හොකී ක්‍රීඩාව දේවත්වයෙන් සලකන ඉන්දියාව සහ පකිස්ථානය මෙන් ම මෑතක දී ජාත්‍යන්තරයේ ස්ථානයක් තහවුරු කර ගැනීම සඳහා උපක්‍රමශීලි ආක්‍රමණයක නිරත වී සිටින සිංගප්පූරුව අතිශය තියුණු තරගයකින් පසු පරාජයට පත් කරන්නට “ඕමානය” සමත් වීම ජගත් කෙළිබිම තුළ පසුගිය සතියේ සටහන් වූ සුවිශේෂී සිද්ධියක් විය.
ලෝක කුසලාන ශූරතාව සහ ආසියානු ක්‍රීඩා උලෙළේ ශූරතාව මෙන් ම ආසියානු කුසලාන ශූරතාව ද දිනා ගෙන ඇති ඉන්දියාව සහ පකිස්ථානය මෙම සටනේ දී ඕමානය හමුවේ පරාජයට පත්වීම ද විශේෂිත ය.
ලෝක මට්ටමේ දී හෝ ආසියානු මට්ටමේ දී ශූරතා කුසලානයක පහස කිසි දිනක ලබා නැති “ඕමානය” මෙම තියුණු සටනින් ජයග්‍රහණය කළේ සංවිධාන ශක්තිය මෙන් ම ඒ සඳහා සිදු කරන ලද උපක්‍රමශීලි ක්‍රියා පිළිවෙත සමඟිනි.
ඕමාන් රාජ්‍යයට නායකත්වය සපයන සුල්තාන් ගේ සිට “ඕමාන හොකී සංගමය” නමැති පවුලේ සාමාජිකයෝ සියලු දෙනාගේ ම කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ජයග්‍රහණය සටහන් කර ගෙන ඇති බව නොරහසකි.
එහි ප්‍රතිඵලයක් ලෙස ලෝක හොකී ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන හොකී තරගාවලියකට සහභාගී වීමේ විරල වරම ද ඕමානය සතු විණි.
ඒ, එළඹෙන 2024 වසරේ ජනවාරි මස ක්‍රියාත්මක කෙරෙන කණ්ඩායමකට සාමාජිකයන් 05 දෙනා බැගින් වන ආරම්භක ලෝක කුසලාන හොකී තරගාවලියේ සත්කාරකත්වය ලබා දීමේ අවස්ථාව ඕමානය දිනා ගැනීම හේතුවෙනි.
ඒ අනුව මස්කට් නුවර දී ඇරඹෙන සාමාජිකයන් පස්දෙනකු බැගින් වන ලෝක කුසලානයේ “පළමුවැන්න” සඳහා ආසියාතික රටවල් 04 ක් සුදුසුකම් ලබා ඇත. ලොව දක්ෂතම පිරිමි කණ්ඩායම් 16 ක් සහ කාන්තා කණ්ඩායම් 16 ක් සහභාගි වන මෙම තරගාවලිය සඳහා සෑම මහද්වීපයකින් ම කණ්ඩායම් 03 බැගින් තෝරා ගැනේ. ඊට අමතර ව සත්කාරක දේශය ලෙස ඕමානයට ද ඊට සහභාගි වීමේ අවස්ථාව ලබා දීමට ජාත්‍යන්තර හොකී සංගමය තීරණය කර ඇත.
හොකී ක්‍රීඩාවේ නිරත රටවල් 142 ක් අතරින් ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ලබා ගැනීම සඳහා ලංසු ඉදිරිපත් කළේ ය. ඒ අනුව යුරෝපීය රටවල් අභිබවමින් ආසියාවේ ම රටවල් 04 ක් ඉදිරිපත් වූ අතර, එහිදී සියලු රටවල් වික්ෂිප්ත කරමින් ඕමානයට සත්කාරකත්වය හිමි විණි.
ඒ එරට හොකී බලධාරීන්ගේ ඇති හැකියාවට කදිම නිදර්ශනයක් ලෙස දැක්විය හැකි ය. ආර්ථික අතින් හා සංවිධාන ශක්තිය අතින් ඉහළ අගයක් ගන්නා ඕමානය මෙම තරගාවලිය තුළින් ඔවුන්ගේ හොකී දිශානතිය ජාත්‍යන්තරය හමුවේ ප්‍රදර්ශනය කරන්නට හිමිකර ගත් අවස්ථාවක් ලෙස මෙය දැක්විය හැකි ය.
වර්තමානය වන විට ලෝක හොකී ක්‍රීඩා පිටියේ ද වෙනස්කම් රැසක් සිදු වෙමින් ඇත. එහි කූටප්‍රාප්තිය සනිටුහන් කරමින් පස් සාමාජික ලෝක කුසලාන පිරිමි සහ කාන්තා හොකී තරගාවලියක් හඳුන්වා දීමට අන්තර්ජාතික හොකී සම්මේලනය පියවර ගත්තේ හොකී ක්‍රීඩාව තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණෙනි. ඒ 1973 සිට සිව් වසරකට වතාවක් ක්‍රියාත්මක කෙරෙන කණ්ඩායමකට ක්‍රීඩකයන් 11 දෙනා බැගින් වන ලෝක කුසලාන තරගාවලියට අමතරව ය.
2020 දෙසැම්බර් මස 09 වැනි දින මෙම තීරණයට එළැඹ ඇත්තේ ජගත් කෙළිබිම ට අභිනවයෙන් හඳුන්වා දී ඇති වේගවත්ම ක්‍රීඩාවක් ලෙසිනි. නැවුම් මුහුණුවරක් ගෙන ඇති මෙම තරගාවලිය තුළින් ගෝලීය වශයෙන් හොකී ක්‍රීඩාවේ ගුණාත්මක බව වර්ධනය කිරීම සහ ප්‍රචලිත කිරීම හා ව්‍යාප්තත කිරීම ප්‍රධාන අරමුණ වී ඇත.
2018 වසරේ ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නගරයේ දී පැවැති අවසන් යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උලෙළට අත්හදා බැලීමක් ලෙස ප්‍රථම වරට පස් සාමාජික හොකී තරග හඳුන්වා දෙනු ලැබීය. ඒ අනුව එහි පැවැති අතිවිශිෂ්ට සාර්ථකත්වය හේතුවෙන් අභිනව ලෝක කුසලාන තරගාවලිය සකස් විණි. එය ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පැවැතීම කදිමය.
සපුමල් වීදියබණ්ඩාර










