
දකුණු ආසියානු රන් පදක්කම්ලාභිනී සාරංගි ද සිල්වා පසුගිය දා දුර පැනීමේ කාන්තා ඉසව්වේ මීටර් 6.44 ක දුරක් (සුළඟ +0.3) සමඟ ශ්‍රී ලංකා වාර්තාව තමන් සතු කර ගැනීමට සමත් වූවා ය.
තුර්කියේ පැවැති අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගාවලියක දී දුර පැනීමේ කාන්තා ඉසව්ව නියෝජනය කළ සාරංගි මීටර් 6.44 ක දක්ෂතාවක් දැක් වූ අතර, ඒ සමඟ වසර 6 ක් පැරැණි ශ්‍රී ලංකා වාර්තාව ද බිඳ දැමුවා ය.
සාරංගිගේ මේ දස්කම හමුවේ බිඳ වැටුණේ 2015 වසරේ දී දියගම පැවැති 41 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ දී සී.ඩී ප්‍රියදර්ශනී මීටර් 6.43 ක් ලෙස පිහිටුවා තිබූ වාර්තාව ය.
2019 වසරේ නේපාලයේ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ දී මීටර් 6.38 ක දුරක් පනිමින් රන් පදක්කම දිනා ගත් සාරංගි පසුගිය වසරේ පැවැති ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී මීටර් 6.33 ක දක්ෂතාවක් සමඟින් තරගාවලි වාර්තාවක් පිහිටුවීමට ද සමත් වූවා ය.
සිය පෞද්ගලික පුහුණුකරු මෙන්ම ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු ලෙස ද කටයුතු කරන වයි.කේ. කුලරත්න මහතා යටතේ පුහුණුව ලබන ඇය ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී දැක් වූ දස්කම් හේතුවෙන් ජාතික ඔලිම්පික් කමිටු ශිෂ්‍යත්වයක් මත කටාර් රාජ්‍යයේ මාස 6 ක පුහුණුවීම් කටයුතු සඳහා එක්ව සිටින්නී ය. ඒ අතරතුර දින 30ක විශේෂ පුහුණුවක් සඳහා ඇය තුර්කිය ට පැමිණ තිබිණි.
පානදුර ශ්‍රී සුමංගල බාලිකා විදුහලෙන් ක්‍රීඩාවට අවතීර්ණ වූ 24 හැවිරිදි සාරංගි නේපාලයේ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකා කාන්තා මීටර් 100 සහාය දිවීමේ සාමාජිකාවක ලෙස එක් වූ ක්‍රීඩිකාවකි. එහිදී දුර පැනීමේ ඉසව්ව නියෝජනය කිරීමට ලද අවස්ථාවෙන් උපරිම දස්කම් පෙන්වා එහිදී රන් පදක්කම දිනා ගැනීම කැපී පෙනිණි. ඇය ඇතුළත් වූ ශ්‍රී ලංකා මීටර් 100 සහාය දිවීමේ කාන්තා කණ්ඩායම ද එම තරගාවලියේදී රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
ඇය පිහිටු වූ මෙම වාර්තාවත් සමඟම ශ්‍රී ලංකා දුර පැනීමේ ජාතික වාර්තාවේ ගමන් මඟ වෙනස් වූ ආකාරය,
4.84 අයිරිස් වැන්ඩර්සයිල් - 1942/10/10
4.88 ශිරී තෝමස් - 1948/02/27
4.93 ජුනි ඩි ක්‍රෙට්සර් - 1949/08/19
4.99 ජුනි ඩි ක්‍රෙට්සර් - 1954/02/28
5.11 පද්මා ගුණවර්ධන - 1955/09/11
5.36 පද්මා ගුණවර්ධන - 1955/10/01
5.41 නොබෙල් කීල් - 1959/07/12
5.41 ශාන්ති ද ඇඩ්රූ - 1968/11/19
5.42 පෝලීන් ක්ලොග්ස්ටවුන් - 1969/12/12
5.43 පෝලීන් ක්ලොග්ස්ටවුන් - 1970/03/22
5.43 අයිරින් ද සිල්වා - 1970/03/22
5.48 අයිරින් ද සිල්වා - 1970/03/25
5.74 උපශ්‍රියා සමරතුංග - 1975/10/11
5.79 ඉන්ද්‍ර පද්මිණී පෙරේරා - 1978/10/01
5.79 උපශ්‍රියා සමරතුංග - 1978/10/08
5.82 ඉන්ද්‍රා පද්මිණී පෙරේරා - 1978/10/08
5.85 උපශ්‍රියා සමරතුංග - 1978/10/29
5.87 දිලීමා පීටර්සන් - 1986/05/17
5.98 දිලීමා පීටර්සන් - 1986/08/29
6.01 අනුෂා කාරියවසම් - 1989/06/16
6.01 අනුෂා කාරියවසම් - 1989/10/03
6.03 අනුෂා කාරියවසම් - 1990/05/13
6.06 දිලීමා පීටර්සන් - 1990/07/29
6.22 දිලීමා පීටර්සන් - 1990/10/17
6.26 නයන්ති චන්ද්‍රසේන - 1998/10/ 17
6.29 නයන්ති චන්ද්‍රසේන - 2000/05/13
6.34 නයන්ති චන්ද්‍රසේන - 2000/06/03
6.40 නයන්ති චන්ද්‍රසේන - 2002/05/10
6.43 එන්.සී.ඩී. ප්‍රියදර්ශනී - 2015/12/19
6.44 එල්.එස්. සාරංගි සිල්වා - 2021/06/23
බන්ධුල ජයමාන්න
 









