රණවිරු පරාක්‍රම සමරවීර නාවික ගෘහස්ථ ක්‍රීඩාංගණය ක්‍රීඩක අයිතියට | සිළුමිණ

රණවිරු පරාක්‍රම සමරවීර නාවික ගෘහස්ථ ක්‍රීඩාංගණය ක්‍රීඩක අයිතියට

 

වැලිසර නාවික සංකීර්ණයේ අභිනවයෙන් ඉදි කළ ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය රණවිරුවකු සහ අතිදක්‍ෂ ක්‍රීඩකයකු ලෙස නාවික හමුදාව තුළ අමරණීය නාමයක් සනිටුහන් කළ කොමදෝරු පරාක්‍රම සමරවීර ගෘහස්ථ ක්‍රීඩාංගණය නමින් පසුගිය දා ක්‍රීඩක අයිතියට පත් කෙරිණි. එ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා විසිනි.

මාතෘ භූමියට උත්තරීතර සාමය උදාකරලනු පිණිස ත්‍රස්තවාදී මරාගෙන මැරෙන යාත්‍රාවකට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටිය දී ජීවිතය පරිත්‍යාග කළ කොමදෝරු පරාක්‍රම සමරවීර නාවික හමුදා රග්බි ක්‍රීඩාවේ සන්නාමයක් බඳු ක්‍රීඩකයෙක් ද විය.

ඒ අනුව වැලිසර නාවික සංකීර්ණයේ ඉදි කළ මෙම ගෘහස්ථ ක්‍රිඩා සංකීර්ණය කොමාන්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය ලෙස නම් කිරීමට නාවික හමුදාපතිවරයා කටයුතු කරනු ලැබිණි.

මෙම ගෘහස්ථ ක්‍රීඩාංගණය තුළින් නාවික හමුදාව තුළ ක්‍රීඩාව ප්‍රවර්ධනය කර එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කුසලතාවන් ඔප්නැංවීමට අපේක්ෂා කරන බව පැවසෙයි. මෙම ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය වොලිබෝල්, පැසි පන්දු, බැඩ්මින්ටන්, දැල් පන්දු මෙන්ම කරාතේ, ජූඩෝ, තයිකොන්ඩෝ, මල්ලවපොර, වූෂූ සහ කබඩි යන ක්‍රීඩාවන් සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විතය.

පරාක්‍රම සමරවීර, මහනුවර කිංස්වුඩ් විද්‍යාලයෙන් සිප් සතර හදාරා ඇති අතර ක්‍රිකට්, පැසි පන්දු, පාපන්දු, හොකී, මලල ක්‍රීඩා සහ රග්බි කණ්ඩායමේ නායකත්වය පවා උසුලන ලද ක්‍රීඩකයෙකි.

ඔහුගේ නායකත්වය යටතේ නාවික හමුදා රග්බි කණ්ඩායම ජයග්‍රහණ රාශියක් අත්පත් කර ගෙන තිබිණි. 1989 -1990 වර්ෂයේදී නාවික හමුදා වර්ණයෙන් පිදුම් ලැබීමට ඔහු සමත් වූයේ රග්බි ක්‍රීඩාවෙන් ප්‍රකට කළ අසමසම දක්‍ෂතාවය හේතුවෙනි.

කාන්ති ජයසිංහ

Comments