
මෙරට මෝටර් රථ ක්‍රීඩාව තුළ සුවිශේෂී දායකත්වයක් ලබා දුන් ක්‍රීඩකයන් අතර සුරංජිත් ප්‍රේමදාස සුප්‍රකට නාමයකි. ඔහුගේ අඩි පාරේ යමින් වයස අවුරුදු 7 දී ධාවන පථයට පිවිසි ක්‍රීඩකයකු ලෙස අරවින්ද ප්‍රේමදාස හැඳින්විය හැකි ය. ඔහු ෆොක්ස්හිල්, ගජබා, ගනර්ස් තරග සඳහා සහභාගි වෙමින් ස්වකීය වේගය තුළින් වාර්තා පිහිටුවනු ලැබූවෙකි.
එහි දී ඔහු අඛණ්ඩ ව ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් තරගාවලිය දස වතාවක් ද ගජබා සුපර්ක්‍රොස් 9 වතාවක් ද ගනර්ස් සුපර්ක්‍රොස් සය වතාවක් ද ජය ගෙන ඇත. වෘත්තියෙන් ව්‍යාපාරිකයකු වන ඔහු දෙදරු පියෙකි. තම පියා සේම ප්‍රේමදාස පරපුරේ තෙවැනි පරම්පරාවත් මෙරට මෝටර් රථ ධාවන පථයට යොමු කරන්න ඔහු කටයුතු කර අවසන් ය. ඒ තම පුත්‍ර අවිශ්ක ප්‍රේමදාස ද ධාවන පථයට එක් කරමිනි. ක්‍රීඩාවෙන් පරිබාහිරව ජිවිතයේ අනෙක් පැත්ත ගැන අද 'ක්‍රීඩා' හා ඔහු සංවාදිත වූයේ ය.

මුලින්ම ඔබ කවුද කියලා ඔබෙන්ම අහගහනිමු. කොහොම ද ඔබට ඔබව දැනෙන්නේ ?
ක්‍රීඩකයෙක් විදිහට. ඒ වගේම සරල ජීවිතයක් ගත කරන්න කැමති සාමාන්‍ය ජීවිතයක් බුක්ති විඳින ව්‍යාපාරිකයෙක් වශයෙන් තමයි මට මාව හඳුන්වා දෙන්න හැකි වෙන්නේ.
ඔබේ උපන්දිනය කියන්න කැමැති ද?
1978 වසරේ ඹක්තෝබර් මාසයේ තමයි මම උපන්නේ. දැනට ඒ ඇති.
උපන් ගම?
කොළඹට නුදුරු නුගේගොඩ ආශ්‍රිතව.
පවුලේ සංයුතිය කොහොම ද?
මමයි, අම්මයි, තාත්තායි, නංගිලා දෙන්නයි.
ඔවුන් මොන වගේ අය ද?
පියා ක්‍රීඩාවට ලැදි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපව වැඩ කරන කෙනෙක්. මගේ සහෝදරියන් දෙදෙනාත් දක්ෂ ක්‍රීඩිකාවන් දෙදෙනෙක්. ඒ වගේමයි මේ හැමෝම සරල සැහැල්ලු ජීවිතයක් ගත කරන්න කැමැති ව්‍යාපාරිකයන් වශයෙන් කටයුතු කරන අයයි.
ඔබ විවාහක නිසා කොහොමද දැන් අලුතින් හදාගත්ත පවුලේ තොරතුරු?
ඔව්. මම දැන් විවාහකයි. මගේ බිරිද අනුෂ්කා. අපි දෙදෙනාට දරුවන් දෙදෙනෙකු සිටිනවා. පුතා අවිශ්ක ප්‍රේමදාස, දුව අශන්යා ප්‍රේමදාස.
ඔබේ පෞද්ගලික කැමැත්ත ගැන කතා කරමු. ඔබ විශේෂයෙන් කැමැති, අකැමැති දේවල් තියෙනවා ද?
තියෙනවා. මම අවංකව වැඩ කරන අයට කැමැතියි. ඒ වගේම කලට වේලාවට වැඩ කරන අයට කැමැතියි.
අකැමැති දේවල්?
බොරුවට, බොරු කරනවට මම අකැමැතියි.
පත්තර එහෙම බලනවා ද?
ඇත්තටම දැන් පුවතෙපත් බලන්න වෙලාවක් නෑ. ඒ වගේමයි ඒකට ලොකු උනන්දුවකුත් නෑ.
රූපවාහිනිය නරඹනවා ද?
ඔව්. මම රූපවාහිනිය නරඹනවා.
තෝරා බේරා ගෙන විශේෂයෙන් බලන දේවල් තියෙනව ද?
ඔව්. දේශීය ප්රවෘත්ති, නාලිකා තුනක ප්රවෘත්ති නරඹනවා. ඒ වගේම විදේශීය නාලිකා තුනක ප්රවෘත්ති නරඹනවා. ඒක මගේ පුරුද්දක්.
පොත් එහෙම කියවනව ද?
නෑ. ඒ වෙනුවෙන් ගත කරන්න මට කාලයක් නෑ.
ඒත් සිනමාවට කැමැති ඇති නේද?
ඔව්.
