ලොවක ආදරය දිනූ කිරුළක් නැති නවසීලන්තයේ නිහතමානී විලියම් කුමාරයා | සිළුමිණ

ලොවක ආදරය දිනූ කිරුළක් නැති නවසීලන්තයේ නිහතමානී විලියම් කුමාරයා

 

නිහතමානී බව, දරා ගැනීම, ඉවසිලිවන්ත බව ආදි ගුණාංගයන්ගෙන් අනූන චරිතයක් වන කේන් විලියම්සන් මුළු මහත් ලෝකයේ ම ක්‍රිකට් රසිකයන් අතර ජනාදරයට පත්ව ඇත්තෙකි

 

'විලියම් පුතා ආදරණීය මිනිසෙකි. ආදරය හඳුනන මිනිසෙකි. දඹුල්ලේ මිනිසුන් ඔහුගේ උපන්දිනට කැපූ කේක් කැබැල්ලක් තැන නොතැන නොබලා භුක්ති විඳ ප්‍රේක්ෂකයන් සතුටු කරන්නට ඔහු කටයුතු කළේ මීට වසර කීපයකට පෙර ය. භාවයන් වැඩි වශයෙන් සිය මුහුණෙන් නොපෙන්වන අපූර්ව පෞරුෂයක් සහිත නවසීලන්තයේ කිරි පුතා නොව කාගෙ කාගෙත් ක්‍රිකට් පුතා වී සිටින විලියම් පුතා ගැන තැබෙන කෙටි සටහනකි මේ.'

පරාජය ජයග්‍රහණයේ ‍සෙවණැල්ල යැයි සුප්‍රකට කියමනක් ඇත. මිනිසුන් සැමදාම පරාජය වන්නේ නැත. එසේ ම ජය ගත් මිනිසුන් සැමදාම ජයග්‍රහණය කරන්නේ ද නැත. ලෝකයේ නියාම දහම එලෙස ය. සාමාන්‍යයෙන් පරාජයට පත්වන්නා නැවත නැවතත් ජයග්‍රහණය උදෙසා උත්සුක විය යුත්තේ එහෙයිනි.

කේන් විලියම්සන් නායකත්වය දරන නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම පසුගිය දා සිය ප්‍රථම ලෝක කුසලාන ජයග්‍රහණයේ සතුට භුක්ති වින්දහ. 2015 සහ 2019 වසරවලදී අයි.සී.සී. එක්දින ලෝක කුසලානය පෙනෙන මානයටම ඔවුන් ගමන් කළත් එම කාල වකවානු තුළ ඔවුන්ට එය හිමි වූයේ නැත. නමුත් පසුගිය දා ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරදවමින් පළමු ටෙස්ට් ලෝක ශූරතාව දිනා ගැනීමට නවසීලන්තයට හැකිවිණි.

නිහතමානී බව, දරා ගැනීම, ඉවසිලිවන්ත බව ආදි ගුණාංගයන්ගෙන් අනූන චරිතයක් වන කේන් විලියම්සන් නවසීලන්තයේ පමණක් නොව මුළු මහත් ලෝකයේ ම ක්‍රිකට් රසිකයන් අතර ජනාදරයට පත්ව ඇත්තෙකි. දිනක් ශ්‍රී ලංකාව සමඟ පැවැති තරගයක දී ශ්‍රී ලංකා රසිකයෙක් කේන්ගේ උපන්දිනයට සුබ පතමින් පිරිනැමූ කේක් කෑල්ල ඔහු විසින් නිහතමානීව පිළිගත්තේ තරගයේ පන්දු රකිමින් සිටි අතරවාරයේ දී ය.

කේන් ටෙස්ට් සහ එක්දින වරම් දිනා ගත්තේ ඉන්දියාවට එරෙහිව 2010 වසරේ දී ය. 2011 වසරේ දී විස්සයි විස්ස තරග බිමට පියවර තබන්නේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ය. එතැන් පටන් එක්දින ලෝක කුසලාන තුනක් සහ විස්සයි විස්ස ලෝක කුසලාන තුනක් සඳහා ඔහු නවලසීන්තය නි‍යෝජනය කර ඇත. 2012 සිට විටින් විට එක්දින සහ විස්සයි විස්ස තරග බිමේ නවසීලන්ත නායකයා ලෙස කටයුතු කරන්නට ද අවස්ථාව හිමිවිය. 2016 වසරේ දී විස්සයි විස්ස, එක්දින සහ ටෙස්ට් යන තරග රටා තු‍නෙහිම නිත්‍ය නායකත්වයට කේන්ව පත් කෙරුණේ ය.

ජාත්‍යන්තර පිටියේ ලෝක කුසලාන තරගාවලි හතකට සහභාගී වී ඇති ‍කේන් ඉන් 3 ක දී නවසීලන්තය වෙනුවෙන් නායකත්වය ලබා දී තිබේ. 2011 එක්දින ලෝක කුසලාන තරගාවලිය කේන්ගේ පළමු ලෝක කුසලාන අත්දැකීමයි. එහි අවසන් පූර්ව වටය දක්වා පැමිණි නවසීලන්තය අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකා පිල ඉදිරියේ පරාජයට පත් විණි. 2012 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට ද කේන් සහභාගී වූ අතර එහි දී පළමු වටයෙන්ම නවසීලන්තය ඉවතට විසි විය.

