විශිෂ්ටත්වය මිත්‍රත්වය හා ගෞරවය පෙරදැරි ඔලිම්පික් 02 | සිළුමිණ

විශිෂ්ටත්වය මිත්‍රත්වය හා ගෞරවය පෙරදැරි ඔලිම්පික් 02

 

‘කැලණිය විශ්ව විද්‍යාලයේ, සමාජීය විද්‍යා පීඨයේ, ක්‍රීඩා විද්‍යා සහ ශාරීරික අධ්‍යාපන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිණී අනෝමා රත්නායක සමඟ ටෝකියෝ ඔලිම්පික් උලෙළට සති කීපයක් ඉතිරිව තිබිය දී කළ සාකච්ඡාවක් ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක දෙවැන්න ය මේ.’

ඔලිම්පික් වටිනාකම් අතර විශිෂ්ටත්වය, මිත්‍රත්වය සහ ගෞරවය යන්න ප්‍රධානම කාරණාවන් ය. ඔලිම්පික් හි පදනම සැකසී ඇත්තේ මේ ප්‍රධාන කුලුනු තුන මත යැයි කිව හැකි ය.

මේ හේතුවෙන් ඔලිම්පික් මුළු ලොව විසින් ආදරයෙන් වැලඳ ගැනීම සිදුව ඇත. තවත් අතකින් බලන කල එය ක්‍රීඩාවට පමණක් සීමා වූවක් ද නොවේ. සාමාන්‍ය පරිදි පවසන්නේ නම් යහපත් ලෝකයක් ගොඩනඟන්නට ආගම, ක්‍රීඩාව, කලාව, සාහිත්‍යය, දර්ශනය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රයන් ප්‍රවර්ධනය කළ යුතු ය.

නූතන ඔලිම්පික් ක්‍රීඩාවේ පියා සේ සැලකෙන පියරේ ද කුබර්ටින් එංගලන්තයට ගියේ ප්‍රංශයේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමේ බලාපොරොත්තුවෙනි. ක්‍රීඩාව අධ්‍යාපනයට ඇති කරන බලපෑම නිරීක්ෂණය කිරීම මඟින් පන්තිකාමරයෙහි සදාචාරාත්මක හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගොඩනංවා එහි අධ්‍යාපනය ලබන සිසුන්ට ඉගෙනීමේ පරිසරයක් නිර්මාණය කර දීමට ඔහු ක්‍රියා කළේ ය.

ඒ අනුව ඔලිම්පික් යනු ලෝකයෙන් ම ක්‍රීඩාවේ දක්ෂයන් තෝරනු ලබන උලෙළක් පමණක් නොවේ. ඔලිම්පික් ව්‍යාපාරයේ පදනම බවට පත්ව ඇත්තේ ද මෙය ය. එහෙත් බොහෝ දෙනකු මෙහි අර්ථය වටහා ගෙන ඇත්තේ සදොස් ආකාරයට ය. ඔවුහු ඇතමෙක් විශ්වාස කරන්නේ තරග කළ යුත්තේ ජයග්‍රහණය පමණක් අරමුණු කර ගෙන බව ය.

පියරේද කුබර්ටින් ගේ ප්‍රකාශයක මේ අරමුණ පැහැදිලි ව දැක්වෙයි. එනම්, “ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ වැදගත්ම දෙය වනුයේ ජයග්‍රහණය නොව සහභාගීත්වයයි. ජීවිතයේ අත්‍යවශ්‍ය දෙය ජය ගැනීම නොව හොඳින් සටන් කිරීම යි.” යනුවෙනි. ක්‍රීඩාවෙන් ඉදිරියට යෑමේ දී මුලින් අප පුහුණුවීම් කරන්නා සේ ම ක්‍රීඩා කරන්නේ ඇයි දැයි කල්පනා කර බැලිය යුතු ය. එසේම ක්‍රීඩාව පිළිබඳ ප්‍රමාණවත් අධ්‍යාපනයක් ලබා ගත යුතු ය. තවත් ගැඹුරු ලෙස දක්වන්නේ නම් ක්‍රීඩාවේ දර්ශනය නිසි පරිදි අවබෝධ කර ගත යුතුම ය. එවිට ක්‍රීඩාවේ ඕනෑම ශිල්පයක් නිවැරැදිව අවබෝධ කර ගැනීමට ඇවැසි විනය, ශික්‍ෂණය ගොඩනඟා ගත හැකි ය. ඒ සඳහා ගන්නා ප්‍රයත්නයේ දී සිත්වල පවතින වැරැදි අවබෝධ, මතවාද ඉවත් කළ යුතු ය.