මොන සිනමාවට ද වඩාත් කැමැති?
සිංහල සිනමාවට වගේම ඉංග්‍රීසි සිනමාවටත් කැමැතියි.
සංගීතයට තිබෙන කැමැත්ත කොහොම ද?
මම සංගීතයට ප්‍රියයි. ඉඩ ලැබෙන හැම වෙලාවකම සංගීතය රසවිඳිනවා.
විශේෂයෙන් තෝරාගෙන අහන සිංදු තියෙනවා ද?
90 දශකයේ ඉංග්‍රීසි සිංදුවලට තවමත් ආස කරනවා. ඒ වගේම පැරැණි සිංහල සිංදුත් අහනවා. වර්තමානයේ බිහි වන හොඳ නිර්මාණ ත් රසවිඳිනවා.
දැන් අරවින්ද ඔබේ ජීවිතයේ පරමාදර්ශී චරිත එහෙම තියෙනවා ද?
ඒක දේශපාලනිකයි කියලා සිතේවි.
අපිට ඔබේ කැමැත්ත ගැන පළ කරන්න පුළුවන්. මොකද එයේ ඔබේ පෞද්ගලිකත්වයනෙ?
හිටපු ජනාධිපති. වත්මන් අගමැති. මහින්ද රාජපක්ෂ මහතාට මම කැමැතියි.
ඒ මොකද ඒ ?
රට ජාතිය බේරා දුන්, රටේ අනාගත පරපුරට සාමාකාමී රටක් ගොඩනඟපු නායකයා නිසා.
රට රටවල සංචාරය කිරීම ගැන කතා කරමු ද?
දැනට මම රටවල් 25 ක පමණ සංචාරය කර තිබෙනවා.
ඒ සංචාරය කළ රටවල දැකපු හොඳම දේවල් මොනවා ද?
යුරෝපයේ රටවල්වල පුරවැසියන්ගේ විනයගරුක භාවයට මම ආදරෙයි. නමුත් ආසියාතික රටවල් බොහොමයක මේ කියන පුද්ගල විනය පිරිහිලා. අවිනීත පුරවැසියන් මෙන්ම අවිනීත රියැදුරන් බහුලව ආසියාකරයේ සිටිනවා.
ආදරය ගැන මොනවද හිතෙන්නේ?
ඒක වචනයට නැඟිය නොහැකි හැඟීමක්.
එහෙමනම් ඔබත් ඔබේ විවාහය තුළ මේ කියන වචනයට කියන්න බැරි හැඟීම අත්විඳිනවා ඇති නේ ද ?
සැබැවින්ම. ඒකත් වචනයට නැඟිය නොහැකි හැඟීමක් මෙන්ම දෙදෙනා අතර ගොඩනැඟෙන අන්‍යෝනය අවබෝධයෙන් පිරුණු හැඟුම් මාලාවක්.
ඇත්තටම ඔබේ බිරිය කොහොම කෙනෙක් ද?
එයත් සාමාන්‍ය බිරියක් වගේ තමයි. මම හිතන්නේ බිරියක් වුණාට පස්සේ හැම තරුණියක්ම එක වගේ වෙනවා කියලා.
අද විවාහ වෙන වේගයටම දික්කසාදය ගැනත් කතා කරනවා නේද?
ඔව්. ඒ ඒ පුද්ගලයන්ගේ කැමැත්ත අනුව සිදුවන දේ අතරට තමයි දික්කසාදයත් වැටෙන්නේ. ඒක පෞද්ගලික තීන්දුවක්.
ඔබ අද පැමිණ තිබෙන තැන ගැන මොකද හිතෙන්නේ?
මට කවදත් ලොකු අපේක්ෂා තිබුණේ නෑ. නමුත් මම සරලව මගේ ගමන යනවා.
ඔබේ සම වයසේ ඉන්න ඒ වුණාට ඔබ වැනි තැනකට එන්න බැරිවුණ අය ගැන මොකද හිතෙන්නේ?
මා සමඟ සිටි පිරිසට විවිධ විවිධ උවමනාවන් තිබුණා. ඔවුන් ඒ ඒ මාවත් සොයාගත්තා. අද ඔවුන් ඒ ඒ මාවත්වල ගමන් කරමින් සිටිනවා.
ඔබ ඉගෙන ගත් පාසල මොකක් ද?
කොළඹ රාජකීය විද්‍යාලය.
ඔබ යන්න කැමැති තැන් තියෙනවා ද?
ශ්‍රී ලංකාවේ හැම තැනකටම මම කැමැතියි. ලෝකයේ අනෙකුත් රටවල කිලෝමිටර්, සැතැපුම් දහස් ගණනක් ගිහින් දැක ගත හැකි වෙනස්කම් ලංකාවේ ඉතාමත් කෙටි දුරකින් දැකගත හැකියි. රසවිඳිය හැකියි.
ඔබ ලෝකයේ දකින්න කැමැතිම තැන් තියෙනවා ද?
මම රටවල් 25 කට පමණ සංචාරය කර තිබෙනවා. නමුත් මම කැමැතිම රට ශ්‍රී ලංකාව.
ගීෂා මුණසිංහ
 