2014 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය කේන් විලියම්සන්ට සිය ක්‍රිකට් දිවියේ අමතක ‍නොවන තරගාවලියකි. එහි දී ඔහු ලෝක කුසලානයක වාර්තා කළ පළමු අර්ධ ශතකය වාර්තා කළ අතර ශ්‍රී ලංකාව හා පැවැති තරගයේ දී ඔහු කැපී පෙනෙන ලකුණු 42 ක් වාර්තා කළේ ය. එදා කේන් විලියම්සන් ලබා ගත් ලකුණු 42 ලකුණු පුවරුව මත වඩාත් කැපී පෙනුණේ සෙසු ක්‍රීඩකයන් දස දෙනාම ලකුණු 4 සීමාව හෝ පසු නොකරම දැවී ගොස් තිබූ නිසා ය. නවසීලන්ත කණ්ඩායමේ සියලු දෙනා එදා ශ්‍රී ලංකාව ඉදිරියේ ලකුණු 60 ක ට දැවී ගියේ ය. කේන් නොවන්නට තත්ත්වය තවත් බැරූරුම් වන්නට ඉඩ තිබිණි.

2015 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාව දිනා ගත්තේ නවසීලන්තය යි. තරගාවලියේ මුල සිටම ජයග්‍රහණ ලබමින් ලකුණු අතර සිටි නවසීලන්ත කණ්ඩායම අවසන් තරගයේ දී ඔස්ට්‍රේලියාව ඉදිරියේ දී අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියේ අමිහිරි පරාජයක් අත්කර ගනිමිනි. කේන් විලියම්සන් එම තරගාවලියෙහි විශිෂ්ට දස්කම් අතරට නොපැමිණි නමුත් ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව පළමු වටයේ තරගයක දී අර්ධ ශතකයක් වාර්තා කළේ ය.

කේන් විලියම්සන් නවසීලන්තයට නායකත්වය ලබා දුන් පළමු ලෝක කුසලාන තරගාවලිය වූයේ 2016 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය යි. එහි දී පළමු වටයේ තරග හතරම ජයග්‍රහණය කරන්නට තරම් සාර්ථක නායකත්වයක් ලබා දීමට ඔහුට හැකිවිණි. නවසීලන්තය අතින් පළමු තරග තුනේ දී ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය යන ලොව ප්‍රබලම කණ්ඩායම් පරාජයට පත් විණි. සිව්වන තරගයේ බංග්ලාදේශ කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 70 කට දවාලන්නට තරම් ඔහුගේ නායකත්වයේ සැලසුම් ප්‍රබල තත්ත්වයක පැවැතිණි.

නමුත් අවසන් පූර්ව තරගයේ දී එංගලන්තය හමුවේ පරාජය වූ නවසීලන්ත කණ්ඩායමට එම ලෝක කුසලානයේ බලාපොරොත්තුද අත්හැර දමන්නට සිදු විය.

2019 එක්දින ලෝක කුසලාන තරගාවලියේ ද නවසීලන්තය ‍වෙනුවෙන් නායකත්ව වගකීම පැවරුණේ කේන් විලියම්සන්ටම ය. එහි අවසන් තරගය දක්වාම නවසීලන්තය ගෙන ගිය කේන් තරගාවලිය පුරාම දක්ෂතා අතර සිටියේ ය. තරගාවලිය තුළ හෙතෙම අර්ධ ශතක 2 ක් සහ ශතක 2ක් ලබා ගන්නට සමත් විය. නමුත් කුසලානය පෙනි පෙනී එංගලන්තය සමඟ පැවැති අවසන් තරගයේ ලකුණු සම වූ අතර ජයග්‍රාහකයා සොයන්නට සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක විණි.

සුපිරි පන්දුවාරයේ දී ද දෙපිලේම ලකුණු සම වූ අතර දෙපිල ලබා ගත් හතරේ සහ හයේ පහර ප්‍රමාණය අනුව නවසීලන්තයට එවරද උරුම වූයේ පරාජයයි. තරගාවලියේ වීරයා සම්මානය කේන් විලියම්සන්ට හිමි විය.

පසුගිය දා නිමා වුණු 2021 ලෝක ටෙස්ට් ශූරතාවලියෙහි අවසන් තරගයට නවසීලන්තය සුදුසුකම් ලැබුවේ ප්‍රබල ඉන්දියානු කණ්ඩායම සමඟින්ය. එහි දී කේන්ගේ නායකත්වයෙන් ප්‍රබල ඉන්දියානුවන් මට්ටු කරමින් සිය පළමු ලෝක කුසලාන ජයග්‍රහණය වාර්තා කළේය. එහි දී කේන් විලියම්සන් පළමු ඉනිමේ ලකුණු 49 ක් සහ දෙවැනි ඉනිමේ නොදැවී ලකුණු 52 ක් රැස් කරමින් තරගය ජය මාවතට රැගෙන ගියේ ය. ඒ කේන් විලියම්සන්ගේ හැටිය.

 

පසිඳු මිහිරාන් රැටියල

Comments