එමඟින් ක්‍රීඩාවේ පවිත්‍රත්වය විඳීමට අවස්ථාව නිර්මාණය කරන්නා වූ ශක්තිය තම මනස තුළ ගොඩනඟා ගත යුතුය. එහෙත් මිනිස් සමාජය තුළ වැඩි වශයෙන් මුල් බැස ඇත්තේ තරගකාරිත්වය නමැති සංකල්පය ය. එහෙත් ගෞරවනීය ඔලිම්පික් සංකල්පයන්ට අනුව වඩා වැදගත් වන්නේ ජයග්‍රහණය නොව සහභාගිත්වය ය. රටක් වශයෙන් තරගකාරී ලෝකය හා ගැළපෙන්නට අවශ්‍ය නම් අප පළමු ව කළ යුත්තේ ඔලිම්පික් වටිනාකම් අවබෝධ කර ගනිමින් ක්‍රියා කිරීම ය.

තවත් අතකින් බලන කල ඔලිම්පික් යනු කිසියම් කණ්ඩායමකට, ක්‍රීඩා කිහිපයකට, ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනකුට පමණක් සීමා වූ පරිහරණය කළ යුතු වටිනාකමක් නොවේ. එසේ ම මිනිසුන්ගෙන් පළිගැනීමට හෝ තමන්ගේ අභිරුචිකම් අනුව හැසිරවිය යුතු දෙයක් ද නොවේ. එය රටක ක්‍රීඩාවේ යහපත උදෙසාත්, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ගෞරවය ආරක්‍ෂා කිරීම සඳහාත්, ඔලිම්පික් දර්ශනය සමාජයට ගෙන යෑමට දායක වීම සහ සමස්ත සමාජයේ ම අභිවෘද්ධිය වෙනුවෙනුත් භාවිත කළ යුත්තකි.

ඔලිම්පික් මඟින් සැම විටම රාජ්‍යයන් අතර එකමුතුකම, සහයෝගය, මිත්‍රත්වය ගොඩනංවනු ලබයි. ඒ අනුව ඔවුහු සෑම වසර හතරකටම වරක් එක් ස්ථානයකට රැස් වී ශක්තිමත් පවුරක් නිර්මාණය කරයි. ඒ ක්‍රීඩකයන්ගේ, සාමාජික සාමාජිකාවන්ගේ, ප්‍රේක්ෂකයන්ගේ, ජාත්‍යන්තර හා ජාතික ඔලිම්පික් සංවිධානවල, ක්‍රීඩා සම්මේලන ආදියේ පමණක් නොව සමස්ත ජන සමාජයේ ම සුබ සිද්ධිය පෙරදැරිව ය.

මෙවන් මානවවාදී සමාජ දහමක් වූ ඔලිම්පික් ආරම්භ වූ මුල් වකවානුවල දී එය නැරැඹීමට කාන්තාවන්ට ඉඩකඩ අහිමි කර තිබිණි. පසු කාලීනව එය ඔලිම්පික් තරගාවලිය නැරඹීමට පමණක් සීමා කෙරිණි. ක්‍රමයෙන් එය වෙනස්ව වර්තමානය වන විට ක්‍රීඩාව සඳහා බොහෝ රාජ්‍යයන්හි කාන්තා නියෝජනයට අවස්ථාව හිමි වී තිබේ. එසේ නොවන රටවල් අතරට අයත් වන රාජ්‍යයන් වේ නම් ඒ ඇතැම් ආරාබි රාජ්‍යයන් පමණි. ඒ අනුව වර්තමාන ඔලිම්පික් ක්‍රීඩා උලෙළ් ක්‍රීඩා 43 ක් සදහා කාන්තාවන් සහභාගි වන්නේ එහෙයිනි.

