
මෙවර ඔලිම්පික් ක්‍රීඩා උලෙළ පැවැත්වෙන්නේ ජපානයේ දී ය. ඔලිම්පික් ඉතිහාසයේ දී ජපානය නියෝජනය කරමින් විශිෂ්ට දස්කම් දැක් වූ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් රැසකි. මේ අතරට ශිෂෝ කනකුරි ද එක් වන්නේ ය. එලෙස ඔහුගේ නම එම විශිෂ්ට ක්‍රීඩකයන් අතරට එක් වන්නේ ඔහු දැක් වූ විශිෂ්ට දස්කමක් නිසා නොව කනකුරි සිදු කළ අපූරු ක්‍රියාවක් හේතුවෙනි.
නූතන ඔලිම්පික් උලෙළකට සහභාගි වූ ප්‍රථම ආසියානු රට වන්නේ ජපානය යි. ඒ 1912 වසරේ දී ය. එවර ඔලිම්පික් උලෙළ පැවැත්වූයේ ස්කැන්ඩිනේවියානු රටක් වන ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී ය.
ඊට ජපානය නියෝජනය කරමින් මලල ක්‍රීඩකයන් දෙදෙනෙක් සහභාගි වූ හ. ඔවුන් නම් මෂීමා යහිතෝ සහ ශිෂෝ කනකුරි ය. මෂීමා කෙටි දුර ධාවන තරග සඳහා ඉදිරිපත් වද්දී කනකුරි සහභාගි වූයේ මැරතන් තරග ඉසව්වට ය. කෙසේ නමුත් ඔවුනට එම ඔලිම්පික් උලෙළේ දී නම් කිසිදු ජයග්‍රහණයක් හිමි වූයේ නැත. නමුත් එම ක්‍රීඩකයන් දෙදෙනා අතරින් කනකුරි සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වුණේ ය. ඒ තරගය අතරතුර ඔහු අතුරුදන් වීමත් සමඟ ය.
එවර ඔලිම්පික් උලෙළට තෝරා ගැනීම සඳහා මැරතන් තරගයක් ඊට පෙර වසරේ දී පැවැත්විණි. එය කනකුරි ජය ගත්තේ ය. එහි දී ඔහු ගත කළ කාලය එවකට ලෝක වාර්තාවක් ලෙසට පිළිගැනිණි.
ස්ටොක්හෝම් නුවරට පැමිණීම අද මෙන් එදා පහසු වූයේ නැත. කනකුරී එසේ පැමිණියේ දෙසතියකට වැඩි කාලයක් ගත වූ අසීරු ගමනකින් පසුව ය. ඒ මුලින්ම නැවෙනි. පසුව දුම්රියෙනි.
ඔලිම්පික් මැරතන් තරගය පැවැතියේ දැඩි උණුසුම් දවසක ය. ක්‍රීඩකයෝ හැත්තෑවකට ආසන්න පිරිසක් ඊට සහභාගි වූ හ. එසේ වුවත් ඔවුන්ගෙන් තරගය නිම කිරීමට හැකි වූයේ අඩකට පමණි.
බොහෝ තරගකරුවන්ට මෙන්ම තරගය අතරතුරදී කනකුරිත් දැඩි අපහසුතාවයට පත් වූයේ ය. ඒ අධික වෙහෙසත්, දැඩි උෂ්ණත්වයත් ආහාර ගැටලුවකටත් මුහුණ පෑමෙනි.
තරගය අතරතුර දී ඔහු අතපසුවීමකින් ගොවි පවුලක් විසින් එළිමහනේ පවත්වමින් තිබූ සාදයකට ගියේ ය. ජපන් ක්‍රීඩකයා පත්වී සිටි දැඩි අසීරුතාවය දුටු ගොවි පවුල ඔහුට පැය කීපයක්ම හොඳින් ආගන්තුක සත්කාර කළ හ.
පසුව යථා තත්ත්වයට පත් වූ කනකුරිට වැටහුණේ තරගය නිමා කිරීමට තමන් ප්‍රමාද වූ බවයි. එය සත්‍යයකි. ඒ වන විටත් තරගය අවසන් වී බොහෝ වේලාවක් ගත වී තිබුණේ . හෙතෙම තීරණයක් ගත්තේ ය. ඒ තරග නිලධාරීන්ට නොදන්වා යළි සිය රට බලා යෑමට ය.
දසක පහකට වැඩි කාලයක් ගත වන තුරුම ස්වීඩනය කනකුරි අතුරුදන් වූ පුද්ගලයෙක් ලෙස සැලකී ය. මේ කාලය තුළ දී හෙතෙම ඔලිම්පික් උලෙළවල් දෙකක දී මැරතන් තරගවලට සහභාගි විණි.
ඒ 1960 දසකය යි. කනකුරි ජපානයේ ම ජීවත් වන බවට ස්වීඩන් පුවත්පත් කලාවේදියෙක් සොයා ගත්තේ ය. පසුව ස්වීඩන රජයේ රූපවාහිනිය කනකුරිට විශේෂ යෝජනාවක් කළේ ය. එනම් 1912 දී අවසන් නොකරන ලද ඔලිම්පික් මැරතන් තරගයේ ඉතිරි ය ස්ටොක්හෝම් ඔලිම්පික් ක්‍රීඩාංගණයේම නිමා කරන ලෙසට ය. ඔහු ඊට එකඟ විය.
ඒ අනුව කනකුරි 1912 ඔලිම්පික් මැරතන් තරගය වසර පනස් හතරකට පසුව නිමා කළේ ය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු හැත්තෑ හයක් විණි. කනකුරි එවිට සීයා කෙනෙකි. කෙසේ නමුත් ඔහු ඒ වන විට ප්‍රකටව සිටියේ ජපන් මැරතන් පියා ලෙස ය.
ප්‍රශාන්ත ඇල්පිටිය
 









