක්. අපේ පන්දු යැවීම හුඟක් හොඳයි. පන්දු රැකීමත් යම් මට්ටමක තිබූ බව කිව හැකියි.” ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් දිගින් දිගටම අත් කර ගන්නා පරාජයන් අභිමුව ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු මිකී ආතර් දරන්නේ එවන් අදහසකි.
අනිල් වීරසිංහ