මෙනයින් බලන කල වර්තමානය වන විට ඔලිම්පික් යනු සර්ව ව්‍යාප්ත, සර්ව ආගමික, සර්ව ජාතික සංකල්පයක් බවට පත්ව ඇත. එම තත්ත්වය හිමි කර ගනිද්දී ඔලිම්පික් ලොව ඇති ප්‍රධානම ක්‍රීඩා උලෙළ බවට පත්ව ඇත්තේ නිතැතිනි. ඔලිම්පික් සඳහා සත්කාරකත්වය ලබා ගැනීමට ලොව ධනවත් රටවල් අතර දැවැන්ත තරගයක් නිර්මාණය වී ඇත්තේ ද ඒ හේතුවෙනි.

ඔලිම්පික් උලෙළක් තම රට තුළ සාර්ථක ව පැවැත්වීම මඟින් එකී රටට තමන්ගේ ආර්ථීක, දේශපාලන, සංස්කෘතික, සමාජයීය හැකියාව ලෝකයට ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව හිමි වේ. තරගාවලිය සංවිධානය කිරීමේ දී එය සංවිධානය කරන රටේ අනන්‍යතාවය, පහසුකම් හා සේවා සැපයීමේ කාර්යක්ෂමතාවය, ඔලිම්පික් ගම්මානය නිර්මාණය කිරීම මඟින් නව රැකියා අවස්ථා නිර්මාණය වීම, විදේශ විනිමය රටට ගලා ගෙන ඒම, තම රට සම්බන්ධයෙන් යහපත් ප්‍රතිරූපයක් නිර්මාණය කර ගැනීමේ හැකියාව මේ අතර ප්‍රධාන ය. ඊට අතිරේක ව රටේ විශාල පිරිසකට ඔලිම්පික් නැරැඹීමට අවස්ථාවක් හිමි වීම, ආදි බොහෝ අවශ්‍යතා ඉටු කර ගැනීමට හැකි වීම අතිරේක ජයග්‍රහණයන් ය.

ඔලිම්පික් ක්‍රීඩා උලෙළට භාවිත කරන ධජය හැරුණු කොට ඔලිම්පික් පහන, ඔලිම්පික් ගීය, ඔලිම්පික් සඳහා ඒ ඒ අනුග්‍රාහක රටවල් නිර්මාණය කරන නිල සංකේතයන් (සුරතල් සත්ත්වයන්ගේ) මඟින් සිදු කරනුයේ ලොව පුරා සංස්කෘතික හුවමාරුවකි. එසේම මෙලෙස වසර හතරකට වරක් ක්‍රීඩා උලෙළ සංවිධානය කිරීම නිසා රට රටවල් අතර මනා තරගයක් ඇති වීම, ශක්තිමත් බැඳීම් නිර්මාණය වීම ද දැක ගැනීමට පිළිවන. තරගකරුවන් අතර සිහිවටනයන් හුවමාරු කර ගැනීම මෙන්ම ක්‍රීඩකයන් සහ ප්‍රේක්ෂකයන්ට එසැණින් ජය පරාජය විඳීමට අවස්ථාව උදා වීම ආදි කාරණා ද ඒ අතර වේ. මේ හේතුවෙන් ක්‍රිඩකයන්ට ඔලිම්පික් සිහිනය ජය ගැනීමේ අවස්ථාව ශක්තිමත් කරන වටපිටාව නිර්මාණය වෙයි. මේ අතර ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ සහභාගිත්වය හේතුවෙන් ක්‍රීඩකයන් තුළ සැබෑ ජයග්‍රහණ නිර්මාණය වන්නා සේ ම ඔවුන් තවත් වසර හතරකට බලාපොරොත්තු ගොඩනඟා ගැනීමේ පරිසරයක් ද නිර්මාණය වෙයි. එහෙයින් ඔලිම්පික් යනු ලෝකයට හොඳම දේ ලබා දෙන, ලොවම ඒකාබද්ධ කරන, එක අරමුණක පිහිටුවන මහා උලෙළකි. ක්‍රීඩකයන් තුළ අභිප්‍රේරණය ඇති කර ගැනීමේ දී ඔලිම්පික් මහා ශක්තියකි, ආශිර්වාදය කි.

කාන්ති ජයසිංහ

Comments